පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
‘පහන් කණුව’
කන්දේගෙදර, දේවාලේගම
ප්රකාශනය
ධර්ම ග්රන්ථ මුද්‍රණ භාරය
මහාභාරකාර දෙපාර්තමේන්තුව
2001
| ප්‍රථම මුද්‍රණය | - | 1999 පෙබරවාරි |
| දෙවන මුද්‍රණය | - | 2000 ජනවාරි |
| තෙවන මුද්‍රණය | - | 2001 අප්‍රේල් |
| සිව්වන මුද්‍රණය | - | 2002 ඔක්තෝබර් |
මුද්‍රණය
කොලිටි ප්‍රින්ටර්ස්
17/2, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල,
නුගේගොඩ.
දුරකථනය: 074-302312
සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං
බුද්ධානසාසනං
හැම පවින් වැළකුම,
කුසල් වෙතටම එළැඹුම,
සිත පිරිසිදු කරම,
සසුන
මෙයමැයි හැම බුදුන්ගෙම
අනුත්තර ධම්රාජයාණන් වහන්සේගේ ධර්මවිජයට අරමුණුවූයේ දෙවි මිනිසුන්ගේ චිත්ත සන්තානයයි. අනාදිමත් කාලයක් තුළ මෝහයෙන් මුලාවී සසර දුක් ගින්නෙන් දැවෙමින් සිටින ලෝ සතුන්ගේ සිත් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපත් කිරීම ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ධර්මවිජය පරමාර්ථය විය. දුක් ගිනි වඩන දිග්විජය වෙනුවට දුක් ගිනි නිවන ධර්මවිජයක් බුදුපියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්හ.
ධර්මදානය අන් හැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැටෙන දහම් පදයකින් පූර්ණ ජීවිත පරිවර්තනයක් පවා සිදුවිය හැකි බැවිනි. බාහිර වස්තු දානයෙන් සැලසෙන තාවකාලික සහනය මෙන් නොව, එය සනාතන සැනසුමකට මඟ හෙළිකරයි. මොහොතකට දිවගට දැනී-නොදැනී යන ආමිස රසය මෙන් නොව, නිරාමිස දහම් රසය අසහනය දුරුකොට සිත් සනහන ගැඹුරු අපූරු රසයකි. සසර වඩන ගේහසිත ඇලුම් මෙන් නොව, ලොවතුරු දහමට ඇති ඇල්ම සසර ගමන කෙටිකරයි. තණ්හා පිපාසය සන්සිඳුවන අමා මහ නිවන සියලු සසර දුක් නිවාරණය කරයි.
‘නිවනේ නිවීම’ පොත් පෙළෙන් අප දියත් කළ ධර්මදාන වැඩ පිළිවෙළෙහි දෙවැනි අදියර වශයෙන් මේ ‘පහන් කණුව ධර්ම දේශනා’ පොත් පෙළ එළිදැක්වීමට හැකිවීම මහත් වාසනාවක් ලෙස සලකමු. මීතිරිගල නිස්සරණ වන සේනාසනයෙහි යෝගාවචර සඟපිරිස හමුවේ අප විසින් දේශනා කරන්නට යෙදුන දෙසුම් 33ක් රැගත් යටකී පොත් පෙළට වඩා සරල අන්දමින් ජන ජීවිතයේ එදිනෙදා ගැටළුවලට එල්ල කොට දෙසන ලද බැවින් මෙම ධර්මදේශනා මාලාව බොහෝ දෙනෙකුට වැඩදායක වනු ඇතැයි සිතමු. සසරදුක් ලියලවන විවිධ විෂම දෘෂ්ටිවාදයන්ගෙන් ගැවසීගත් පොත්පත් සඟරා සහරාවක අතරමං ව සිටින වර්තමාන පාඨක සමාජයට මේ තුළින් ලොවුතුරු මඟට යම් ‘තරු සලකුණක්’ හෝ ලැබෙතොත් අප දැරූ උත්සාහය සඵල වූ ලෙස සලකමු.
‘ආනුපුබ්බී කථා’ නම් වූ අනුපිළිවෙළ කථාමාර්ගයක් අනුගමනය කරමින් දහම් දෙසූ බුදු පියාණෝ එවැනිම ‘අනුපිළිවෙළ කථාවක්’ ධර්මදේශකයින්ට අනුදැන වදාළහ. දාන කථාව, සීල කථාව, සග්ග කථාව, කාමයන්ගේ ආදීනව හා නෛෂ්කම්මයෙහි ආනිසංස ඒ අනුපිළිවෙළ කථාවට අයත්වේ. ඒ සියල්ල තුළින් සකස් වූ, මෘදු, පුබුදු, පහන්වූ සිතට චතුරාර්ය සත්‍ය දේශනාව මැනවින් විෂය වේ. දේශනා විලාස වශයෙන් සලකන කල, බුද්ධ දේශනාවෙහි ඉස්මතුව පෙනෙන ආදර්ශවත් අංග සතරක්ද ඇත. එනම්, උපමා, නිදර්ශන, ආදියෙන් ධර්ම කරුණු සන්දර්ශනය කිරීම (‘සන්දස්සේති’), සිත් කාවදින අන්දමින් එත්තු ගන්වාලීම (සමාදපේති), ඒවා ප්‍රතිපත්තියට නැංවීමෙහිලා උත්සාහවත් කිරීම (සමුත්තේජේති) සහ අසන්නන්ගේ සිත්සතන් ප්‍රසාදයට පත්කිරීමයි (සම්පහංසේති).
ධර්මපදයෙන් තෝරාගත් ගාථා මාතෘකා කොටගෙන පැවැත්වෙන මෙම දෙසුම් පෙළෙහිදීද හැකිතාක් දුරට ඉහත සඳහන් මූලධර්ම අනුගමනය කිරීමට තැත් දැරුවෙමු. බුද්ධෝත්පාද කාලයක ලැබිය හැකි අග්‍රඵලය වන අර්හත්ඵලයෙන්ම දේශනාවක් කූළගැන්වීමට උනන්දු වීමු. වෙනත් සුලභ ලෞකික පරමාර්ථ තුළ අසන්නන් සිරකොට නොතබා, බුදුපියාණන් වහන්සේ වදාළ අප්‍රමාද පදය සිහිගන්වමින් සංසාර විමුක්තිය දෙසටම ඔවුන් යොමු කරවීම අපගේ පරම අධ්‍යාශය විය. ‘පහන් කණුවෙන්’ විහිදෙන මෙම ධර්මාලෝකයෙන් ලෝකයාට නිවන් මඟ හෙළි පෙහෙළි වේවා!
මෙම ‘පහන් කණුව ධර්මදේශනා’ පොත් පෙළද, ‘නිවනේ නිවීම’ දෙසුම් පෙළ එළිදැක්වීම උදෙසා කොළඹ හැව්ලොක් පාරේ ‘රෝයල් ඉන්ස්ටිටියුට්’ පින්වත් ජී.ටී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ පිහිටුවන ලද ‘ධර්ම ග්රන්ථ මුද්රණහාරය’ මගින් මුද්‍රණය කිරීමට මහාභාරකාර තැන්පත් යූ.මාපා මහතා තීරණය කිරීම අපට මහත් ධෛර්යයක් විය. අමිලවූ ධර්මය මිල කිරීමකින් නොපිරිහෙළා පාඨකයින් අතට පත්කිරීමේ අප ප්‍රතිපත්තියට දිරිදෙන ඒ පින්වත් මහතුන් දෙපොළටත්, මේ සත්කාර්යයට සහාය දීමට මෙතෙක් ඉදිරිපත්වූ පරිත්‍යාගශීලී හැම පින්වතුන්ටත් පටිගත කළ ‘පහන් කණුව’ දෙසුම් පිටපත් කරදීමේ කාර්යට සහාය වූ පින්වත් ඒ.එස්.වයි. අබේවර්ධන මහතාට සහ අනුලා හේනගොඩ, එම්. නාගහවත්ත, ජයන්ති රණවීර යන මහත්මීන්ටත්, දෙන දේ පිරිසිදු දීමට ශෝභන ලෙස මුද්‍රණ කටයුතු නිම කරන, සීමාසහිත කරුණාරත්න සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂක මහතුන්ට හා කාර්ය මණ්ඩලයටත් අපගේ පුණ්‍යානුමෝදනාව හිමිවේ. ඒ හැම දෙනාටම මෙම ධම්දානමය කුශලය පරම ශාන්ත නිර්වාණාවබෝධය පිණිස හේතුවාසනා වේවායි පතමු.
මෙයට,
සසුන් ලැදි,
කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු
පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
‘පහන් කණුව’
කන්දේගෙදර
දේවාලේගම
(2542) 1999 පෙබරවාරි 12
අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ “නිවනේ නිවීම” දේශනා මුද්‍රණය කොට, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන බැතිමත් බෞද්ධ සැදැහැවතුන් අතට පත්කිරීමේ මූලික අදහස අපතුළ ඇතිවීමුත්, එම මුද්‍රණය සඳහා වැයවන මුදල් උපයා ගැනීම ප්‍රශ්නයක් විය. මෙය විසඳීම පිණිස, අප කිහිපදෙනෙක් යෝජනා කොට සිටියේ ඒ සඳහා වැයවන මුද්‍රණ වියදම පමණක් අයකර ගැනීම පිණිස පොතක් සඳහා කිසියම් අනුපාතික විකුණුම් මිලක් නියම කිරීමයි. අපගේ මෙම යෝජනාව ගරු ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ එකහෙලා ප්‍රතික්ෂේප කළහ. “ධර්මය මිළ කරන්න බැහැ. එය අවශ්‍ය අයහට නොමිලයේ ලබාගැනීමට හැකි විය යුතුයි….” යනුවෙන් උන්වහන්සේ මෙම වටිනා ධර්ම පොත “විකිණීම” කෙරෙහි අප අදෛර්යවත් කළහ.
එබැවින්, උන්වහන්සේගේ අදහස් කළ පරිදි “නිවනේ නිවීම” දේශනා මාලාව මුද්‍රණය කොට නොමිලයේ බෙදාදීමේ ක්‍රියා පිළිවෙළෙහි ආරම්භයක් වශයෙන් ජී.ටී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ‘ධර්ම ග්රන්ථ මුද්‍රණ භාරය’ නමින් අරමුදලක් ආරම්භ කරනු ලැබීය. “නිවනේ නිවීම” පළමුවන වෙළුම සඳහා මුද්‍රණ වියදම තනිවම ඒ මහතා විසින් දරණ ලදී. එතැන් පටන්, මේ වන විට මුද්‍රණයෙන් එළිදක්වා ඇති 2, 3, 4, 5, 6, 7 කාණ්ඩ මුද්‍රණය කිරීම සඳහා බලාපොරොත්තුවූවාටත් වඩා ලත් අනුග්‍රහය ධර්ම ප්රාතිහාර්යයක් ලෙස සැලකිය හැකිය.
එසේ ආරම්භ කරන ලද “ධර්ම ග්රන්ථ මුද්‍රණ භාර අරමුදල” මගින්ම “පහන් කණුව ධර්ම දේශනා” මාලාවද මුද්‍රණය කොට නොමිලයේ බෙදා දෙමින් සිදු කෙරෙන ශාසනික මෙහෙවරට අපහට නිල වශයෙන් හෝ දායකවීමට හැකිවීම ඉමහත් කුසලයකි.
මෙම උතුම් ධර්මදාන ක්‍රියාවලියට දායකවීමට කැමති භවතුන්හට තම පුණ්‍යාධාර “ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන” නමින් චෙක්පත් හෝ මුදල් ඇණවුම් (මුදල් ඇණවුම් නම් ටොරින්ටන් චතුරශ්‍රය උප තැපැල් කාර්යාලයෙන් මාරුකරගත හැකි පරිදි) මගින් ධර්ම ග්රන්ථ මුද්‍රණ භාර අරමුදලට බැර කිරීම පිණිස පහත සඳහන් ලිපිනයට එවිය හැකි බැව් කරුණාවෙන් දන්වා සිටිනු කැමැත්තෙමි.
යූ.මාපා
ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන
ජී.ටී. බණ්ඩාර මහතා
ස්ථාපක
ධර්ම ග්රන්ථ මුද්‍රණ භාරය,
රෝයල්
ඉන්ස්ටිටියුට්,
191, හැව්ලොක් පාර, කොළඹ 5.
මහා භාරකාර දෙපාර්තමේන්තුව
තැ.පෙ. 548,
2, බුලර්ස් පටුමග. කොළඹ
07.
1999 පෙබරවාරි 12
ධර්ම ග්රන්ථ මුද්‍රණ භාරය මගින් පළ කරනු ලබන “නිවනේ නිවීම” පොත් පෙළෙහි සයවැනි වෙළුම දක්වා මුද්‍රණය කිරීමේ සම්බන්ධීකරණය මෑතක් වනතුරු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ මහාභාරකාර තනතුර දැරූ යූ.මාපා මහතා විසිනි. ඉතා ගැඹුරු ධර්ම කරුණු සහිත එම වටිනා දහම් පොත් පෙළ එළි දැක්වීමට හැකිවූයේ ඒ මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාමය.
මෙම පොත් පෙළෙහි හත්වැනි වෙළුම මුද්‍රණයට සකස් වෙමින් තිබෙන අවස්ථාවේදී මාපා මහතාට ශ්‍රී ලංකා ජනරජයේ තානාපති ලෙස මියන්මාර් (බුරුමය) දේශයට යෑමට සිදුවිය. ථේරවාදී බුදු දහම නිර්මලව පවතින එවැනි දේශයකට පත් වී යෑම හුදෙක් ඒ මහතාගේ ශාසනික සේවයේ තවත් පියවරක් ලෙස දකිමු.
මාපා මහතා විසින් එසේ නික්ම යාමට පෙර, “නිවනේ නිවීම” සෙසු කාණ්ඩ මුද්‍රණය කිරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාම පිණිස, අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙම දේශනාවල අගය දන්නා අප කීපදෙනෙක් මහාභාරකාර කාර්යාලය වෙත කැඳවා, ඒ පිළිබඳව වැඩ පිළිවෙළක් සකස් කරන ලදී. එම ක්‍රියා පිළිවෙළ අනුව “නිවනේ නිවීම” දේශනා මාලාව සහ ධර්ම ග්රන්ථ මුද්‍රණ භාරය මගින් පළකරනු ලබන “පහන් කණුව ධර්ම දේශනා” ග්රන්ථ එපරිද්දෙන්ම ඉදිරියේදී පළකෙරෙනු ඇත.
මෙම උතුම් ශාසනික සේවය ඉටු කිරීමට මාහට එම භාරයේ ස්ථාපක වශයෙන් මෙතැන් සිට වගකීම පැවරී තිබේ. එම මහඟු කාර්යය ඉෂ්ට කරගැනීම පිණිස ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම බැතිමත් දායක දායිකාවන්ගේ අනුග්‍රහය අපි බලාපොරොත්තු වෙමු.
මෙම ධර්ම ග්රන්ථ මුද්‍රණ භාරයට එවනු ලබන ආධාර ශ්‍රී ලංකාවේ මහා භාරකාරතැන නමින් පහත සඳහන් ලිපිනයට එවිය හැක.
ජි.ටී. බණ්ඩාර,
ස්ථාපක,
ධර්ම ග්රන්ථ මුද්‍රණ භාරය
1999 ඔක්තෝබර් 25 වැනි දින.
රෝයල් ඉන්ස්ටිටියුට්,
191, හැව්ලොක් පාර,
කොළඹ 5.
මහවැලි ගඟ උතුරට හැරවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති ප්‍රදේශවල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින් පිනා ගියහ. මැලවුණු ගොයම් සරුව නිල්වන්ව කරලිත් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන ප්‍රදේශ වැසියෝ තුටු කඳුළු වගුළහ.
දහම් අමා ගඟ “උතුරට” හැරවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල” සඳහා වත් විය පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලෞකික - ලෝකෝත්තර මල් පල නෙළා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ.
“ධර්ම ග්රන්ථ මුද්‍රණ භාරය” නමින් දියත් කළ මෙම ධර්මදාන වැඩපිළිවෙළ සඳහා අපගෙන් වැයවුනේ පිරිසිදු ධර්මදාන සංකල්පය පමණි. අමාගඟ “උතුරට” හැරවූවෝ සසුන් ගුණ හඳුනන පරිත්‍යාගශීලී සැදැහැවත්හුමය. “නිවනේ නිවීම” පොත් පෙළ එළි දැක්වීමෙන් නොනැවතී “පහන් කණුව ධර්මදේශනා” පොත් පෙළෙහි “බර පැන” දැරීමටත්, දෙස් - විදෙස්වල දහම් පිපාසිතයින් උදෙසා අප අතින් ලියැවෙන අනිකුත් පොත - පත ඒ අයුරින්ම එළි දැක්වීමටත් ඔවුහු උත්සුක වූහ. “දෙන දේ පිරිසිදුවම දීමේ” අදහසින් අමිල වූ දහම් ඊට නිසි ශෝභන මුද්රණයකින්ම ධර්මකාමීන අතට පත් කිරීමට පියවර ගත්හ. මුද්‍රිත පිටපත් සංඛ්‍යාව අවසන්වනු හා සමඟම “නැවත මුද්‍රණ” පළකිරීමෙන් දහම් අමා ගඟ වියළී යාම නොවීමට දැඩි අදිටනකින් ඇප කැපවුහ.
”පොත් අලෙවිය” පිළිබඳව මෙකල බහුලව දක්නට ලැබෙන වාණිජ සංකල්පයට පිටුපා, තහංච්වලින් තොරව, තමන් අතට නොමියේම පත් කැරෙන ”දහම් පඩුර” තුළින් ධර්මදාන සංකල්පයෙහි අගය වටහා ගත් බොහෝ පාඨක පින්වත්හු තමන් ලද රස අහරක්, නෑ-හිතවතුන් සමග බෙදා-හදා ගන්නාක් මෙන් නොමසුරුව අන් දහම් ලැදියනටද දී ධර්ම දානයට සහභාගී වූහ. ඉනුදු නොනැවතී, ශක්ති පමණින් ”ධර්ම ග්රන්ථ මුද්‍රණාලයට” උරදීමටද ඉදිරිපන්වූහ, ඇතැමෙක් ලොකු කුඩා දහම් පොත් මුද්‍රණය කරවීමේ හා නැවත-නැවත මුද්‍රණය කරවීමේ බරපැන ඉසිලීමට පවා පසුබට නොවූහ.
සම්බුදු සසුන මේ ලක් පොළොවෙහි පවතින තාක් මේ දහම් අමා ගඟ ලෝ සතුන් සිත් සනහමින් නොසිඳී ගලා යේවා යනු අපගේ පැතුමයි.
මෙයට,
සසුන් ලැදි
කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු
පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
‘පහන් කණුව’
කන්දේගෙදර, දේවාලේගම
2000
ජූනි 05 (2544 පොසොන්)
තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ
කුතෝ භයං
සැදැහැවත් පින්වත්නි,
අද පොසොන් පොහෝ දවසයි. අපේ මේ දිවයිනට බුද්ධ ශාසනය ලැබුණු දවස හැටියට පොසොන් පොහොය දවස අපට වටිනා දවසක් වෙනවා. බුද්ධ ශාසනය කියල කියන්නේ බුදුපියාණන් වහන්සේගේ දහම් පිළිවෙත යි, නිවන් පිළිවෙත යි. මේ දහම් පිළිවෙත-නිවන් පිළිවෙත මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාව පව්වට වැඩම කරල, පිරිසකුත් සමඟ, දෙවානම්පියතිස්ස රජතුමාට ඒ දහම් පිළිවෙත දීමට ‘තිස්ස, තිස්ස’ යනුවෙන් ආමන්ත්‍රණය කළ බව සඳහන් වෙනවා. එහෙම ඒ මුව දඬයමේ යෙදී සිටි-අධර්ම වැඩක යෙදී සිටි-රජතුමාගේ අවධානය ඒ විදියට ධර්මයට යොමු කරල මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම පිළිවෙත-නිවන් පිළිවෙත-ක්‍රමානුකූලව මේ දිවයිනට ලබාදුන්නා. බුදු රජාණන් වහන්සේ කළෙත් මෙන්න මේ විදියට ධර්ම පිළිවෙත, ධර්මාවබෝධය කරන්න ශක්තිය තියෙන පුද්ගලයින් හොයාගෙන ගිහිල්ල, ඉතාමත්ම දුගී තත්වයේ සිටි කෙනෙකුන් පවා ධර්මදානය -ධර්මාවබෝධය-ලබාගැනීමට සමත් නම් එබඳු අය ළහට පවා වැඩමකරල. මේ බුද්ධ ශාසනය-ඒ කියන්නේ ධර්ම පිළිවෙත, නිවන් පිළිවෙත, ඒ අයට දී වදාළා. දැන් අපි මතක් කළ ගාථා ධර්මයට අදාළ නිදාන කථාවේ තියෙන්නෙත් බුදු පියාණන් වහන්සේ එක්තරා දුගී බ්‍රාහ්මණයෙක් ළහට බුද්ධ ශාසනය අරගෙන ගිය ආකාරයයි.
බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක එක්තරා මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයෙක් කෙතක් සකස් කරනවා. ඒ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කළා. මේ බ්‍රාහ්මණයා මිථ්‍යාදෘෂ්ටික කෙනෙක් නිසා ඈතදීම බුදුපියාණන් වහන්සේ දැකලත් නොදැක්ක වගේ තමන්ගේ වැඩේ යෙදිල හිටිය. නමුත් බුදුපියාණන් වහන්සේ ළහටම වැඩම කරල ඇහුව, ‘බ්‍රාහ්මණය, මොකද මේ කරන්නේ?’ කියල. බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා, ‘භවත් ගෞතමය, මම කෙතක් සකස් කරනවා’ කියල. කථාව එච්චරයි. බුදුපියාණන් වහන්සේ ආපසු වැඩම කළා නැවත දවසක් මේ බ්‍රාහ්මණයා කෙතේ සී සානවා. එදත් බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කළා. වැඩම කරල ඇහුව, ‘බ්‍රාහ්මණය මොකද කරන්නේ’? කියල. ‘භවත් ගෞතමය, මම සී සානවා’. බුදුපියාණන් වහන්සේ ආපසු වැඩම කළා. ඒ මනුස්සයා තමන්ගේ වැඩේ යෙදුනා. ඊළහට බ්‍රාහ්මණයා නැවත දවසක වපුරනවා තමන්ගේ කුඹුරේ. එදත් බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කළා. ‘බ්‍රාහ්මණය, මොකක්ද කරන්නේ’? ‘භවත් ගෞතමය, මම වපුරනවා’. එතනිනුත් කථාව ඉවරයි. බුදුපියාණන් වහන්සේ ආපසු වැඩම කළා. දැන් කෙතේ අස්වැන්න හැදීගෙන එනවා. බ්‍රාහ්මණයා දවසක් කෙතේ වල් නෙලනවා. ඒ අවස්ථාවෙත් බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කරල අහනවා, ‘බ්‍රාහ්මණය මේ මොකද කරන්නේ’? කියල. ‘මම මේ වල් නෙලනවනේ, භවත් ගෞතමය’. ඊළහට කෙත රකින අවස්ථාවත් ආවා. දැන් ගොයම් පැහීගෙන එනවා. ඒ අවස්ථාවෙදිත් බුදුපියාණන් වහන්සේ වැඩම කළා. ‘මොකද බ්‍රාහ්මණය කරන්නේ’? ‘මම මේ කෙත රකිනවා’. ‘ඒක නොවෙයි, මේ භවත් ගෞතමය, ඔබ මා ළහට තිතර තිතර එනවා. ඔබ මගේ මිත්‍රයෙක් වෙන්ට ඕන. අද ඉඳල මගේ මිත්‍රයෙක් හැටියට මම පිළිගන්නවා. මේ කුඹුරේ අස්වැන්න පැහුනාම කොටසක් භවත් ගෞතමයන්ට නොදී මම අනුභව කරන්නේ නෑ’, කියල ප්‍රතිඥාවකුත් දුන්නා. බුදුපියාණන් වහන්සේත් ආපසු වැඩම කළා.
දැන් ගොයම පැහුනා. හෙට වෙනි දවසේ අස්වැන්න කපාගන්න ලොකු බලාපොරොත්තුවකින් යුක්තව බ්‍රාහ්මණයා ගෙදර ගියා. එදා රෑ මහා මේඝ ගර්ජනා සහිත මහා ධාරානිපාත වර්ෂාවක් වැහැල අර මුළු ගොයමම එහෙමම ගසාගෙන ගිහිල්ල ගඟේ. උදෑසන බ්‍රාහ්මණයා කෙතට ඇවිල්ල බලන කොට මුළු කෙතම පාළුයි. දරාගන්න බැරි ශෝකයක් ඇති උනා. වැඩියෙන්ම ශෝක උනේ අර තමන්ගේ මිත්‍ර භවත් ගෞතමයන්ට අස්වැන්නෙන් කොටසක් දීගන්ට බැරීම නිසයි. කොහොම නමුත් මේ බ්‍රාහ්මණයා ආපසු ගෙදර ඇවිල්ල ඒ ශෝකය නිසා ආහාර වර්ජනය කරල-උපවාස කරල-කාමරේකට වෙලා බුදිය ගත්තා. එදත් බුදුපියාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කළා, වැඩම කරල ඇහුව. ‘කෝ මේ බ්‍රාහ්මණ උපාසක උන්නාන්සේ?’ කියල. ගෙදර අය කිව්වා, ‘අන්න බුදිය ගන්නවා මෙහෙම අලාභයක් වුනා කියල ඒක දරාගන්න බැරුව ශෝකයෙන්’, බුදු පියාණන් වහන්සේ එතනට වැඩම කළා.’මොකද බ්‍රාහ්මණය, මේ?’ කියල ඇහුව. බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා, ‘භවත් ගෞතමය, මම මෙන්න මෙහෙම ලොකු බලාපොරොත්තු ඇතිකරගෙන හිටිය, අස්වැන්න පැහුනාට පස්සේ මෙයින් කොටසක් දීල මිසක් අනුභව කරන්නේ නෑ’ කියල. මට මෙන්න මේ තරම් විනාශයක් සිද්ධවුනා. ඒකේ ශෝකය නිසා මම මෙන්න මෙහෙම ආහාර වර්ජනය කරල, ජීවිත අපේක්ෂාව අත හැරල,බුදියගන්නව’ කියල. බුදු පියාණන්වහන්සේ විමසනවා, ‘ඔබ දන්නවද මේ ශෝකයට හේතුව?’ කියල. බ්‍රාහ්මණයා කියනවා: ‘මම නම් දන්නෙ නෑ, ඔබ දන්නවද?’ කියල. ‘ඔව්, බ්‍රාහ්මණය. මම දන්නවා’. අන්න ඒ අවස්ථාවේ තමයි අපි අර මතක් කළ ගාථා ධර්මය දේශනා කළේ.
තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ
කුතෝ භයං
‘තණ්හාවෙන් ශෝකය හට ගන්නවා, ශෝකය උපදිනවා. තණ්හාවෙන් භය හට ගන්නවා. තණ්හාවෙන් මිදුන තැනැත්තාට ශෝකයක් නැත. භයක් කොයින්ද?’ ඔව්වරයි බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ. නමුත් මේ ධර්මය අහල අර බ්‍රාහ්මණයාගේ සිත ඇතුලේ ලොකු චිත්ත විප්ලවයක් ඇතිවෙලා විදර්ශනා ඤාණ පිළිවෙළින් උතුම් සෝවාන් මාර්ගඵලය ප්රත්යක්ෂ කළ බව ධර්මයෙහි සඳහන් වෙනවා.
එතකොට, මේ තරම් මේ චිත්ත විප්ලවයක් ඇති උනේ කොහොමද කියල අපි ටිකක් හිතල බලන්න ඕන. මේ විදර්ශනා ඤාණ කියන ඒව ඇතිවුනේ කොහොමද? විදර්ශනාව කියල කියන්නේ විශේෂ දැකීමක්. අර බ්‍රාහ්මණයා තමන්ගේ කෙතේ දර්ශනය සිතෙන් අරගෙන ගිහිල්ල ගෙදර බුදිය ගත්තේ. නිතරම සිතට එන්නේ අර පාළුවෙච්ච කෙතයි. ඒ කෙත දිහා බලාගෙන ඉන්න බ්‍රාහ්මණයාට හිත දිහා බලන්නට අවස්ථාව සැලසීම වශයෙනුයි බුදුපියාණන් වහන්සේ අර ගාථාව වදාළේ. බ්‍රාහ්මණයා හිතුව කෙත පාළුවෙච්ච නිසයි ශෝකය ඇති උනේ කියල. නමුත් බුදු පියාණන් වහන්සේ අර ගාථාව ප්‍රකාශ කළාට පස්සේ තේරෙන්න ඇති, කෙත පාළුවීම නිසා නොවෙයි හිත පාළුවීම නිසයි මේ ශෝකය ඇති උනේ කියල. අර කෙතේ අස්වැන්න වැඩෙනවාත් එක්කම තවත් දෙයක් වැඩුනා. හිතේ ආශාවත් ලියලා වැඩුනා. මේ අස්වැන්නවලින් කරන දේවල්, තව කොතෙකුත් දේ. මේ පින්වතුන් දන්නවනේ, ගොයිතැන් බත් කරන අය. කොයිතරම් ලොකු බලාපොරොත්තු සමූහයක් එක්කද මේ ගොයම වැඩෙන්නෙ කියල. අන්න ඒ විදියට මේ බ්‍රාහ්මණයාගේ හිත තුළ නොයෙකුත් ආසාවන්, බලාපොරොත්තු, කියන ජාතිය වැඩුනා. අර ධාරානිපාත වර්ෂාවෙන් ගොයම විනාශවෙලා ගඟේ ගසාගෙන යනකොට ඒ ඔක්කොම ආශාවන්, බලාපොරොත්තු ගසාගෙන ගියා. මේ බ්‍රාහ්මණයා එතකොට නිතර නිතර හිතට මතුකර ගත්තේ අර පාළුකෙතේ දර්ශනයයි. ඒක නිසා ඉතින් වැළපෙනවා, දුක්වෙනවා, ශෝකවෙනවා. බුදුපියාණන් වහන්සේගේ ගාථාවෙන් ඇතිඋන විප්ලවය කොයිතරම්ද කියතොත් බ්‍රාහ්මණයා කෙත දිහා බලනවා වෙනුවට ඇතුළත බැලුවා, හිත දිහා බැලුවා. මෙන්න මේ ඇතුළත බැලීම කියන එකට ධර්මයෙහි යෙදෙන වචනය තමයි, පින්වතුනි, ‘යෝනිසෝ මනසිකාරය’. නුවණින් මෙනෙහි කිරීම, කුසල් හෝ අකුසල් හෝ ඇතිවෙන්නේ සිතෙන්. හැම දේකටම මූලික වෙන්නේ සිතයි. ‘මනෝ පුබ්බඞ්ගමා ධම්මා-මනොසෙට්ඨා මනෝමයා’ ආදී වශයෙන් බුදුපියාණන් වහන්සේ ප්රකාශකරල තියෙනවා. ‘සිත පෙරටුවෙනවා, සිතම ශ්‍රේෂ්ඨයි, මේ හැම දෙයක්ම සිතෙන්ම හටගන්න දේවල්’ කියල. ඒ විදියට ප්‍රකාශ කරල තියෙනවා. අන්න ඒ වගේ මෙතනත් මේ ශෝකය ඇතිවීමට මූලික උනේ තමාගේ සිත බව-සිත තුළින්ම පැන නැඟුනු දෙයක් බව මේ බ්‍රාහ්මණයාට වැටහුනා. එතකොට බුදුපියාණන් වහන්සේ ‘තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං’ කියල ප්‍රකාශ කළහම මේ තණ්හාව එතනම නැතිකර ගැනීම තමන්ට අයිති දෙයක් බව බ්‍රාහ්මණයා තේරුම් ගත්තා. අර ගසාගෙන ගිය ගොයම ආයිත් සොයා ගන්න බෑ. ඒකට ආයි ප්‍රතිකර්මයක් නෑ. ඒ වෙනුවට ආහාර වර්ජනය කරල නිදාගැනීමවත්, උපවාසයෙන් මරණය කරා යෑමවත්, ප්රතිකර්මය නොවෙයි. එතකොට ඒ තත්ත්වය තේරුම්ගත් බ්‍රාහ්මණයාගේ සිත තුළ ඇතිවුන විප්ලවයේ අවසාන ප්‍රතිඵලය තමයි අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම්වූ සෝවාන් මාර්ගඵලය ලබා ගැනීම. ඒ බ්‍රාහ්මණයා මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයෙක් හැටියටයි මේ කථාව ආරම්භ උනේ. දැන් මේ සෝවාන් ඵලය ලැබෙනවාත් එක්කම පින්වතුනි, කෙනෙක් හඳුන්වන්නේ ආර්ය පුද්ගලයෙක් හැටියට. ආර්ය තත්ත්වයක් ලබාගත්තා. උතුම් තත්ත්වයක් ලබාගත්තා. සම්‍යක් දෘෂ්ටිය ඇතිවුනා. මේ තරම් විශාල චිත්තවිප්ලවයක් ඇතිවුනා. මේ බ්‍රාහ්මණයා උගතෙක් නොවෙන්න පුළුවනි. ඒ වගේම දුප්පත් මනුස්සයෙක්. නමුත් මේ තරම් විශාල දෙයක් සිද්ධවුනේ මෙතන තියෙනවා මහ ගැඹුරු ධර්මයත්. අපි කාටත් හිත යොදවන්න වටින දෙයක්. දැන් මේ කාලේ නිතර අහන්ට ලැබෙන දෙයක් තමයි: ‘ධර්මයෙහි ගැඹුරු කොටස් ගැන හිත යොදවන්න කාලේ නොවෙයි මේ. බොහොම දුක් ගැහැට ආපදා විපත්ති ඇති කාලයක්. මේ රට කිරෙන් පැණියෙන් ඉතිරුනාට පස්සේ තමයි ඒ නිවන ගැන, ඒ ගැඹුරු දේවල් ගැන, හිතන්න ඕන’. එහෙමත් සමහර කෙනෙක් කල්පනා කරනවා. නමුත් පින්වතුනි, ලෝකයේ තියෙනවා ‘වෙස්වළාගත්ත ආශීර්වාද’ කියල ජාතියක්. සමහර ආපදා විපත් කියන ඒව එන්නේ හරියට ආශීර්වාද හැටියට. දැන් මේ බ්‍රාහ්මණයාට මේ කෙත පාළුවීම ලොකු ආශීර්වාදයක් උනා. ඒක තුළින් ඇතිවුනු ඒ චිත්ත විප්ලවය නිසා අර තරම් - චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම්වූ. බුදුපියාණන් වහන්සේ පුදුම විදියට ප්‍රශංසා කළ-උසස් ආර්ය තත්ත්වයක් මේ බ්‍රාහ්මණයාට ලබාගන්න පුළුවන් උනා.
එතකොට මේ ආපදා, විපත්ති, කම්පන ආදිය තුළින් අපට මේ වතුරාය සත්‍යය මතුකරගන්න පුළුවන්. දුක, දුකට හේතුව, දුක නැතිකිරීමෙන් ලබන නිවීම-නිවන-ඊට මාර්ගය වන, ප්‍රතිපත්තිය වන-ආර්ය අෂ්ටාංශික මාර්ගය. මෙන්න මේ විදියට මේ විපත්ති තුළින් විදර්ශනාඤාණ මතුකරගැනීම ගැන කල්පනා කරල බලනකොට, දැන් ඔය ඥානය-දැනුම ගැන හිතන කොට බොහෝවිට හිත දුවන්නේ-මේ කාලේ කොතෙකුත් තියෙනව විශ්ව විද්‍යාල කියල ජාතියක්-අන්න ඒවට. ඒවට කලාත්මක නමක් තියෙනවා ‘සරසවි’ කියල. ඒය සරසවිවලට යන්න බොහොම අය උත්සාහ කරනවා. ඒවට ගිහිච්ච අය ඒවායින් පිටවෙන්න-පාස්වෙන්න-බොහොම උත්සාහ දරනවා. නමුත් පින්වතුනි. බොහෝ දෙනෙක් දන්නෙ නෑ අපි මේ කවුරුත් ඉන්නේ එක්තරා සරසවියක බව. ඒක හඳුන්වන්නේ ‘ජීවිත සරසවිය’ කියල. මෙය අනිත් සරසවිවල නොයෙකුත් විදියේ විද්‍යා, දාන, තාක්ෂණ තියෙනවා. ඉගෙන ගන්න. මේ ජීවිත සරසවියේ විෂයයන් තුනයි තියෙන්නෙ සමත් වෙන්න, පාස් කරන්න. මොනවාද ඒ? බුදු පියාණන් වහන්සේ ඒව දක්වල තියෙනවා-අස්සාද, ආදීනව, නිස්සරණ කියල. ‘අස්සාද’ කියල කියන්නේ ආස්වාද පක්ෂය-රසවිඳීම-පංචකාම සම්පත්තිය, ආස්වාදය. මේක තමයි පළමුවෙනි පාඩම. මා හිතන්නේ මෙතන ඉන්න කවුරුත් මේ පාඩමෙන් නම් හොඳටම සමත්. මේ පංචකාම සම්පත්තිය කියන එක සංසාර සත්ත්වයින් කවුරුත් පාස්කරල තියෙනවා. ඊළහට පාඩම තමයි ‘ආදීනව’. ඒ පංචකාම සම්පත්තිය සොයන්නාට යෑම නිසා-ඒවා වෙනුවෙන්-විදින්නට වෙන දුක්ගැහැට, ජීවතයේ අනිෂ්ට විපාක ආදිය. දුක් කම්කටොලු, ආපදා, විපත්ති-ඒ හැම එකක්ම ආදීනව පක්ෂයට ගැණෙනවා. ආස්වාද පක්ෂය ටිකයි, ආදීනව පක්ෂය වැඩියි, නමුත් වැඩිදෙනෙක් ආස්වාද පන්තියේ තමයි ඉන්නේ. ආදීනව ගැන හිතන්නවත් පෙළඹෙන්නේ නෑ. ඒවා දිහා බලන්නවත් හිත යොමුකරන්නේ නෑ. නමුත් පින්වත්නි, මේ ආදීනව තුළින් තමයි ඊළහ පන්තියට යන්න පුළුවන් වෙන්නේ. ‘නිස්සරණ’ කියල කියන්නේ සසරින් නික්මීම. සංසරණය කියල කියන්නේ එකතැන කරකෑවීම වගේ මේ සංසාරයේ ගමන් කිරීම. දැන් මේ පින්වතුන් දන්නවා ඔය වාහනයක් එහෙම හුඟාක් දුරගියා කියල ඒ දුර ප්‍රමාණය සටහන් වෙනවා. නමුත් කොයිතරම් දුර ගියත් මොකක්ද වෙන්නේ? අර රෝදය එකතැනම කරකැවෙනවා. අන්න ඒ වගේ, එක අතකින් බලනකොට අනන්ත කාලයක් අපි මේ සංසාරයේ ගමන් කරල තියෙනවා. මහා දීර්ඝ සංසාරයක් කියල අපි පාවිච්චි කරනවා. වචන යොදනවා. නමුත් මේ තරම් දුර ගියාට මොකද. එක තැනමයි කරකැවිල කියන්නේ. ජාති-ජරා-ව්‍යාධි-මරණ කියන ඒ විදියට රෝදය කරකැවුනා කියල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ තමන් බලාපොරොත්තු වෙන ඒ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යොදන ප්රයත්නය විතරයි. ඒකෙත් කෙළවරක් නෑ. අර රෝදය එකතැනම කරකැවෙන්නා වගේ.
ඉතින් මෙන්න මේ විදියට සංසරණය කියන්නේ එකම තැන කරකැවිල්ලක්, එහෙම නැත්නම් සැරිසැරිල්ලක්. ඒ වගේම ‘නිස්සරණ’ කියල කියන්නේ ඒ වටවල්ලෙන් පැනීම, නික්මීම, සසරින් මිදීම. මේ නිස්සරණ ශ්‍රේණිය-මේ නිස්සරණ විෂය-මේ නිස්සරණ පාඩම-තමයි සමත්වෙන්න තියෙන්නෙ. මේ ලෝකයේ මේ යුගයේ, පළමුවෙන්ම මේ ජීවිත සරසවියේ ඔය පාඩම් තුන පාස්කරල සමත්වුන උත්තමයා තමයි බුදුපියාණන් වහන්සේ. ඒ අනුව රහතන් වහන්සේලා. දැන් මේ බ්‍රාහ්මණයාත් ඒ සරසවියේ සෝවාන්ඵලය කියන පළමුවෙනි ආර්ය තත්ත්වය ලබාගත්තා. මෙන්න මේ ජීවිත සරසවියෙන් අවස්ථානුකූලව පාඩම් ඉගෙන ගත්තොත් ඒක තමයි ජීවිතයට ඉතුරුවෙන්නේ. ඒක තමයි කෙනෙකුගේ විමුක්තියට උපකාරී වෙන්නේ. මේ සෝවාන් ඵලයෙන් ලබන විමුක්තිය කොයිතරම් ශ්‍රේෂ්ඨ එකක්ද කියල බුදුපියාණන් වහන්සේ නොයෙකුත් උපමාවලින් දක්වල තියෙනවා. එක් අවස්ථාවක නියපිටට පස්ටිකක් අරගෙන බුදුපියාණන් වහන්සේ සංඝා වහන්සේලාගෙන් විමසුවා ‘මේ පස්ටිකද වැඩි, මහපොළොවේ පස්ද වැඩි’ කියල. සංඝයා වහන්සේලා පිළිතුරු දුන්නා: ‘භාග්‍යවතුන් වහන්ස, මේ නියපිට පස් බොහොම ටිකයි. මහ පොළොවේ පස් තමයි වැඩි’ කියල. අන්න ඒ උපමාව ආශ්රයෙන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. සෝවාන් තත්ත්වය ලැබූ කෙනා ඒ තමාගේ සංසාර දුක්ඛස්කන්ධයෙන් අත්මිදුනු, ඉවරකරගත්තු, දුක් ප්‍රමාණය වගේ තමයි අර මහ පොළොවේ පස්. නිය පිට තිබුනු පස් වගේ ඉතාම ටිකයි තව ඉතුරුවෙලා තියෙන්නෙ ඉවර කරගන්නට. ඒ මොකද? සෝවාන් පුද්ගලයා නැවත සංසාරයේ ඉපදෙන්නේ හත් සැරයක් පමණයි. ඒ වගේම, අපායට යන්නේ නෑ. ඒක විශාල-පුදුම විදියේ-සහනයක්. සෝවාන් නුවූ පුද්ගලයෙකුට අපාය තමන්ගේ ගෙදර වගේ. කොයි වෙලාවේ කොයි විදියේ පාපකර්මයක් නිසා අපායට යන්න වෙනවද කියල නෑ. සෝවාන් පුද්ගලයාගේ සිතේ ඇතිවුනු ඒ විප්ලවයේ පරිවර්තනය නිසා, ඒ ආර්ය තත්වය නිසා, විදර්ශනාඥානවලින් ඇති උනු ඒ දහම් ඇස පහළවීම නිසා, අර අපායගාමී අකුසල් කරන ශක්තිය නැති වුනා. අතීතයේ කරන ලද අකුසල් කිසිවක් නැවත අපායට යන්නේ නෑ. අන්න ඒ තරම් පුදුම විදියේ විමුක්තියක් ඒ සෝවාන් ඵලයෙන් පවා කෙනෙකුට ලැබෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අර නියපිට පස්ටික වගේ තමයි සෝවාන් පුද්ගලයාට තව ගෙවන්න තියෙන සංසාර දුක. මිඳුනු සංසාර දුක මහ පොළොවේ ඉතිරි පස් වගේ තමයි කියා. තවත් උපමා දක්වල තියෙනවා, ඒ වගේම. මහා සමුද්‍රයෙන් නගා ගත්තු දියබිඳු දෙක තුනක් වගෙයි අර තව ගෙවන්න තියෙන දුක් ටික. ගෙවූ දුක් සමූහය-ඉතුරු කරගත්තු දුක් සමූහය වගේ තමයි මහා සමුද්‍රයේ ඉතිරිවූ ජලය. තවත් ඒ වගේ උපමාවක් දක්වල තියෙනවා. හිමාලය පර්වතය ක්‍රමක්‍රමයෙන් ගෙවිල ගිහිල්ල අබ ඇට 7ක් පමණවූ කුඩා ගල්කැට 7ක් විතරක් ඉතිරි වුනොත්. අන්න ඒ ගල්කැට 7 වගේ තමයි අර සෝවාන් පුද්ගලයාට තව ගෙවන්න ඉතුරුවෙල තියෙන දුක් ටික. මිඳුනු දුක් සමූහය තමයි අර හිමාලයේ ගෙවුනු පස් කොටස. අන්න ඒ වගේ නොයෙකුත් උපමා දක්වල තියෙනවා. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියල මාර්ගඵල හතරක් තියෙනවා. එයින් පළමුවෙනි එකෙන් පවා ලැබුනු විමුක්තිය කොයි තරම් විශාල දෙයක්ද, කොයිතරම් උතුම් දෙයක්ද කියල හිතාගන්න පුළුවන්.
එතකොට අර උදැල්ලට හේත්තුවෙලා වල් කොටමින් හිටපු, ‘භවත් ගෞතමය’ කියල බුදු පියාණන් වහන්සේට ආමන්ත්‍රණය කළ, අර මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයා, ඒක විතාශ උනාට පස්සේ අන්න අර බුදුපියාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා, මුළුලොව අධිපතිකමටත් වඩා, දිව්‍ය ලෝකයේ යාමටත් වඩා, ශ්‍රේෂ්ඨ හැටියට සලකන සෝවාන් ඵලය ලබාගත්තා. මෙයින් අපට පෙනෙනවා ගැඹුරු ධර්ම කියන ජාතිය-‘විදර්ශනා ඥාන’ කියන ජාතිය-උගතුන්ට, උපාධිලාභීන්ට, සරසවිවලට ගිය අයට, පමණක් සීමාවුනු දේවල් නොවෙයි. මේ ගොවිතැන් බත් කරන මේ පින්වතුන්වත් තමන්ගේ ජීවිත සරසවියෙන් ප්‍රයෝජන ගන්න කල්පනා කරනවා නම් මේවා ලබාගන්න හැකි බව. දැන් අර මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයාට යම්කිසි ගැඹුරු පුණ්‍ය ශක්තියක් තිබුනු නිසා බුදුපියාණන් වහන්සේගේ ගාථා ධර්මය අසනවාත් එක්කම අර තරම් පරිවර්තනයක් සිද්ධ උනා. මේ පින්වතුන්ට ටිකක් සැක හිතෙන්ට පුළුවන් මොකද මේ තුන්ලෝකාග්ර බුදුපියාණන් වහන්සේ මේ තරම් වැඩ තියෙද්දි, අර තරම් සංඝයා වහන්සේලා පිළිබඳ වැඩකටයුතු තිබෙද්දී, මේ බමුණෙක් කෙතක් සීසාන තැනට කීප සැරයක් වැඩම කළේ කියල. බුදු පියාණන් වහන්සේ එතනට වැඩම කළේ අර බමුණාගේ කෙත පැහෙනකං බලාගෙන ඉඳල අස්වැන්නෙන් කොටසක් ලබාගන්න නොවෙයි. බමුණාගේ සිත පැහෙනකං බලාගෙන ඉඳල තමන් ලබාගත්තු අමාමහ නිවන් අස්වැන්නෙන් කොටසක් ලබාදීමටයි. බමුණාගේ සිත පැහුනේ අන්න අර අස්වැන්න විනාශ වුනු දවසෙයි. සමහරවිට මේ පින්වතුන්ගෙත් සිත පැහෙන්නේ ආපදා විපත්ති ලැබුනහම. දැන් මේ කාලේ ඒව පිළිබඳව අලුතෙන් කියන්න ඕන නෑ. තමන්ගේ දුදරුවන්, නෑ හිතවතුන්. කොයි විදියේ අවස්ථාවලදී ජීවිත කෙළවර කරගන්නවද කියල. සමහරවිට අසාධ්‍ය රෝග වලින්, සමහරවිට මහා කම්පනවලින්, මහා ගිනිජාලා මැද විනාශයට පත්වෙනවා. ජීවිත සරසවියේ ඒ විදියේ පාඩම් ලැබිලත්, ඒවා ගැන හිත යොදවන්නේ නැති නිසා අර මිථ්‍යාදෘෂ්ටික බමුණාට කරගන්න පුළුවන් වූ දේ වත් කරගන්න බෑ බෞද්ධයින්ට. ඒ වෙනුවට ඒ විදියේ ඇතැම් අය කල්පනා කරන්නේ මේ ගැඹුරු ධර්ම-නිවන. ලෝකෝත්තර මාර්ගඵල-කියන ජාතිය පිළිබඳව කල්පනා කරන්න මේ රට සමෘද්ධිමත් වෙලා, කිරෙන් පැණියෙන් උතුරන අවස්ථාවක පමණයි කියල. ‘එතකං අපි ආර්ථිකය නඟා හිටවන්න බලමු. ධාර්මිකයට මොනව උනත් කමක් නෑ.’ අන්න ඒ විදියේ මතිමතාන්තරයි ලෝකයේ තියෙන්නෙ. නමුත් මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන් මේ පොඩි කථාව ආශ්රයෙන්-දැන් කථා කියන ජාතිය, කෙටි කථා, නවකථා ආදිය මේ පින්වතුන් බොහොම ආසාවෙන් කියවනවා. ඒවායින් ගතයුතු ආදර්ශයක් නෑ. රසවිඳීම මිසක්. නමුත් ධර්ම කථා තුළින්, ජීවිත ප්රවෘත්ති තුළින්, අපට උගත හැකි පාඩම් බොහොමයි. මේ ශාසනයේ තෙර-තෙරණියන්ගේ ජීවිත චරිත පිළිබඳව, උපාසක-උපාසිකාවන්ගේ ජීවිත චරිත පිළිබඳව කියවන කොට පෙනෙනවා බොහෝ දෙනෙකුට මේ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වුනේ මහා කම්පන රාශියකට මුහුණදුන් අවස්ථාවල බව. කිසා ගෝතමී, පටාචාරා ආදීන්ගේ ප්රවෘත්ති අංගුලිමාල ආදී ඒ විදියේ නොයෙකුත් අය, මහා ජීවන ගැටළු මධ්‍යයේ ඒ අත්දැකීම් තුළින් තමයි, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේ. එතකොට එබඳු ඒ අවස්ථාවල් අපටත් තිබෙනවා. ඒවාට තමයි අපි අර කිව්වේ ‘වෙස්වළාගත් ආශීර්වාද’ කියල. ‘වෙස්වළාගත් ආශීර්වාද’ කියල කියන්නේ, අපට පෙනෙන්නේ ඒව ආපදා හැටියට. අපට පෙනෙන්නේ විපත්ති හැටියට. කම්පන හැටියට. නමුත් ඒ කම්පන සිද්ධවෙන්නේ මොකකටද? අර සංසාරයේ යම්කිසි අවස්ථාවක් එනවා ක්ෂණ සම්පත්තිය හැටියට. බුදුපියාණන් වහන්සේ මේ ක්ෂණ සම්පත්තියේ අගය දක්වල තියෙනවා. ක්ෂණය කියල කියන්නේ මොහොත. ‘උතුම් මොහොත ඉක්මයා නොදෙවු’ කියල බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා.
‘බණේ වෙ මා උපච්චගා
බණාතීතා හි සොචන්ති
නිරයම්හි සමප්පිතා’
‘උතුම් මොහොත-නැකත-ඉක්ම යා නොදෙවු. එහෙම ඉක්ම ගියොත් නුඹලාට නිරයේ වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවා.’ මොකක්ද මේ උතුම් මොහොත කියල කියන්නේ?
බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළා, ලෝකයේ බොහෝදෙනා ‘බණකිවේවා ලෝකො. බණකිවේවා ලෝකො’ කියල ප්‍රකාශ කරනවයි, මේ ලෝකය කියන්නේ මොහොතට වැඩ කෙරෙන, වෙලාවට වැඩ කරන, තැනක් කියල. දැන් නම් වෙලාව කියන එක සලකාගන්නත් බැරි තරමට බොහොම ව්‍යාකූලයි. නමුත් බුදුපියාණන් වහන්සේ නැකත කියල හැඳින්වූයේ මේ බුද්ධෝත්පාදකාලයේ ලබන ඥානවන්ත මනුෂ්‍ය ආත්ම භාවයයි. කාරණා රාශියක් එකතුවෙලා තමයි කෙනෙකුට මේ බුද්ධෝත්පාද කාලයක ඥානවන්ත මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න පුළුවන් වෙන්නේ. බුදු කෙනෙක් පහළ උනත් තමන් තිරිසන් ලෝකෙ, ප්‍රේත ලෝකෙ, අසුර ලෝකෙ එහෙම උත්පත්තිය ලැබුවා නම්, මේ ධර්මයට නැඹුරු වෙලා ධර්මානුකුලව ජීවත් වෙලා නිවන් ප්රත්යක්ෂ කරගන්න, සසරින් මිදෙන්න, අවස්ථාව සැලසෙන්නේ නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයක ඒ ධර්මය පවතින තැනක මනුෂ්‍යාත්මභාවයක් අංග විකලත්වයක් නැතිව ඥානශක්තිය ඇතිව ලැබුවා නම් අන්න ඒකට තමයි ක්ෂණ සම්පත්තිය කියල කියන්නේ. ඒ ක්ෂණ සම්පත්තියෙන් වැඩ ගැනීමට තමයි බුදු පියාණන් වහන්සේ අපට නිතරම අවවාද කරල තියෙන්නෙ. ඒකෙ අගය දක්වල තියෙනවා. මක්නිසාද? විශේෂයෙන්ම අර මෙතන සඳහන් වුනු ආකාරයට සෝවාන් පුද්ගලයා නිරයෙන් මිදෙනවා-පළමුවෙනිම මිදීම. මේ හැම කෙනෙක්ම කල්පනා කරන්ට ඕන, සසරින්-මුළු මහත් සංසාරයෙන්-මිදීම ලැබෙන්නේ අර්හත්වයෙන්, ඊට මෙහා පළවෙනි මාර්ගඵලයෙන්ම ලැබෙන පුදුම අන්දමේ විමුක්තියක් තමයි මේ අපායට යාමේ භයානක තත්ත්වයෙන් මිදීම-අත්මිදීම. අනන්ත කාලයක් ලෝක සත්ත්වයා තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුර ලෝකයේ, නිරයේ මහා දුක් විඳින බව බුදුපියාණන් වහන්සේත්, අභිඥාලාභී මහරහතන් වහන්සේලාත්, ප්‍රකාශ කරල තියෙනවා. අන්න ඒ තරම් ආපදා සම්පන්න අවදානම් තත්ත්වයක් ලෝකයේ-ජීවිතයේ-තිබෙන නිසා මෙන්න මේ උතුම් තත්ත්ව, විදර්ශනා ඥාන, මාර්ගඵල, වතුරාය සත්‍යය, කියන දේවල් පැත්තකට තල්ලු කරන්නේ නැතිව, මේ තමන්ට අත්දකින්නට ලැබෙන ආපදා විපත්ති තුළින්, මේ භයානක කාලසීමාවල ලබන අත්දැකීම් තුළින්, පාඩම් ඉගෙන ගන්න ඕන. සමහර කෙනෙක් හැමදාම එකම ගණන හදනවා. හදන්න හදන්න වැරදියි. හරි උත්තරය එන්නේ නෑ. අන්න ඒ වගේ තමයි මේ සංසාරයේ සත්ත්වයා මේ චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න බැරුව ගමන් කරන්නේ. බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරල තියෙනවා. ‘මහණෙනි, මමත් නුඹලත් මේ තරම් අනන්ත කාලයක් අවිද්‍යාවෙන් වැහිල තණ්හාවෙන් බැඳිල මේ සංසාරයේ ගමන් කළේ මේ චතුරාර්ය සත්‍යය නොදැනීමෙන්ය’ කියල. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට ජීවිතයෙන් ලැබෙන අත්දැකීම් උපකාර කරගත යුතුව තිබෙනවා. යම් ආපදා විපත්ති එනවා නම් ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දුක පිළිබඳ සත්‍යයයි. ඒකෙන් කොටසක් මට මේ ලැබිල තියෙන්නෙ. මේකෙ යට තියෙන්නෙ තණ්හාවයි කියල අර බ්‍රාහ්මණයාට තේරුන වගේ. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන දෙයක්.
‘යෝනිසෝ මනසිකාරය’ කියල කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. යම් යම් දේවල් යම් තැනකින් පැන නැඟිනවා නම් එතන-ඒ දිහා බැලීම. එයින් එහා පැත්ත බලාගෙන ගියොත් කවදාවත් ඒකේ සත්‍යය අවබෝධ වෙන්නේ නැහැ. ‘අයෝනිසෝ මනසිකාරය’ කියල කියන්නේ අනිසි මෙනෙහි කිරීමයි. ඇත්ත වශයෙන්ම, සෝවාන්වීමට උපකාරවන කාරණා හතරක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා ‘සප්පුරිස සංසේවො, සද්ධම්මසවනං, යෝනිසෝමනසිකාරෝ, ධම්මානුධම්මපටිපත්ති’ කියල. ‘සප්පුරිස සංසේවො’ කියන්නේ සත්පුරුෂ ආශ්‍රයයි, කල්‍යාණමිත්‍ර ආශ්‍රයයි. ‘සද්ධම්ම සවනං’ කියන්නේ ධර්ම ශ්‍රවණය-සද්ධර්මය ඇසීම. ‘යෝනිසෝ මනසිකාරෝ’ කියල කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඊළහට ‘ධම්මානුධම්මපටිපත්ති’ කියල කියන්නේ ධර්මයට අනුව පිළිපැදීම-ආර්ය අෂ්ටාංශික මාර්ගය. එතකොට මෙන්න මේ හතරයි. දැන් අර බ්‍රාහ්මණයාට මේ හතර සම්පූර්ණ උනාද කියල සමහරවිට කෙනෙකුට සැක හිතෙන්ට පුළුවන්. නමුත් අතීත සංසාරයේ ඒව පුරල තියෙන කෙනාට ඉතාම සුළු උද්දීපනයකින් ඒ ගැඹුරු අවබෝධය ලබාගන්න පුළුවන්. වැටහීම කියන එක ඒ ඒ පුද්ගලයාට ඒ ඒ ආකාරයටයි එන්නේ. දැන් මේ පින්වතුන් අතරත් සමහරවිට ටිකක් කියන කොට තේරෙන අය ඉන්නවා. සමාජයේ කථාවක් තියෙනවා ‘මට නම් හැරෙනකොට තේරෙනවා’ කියල. අන්න ඒ වගේ. හැරෙන කොට තේරෙන අයත් හිටියා. බුදු පියාණන්වහන්සේ හැරෙනකොට, යන්තම් එක වචනයක් දෙකක් පාවිච්චි කරන කොට, එයින්ම තේරුම් අරගෙන නිවන අවබෝධ කළ අයත් හිටියා. සමහර අයට ටිකක් දිගට කියන්න වෙනවා. සමහර අයට නොයෙකුත් විදියේ උපක්‍රම යොදන්නම වෙනවා. දැන් මෙතනත් බුදුපියාණන් වහන්සේ අර බ්‍රාහ්මණයා තුළ ශ්‍රද්ධාව ඇති කරන්න කුලූපගවීමක් වගේ නිතර කෙත ළහට ගිහිල්ල ඇති කරගත්තා. බුදු පියාණන් වහන්සේ දැක්කා ඒ තරම් අලාභයක් බ්‍රාහ්මණයාට වෙන බව. ඒක නොදැක නොවෙයි-අස්වැන්නෙන් කොටසක් බලාපොරොත්තුවෙන් නොවෙයි. නමුත් ක්‍රමක්‍රමයෙන්, ඒ වෙනුවෙන් විශේෂ වෙහෙසක් අරගෙන, බුදු ශාසනය අර බ්‍රාහ්මණයා ළහට අරගෙන ගියා. ඒකේ ප්‍රතිඵලය තමයි බ්‍රාහ්මණයාට ඒ විමුක්තිය ලැබීම.
ඒ විදියට මේ පින්වතුනුත් උත්සාහවත් වෙන්න ඕන තමන්ට ලැබෙන ජීවන ගැටළු තුළින්, ආපදා තුළින්, ජීවිතයේ යථා තත්ත්වය අවබෝධ කරගන්න, සංසාර තත්ත්වය අවබෝධ කරගන්න. හැමදාම හොඳ පන්තියේ ඉන්නවා වගේ ආස්වාද පන්තියෙම ඉන්නේ නැහැ. මේකෙ ආදීනව පක්ෂයක් තියෙනවා කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ‘මම ලෝකයේ ආස්වාද පක්ෂය සොයාගෙන ගියා. ලෝකයේ යම් ආස්වාද පක්ෂයක් තියෙනවා නම් මම ඒක තේරුම් ගත්තා. ඊළහට මම ආදීනව පක්ෂය සොයාගෙන ගියා. ඒ ආදීනව තත්ත්වයත් මම තේරුම් ගත්තා. ඊළහට මම ලෝකයෙන් නිස්සරණය-නික්මීම-පිළිබඳව පර්යේෂණ කළා. ඒ පර්යේෂණ කියන වචනයත් යොදනවා. ඒකත් මේ කාලයේ පාවිච්චි කරන එකක් ඔය ශාස්ත්‍රීය කටයුතු පිළිබඳව ’පර්යේෂණ’. අනාරිය පරියෙසන, අරිය පරියෙසන කියල වචන දෙකක් යොදල තියෙනවා-අනාරිය පර්යේෂණයත්, ආරිය පර්යේෂණයත්, අනිසි සෙවීමත් නිසි සෙවීමත්. එතකොට බුදුපියාණන් වහන්සේ මේ ආරිය පර්යේෂණය තුළින් ඒ නිස්සරණය-නිවන-අවබෝධය කළා. අවබෝධ කරගෙන තමයි බුදුපියාණන් වහන්සේ ඊළහට ලෝක සත්ත්වයින්ට-දෙවියන්ට, මනුෂ්‍යයින්ට, අර විදියේ දුගී පුද්ගලයින්ට, නොයෙකුත් අතවරවලට පාත්‍ර වූ ස්ත්‍රී පුරුෂයින්ට මහා දාමරිකයන්ට, චරිත දූෂිත අයට ඒ වගේම සංඝයා වහන්සේලාට නොයෙකුත් තීර්ථක, පරිබ්‍රාජක, නිගණ්ඨ ආදීන්ට-හැමදෙනාටම උපකාර කළේ. උන්වහන්සේට පෙනුනා මේ අයගේ සංසාරයේ යම් යම් හොඳ ගුණත් තිබෙනවා කියල. නරක ගුණවලට, ඒවා යටපත් කරන අන්දමේ ධර්ම දේශනා කරල ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගත්තා. දැන් මෙතන අර සත්පුරුෂ ආශ්‍රය උපකාර වෙනවා. ඊළහට සද්ධර්ම ශ්‍රවණය. අර බ්‍රාහ්මණයාට එකවර ලැබුන මේ හතරම. ලෝකයේ ඉන්න උතුම්ම කල්‍යාණ මිත්‍රයාණන්වහන්සේ තමයි ඒ බ්‍රාහ්මණයාගේ කෙත ළහට-අර නිවසට-වැඩම කළේ. එතකොට ඒ සත්පුරුෂ ලාභය ලැබුනා. සද්ධර්ම ශ්‍රවණ හැටියට අර ගාථා පද උනත් ඇතිවුනා. ඊළහට යෝනිසෝමනසිකාරය. බ්‍රාහ්මණයා හිත යොදවලා, කෙතේ දර්ශනය වෙනුවට හිත දිහා හැරිල බලල ඒ සත්‍යය වටහා ගත්තා. යෝනිසෝ මනසිකාරයෙන් ධර්මානුධර්ම ප්රතිපත්තියටත් මග පෑදුනා. දැන් මේ කාලේ සමහරවිට කෙනෙක් හිතන්ට පුළුවන් මුළු ජීවිතයම ආර්ය අෂ්ටාංශික මාර්ගයේ යෙදීමය කියල. ඇත්තම කෙනෙකුට එහෙමත් යෙදීම අවශ්‍ය වෙනවා. නමුත් අතීතයේ ඒ ධර්ම පුරල තියෙන කෙනාට ඉතාම සුළු වෙලාවකින් අර ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනවා. දැන් කෙනෙක් ලෝකයෙන් හිත මෑත් කරගෙන උපවාස කරනවා නම් මට ජීවිතය එපා කියල, ඒ තැනැත්තා තුළ කෙලෙස් අඩුයි. ජීවිත අපේක්ෂාව නැති කරගෙන තියෙන්නෙ වැරදි අදහසකින් නමුත්, අන්න එබඳු අවස්ථාවක බමුණාට මේ ධර්මය වැටෙනවාත් එක්කම ආර්ය අෂ්ටාංශික මාර්ගය සිත ඇතුළේ සම්පූර්ණ වෙන්න ඇති. ඒක ඉතාම ගැඹුරු දෙයක්.
දැන් මේ පින්වතුන් දන්නවා දේදුන්නක වර්ණ දකින්න බොහොම දෙනෙක් ආසාවෙන් ඉන්න බව-කුඩා දරුවන් එහෙම. ඔය මේ වගේ වැහීගෙන එන වෙලාවක අහස දිහා බැලුවහම කලාතුරකින් අපට දකින්න පුළුවන් දෙයක් නමුත් හැමවිටම එහෙම දකින්න බැරිවුනත් දේදුන්නක තිබෙන සූර්යයාගේ ලස්සන වර්ණ බලන්ට පුළුවන් ඔය වැළක කොලයක එල්ලෙන පොඩි පිණි බිංදුවක් දිහා හරියට එල්ලයට අනුව ඉර පායන වෙලාවක බලනකොට. අරක මැණිකක් වගේ දිලිසෙනවා. ඒක ඇතුළේ අර රශ්මි දකින්න පුළුවන් වෙනවා. පිණි බිංදුවක් තුළින් පුළුවන් දේදුනු වගේ දකින්නට. ඒ වගේ තමයි, පොඩි ගාථාවක්-ගාථා පදයක්-වචනයක්-තුළින් කෙනෙක් හරියට ඉලක්කය අනුව බැලුවා නම්, සම්‍යක් දෘෂ්ටිය ඇති කරගත්තා නම්, ඒ තැනැත්තාට පුළුවන් ඒ තුළින් නිවන දකින්න. ඒ වගේ දෙයක් තමයි අර බ්‍රාහ්මණයා තුළ ඇතිවුන චිත්ත විප්ලවය.
අන්න ඒ විදියට ගැඹුරින් කල්පනා කර බලන කොට මේ ධර්ම කථාවකින් අපට ආදර්ශ රාශියක් ගන්න පුළුවන්. ඒ වගේම අපේ මේ ජීවිතය ගෙවෙන ආකාරය, ජීවිතයේ යථා ස්වභාවය, නිතර මෙනෙහි කරන්ට ඕන. බුදු පියාණන් වහන්සේ මේ ජීවිතයේ යථා ස්වභාවය යථාර්ථය (දැන් මේ වචනය යොදනව සමාජයේ) ‘ඇත්ත ඇති සැටිය’ දක්වල තියෙනවා වාක්‍ය හතරකින්. ධර්ම මාතෘකා හතරකින්. මේ හතර තමයි:
මේ ධර්ම මාතෘකා හතර පිළිබඳව හොඳ විවරණයක් අපට ලැබෙනවා රට්ඨපාල ස්වාමීන්වහන්සේගෙන්. රට්ඨපාල ස්වාමීන්වහන්සේ කියන්නේ මේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදිවුනු අතර අග්‍ර තනතුර ලැබූ කෙනෙක්. බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල තමන්වහන්සේගේ ශ්රාවකයින්ට ඒ ඒ අංශ අතින් අගතනතුරු දෙනවා. ප්‍රඥාවෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අග්‍රයි. සෘද්ධිමතුන් අතර මුගලන් මහා ස්වාමීන්වහන්සේ අග්‍රයි. උපාධ්යායකයින් අතර ආනන්ද ස්වාමීන්වහන්සේ අග්‍රයි. දැන් මේ කාලේ සරසවිවලත් නොයෙකුත් උපාධි දෙනවනේ ඒ වගේ. ඒක ලෝකයට ආදර්ශයක් වශයෙන්. ප්‍රඥාව ඕන නම් මේ පැත්ත බලන්න. සෘද්ධි ඕන නම් අර පැත්ත බලන්න. උපස්ථාන කටයුතු පිළිබඳව ඕන නම් මේ පැත්ත බලන්න. ඒ විදියට, ඒ වගේ ශ්‍රද්ධාවේ තිබෙන ශක්තිය, ශ්‍රද්ධාවේ තිබෙන පුදුම ප්රාතිහාර්ය, දකින්න ඕන නම් රට්ඨපාල ස්වාමීන්වහන්සේ දිහා බලන්න. මොකද රට්ඨපාල ස්වාමීන්වහන්සේ බුදුපියාණන් වහන්සේගෙන් එකවරක් ධර්මය අහල පැවිදිවෙන්න අවසර ඉල්ලූව, මවුපියන්ගෙන්. රට්ඨපාල ස්වාමීන්වහන්සේ මහා ධනවන්ත පවුලක කෙනෙක්. තමන්ගේ මවුපියන්ගෙන් අවසර ඉල්ලුවාම ඒ තරුණ වයසෙදි, ඒකට අවසර ලැබුනේ නෑ. එතනම බිම දිගා වුනා. ‘එක්කො මරණය එක්කො පැවිද්දට අවසර’ කියල. මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. අන්තිමට මේක බේරගන්න බැරිව යාලුවන් මිත්‍රයන් එකතුවෙලා මවුපියන්ට කරුණු කියල යම්තම් පැවිදිවෙන්න අවසර ලබාදුන්නා. ඒ රට්ඨපාල ස්වාමීන්වහන්සේ රහත් උනාට පස්සේ තමන්ගේ ගමට වැඩම කළා. කුරු ප්‍රදේශයට වැඩම කළ අවස්ථාවේ ඒ කුරු රටේ කෝරව්‍ය රජතුමා රට්ඨපාල ස්වාමීන්වහන්සේගෙන් ඇසුවා ඇයි රට්ඨපාල ස්වාමීනි මේ තරම් ධනවත් පවුලක ඉපදිල මේ තරම් තරුණ වයසේදී ඇයි පැවිදි උනේ කියල. පැවිදිවෙන්න මොකද හේතුව? කියල. ඒ අවස්ථාවේ රට්ඨපාල ස්වාමීන් වහන්සේ කියනවා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම මාතෘකා හතරක්-ජීවිතය පිළිබඳ යථාර්ථය ප්‍රකාශ කරන ධර්ම මාතෘකා හතරක්-අහල, ඒකේ තත්ත්වය දැනගෙන, දැකල, ඒක සත්‍යබව තේරුම් අරගෙනයි මම පැවිදි උනේ කියල. නිකම්ම නොවෙයි කියල. දැන්, ශ්‍රද්ධාවෙන් කියල කියන කොට ඇතැම් කෙනෙක් හිතන්ට පුළුවන් මොකද ශ්රද්ධාවෙන්ය කියල. මොනවද මේ කාරණා හතර කියන එක අපි සඳහන් කළා.
උන්වහන්සේ ප්‍රකාශ කළා රජතුමාට, ලෝකයේ ස්වභාවය තමයි ‘උපනීයති ලෝකෝ අද්ධුවො’-‘ලෝකය ඉදිරියට තල්ලු වී යන අස්ථිර තැනක්’. මොකක්ද මේක තේරුම් කියල රජතුමා අහනවා. මේක බැලුවහම ටිකක් ප්‍රහේලිකා වගේ නිසා. එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ ඒක තේරුම් කිරීම වශයෙන් රජතුමාගෙන් අහනවා: මහරජ, ඔබට වයස 20-25 වගේ කාලේදී කොහොමද හොඳට කාය බල-ශරීර ශක්තිය තිබුනද? ඇත්-අස්-රථ-පාබල සේනා හැසිරීම පිළිබඳව, ඇතුන් අසුන් හැසිරවීම පිළිබඳව, කඩු-දුනු ශිල්ප පිළිබඳව, දක්ෂකම් එහෙම තිබුනද? ‘අපොයි ඔව්, ඒ කාලේ නම් මට හිතුනා මා තරම් බලවන්ත කෙනෙක්, ශක්තිමත් කෙනෙක්, නැහැයි කියල. මට සෘද්ධි තියෙනවයි කියලත් හිතුනා. ඒ තරමටම මට කාය බලය, ශක්තිය කිබුනා.’ එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ අහනවා; ‘හොඳයි මහරජ, දැනුත් එහෙමද?’ කියල. ‘අපොයි දැන් නම් එහෙම නෑ. දැන් මට වයස අවුරුදු අසූවක් විතර වෙනවා. ජරා ජීර්ණ මහල්ලෙක්. දැන් සමහරවිටෙක මම මෙතන පය කියනවා කියලා අතනයි පය කියන්නේ. අතපයවත් වලංගු නෑ.’ අන්න මේක තමයි, මහරජ, බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළේ: ‘උපනීයති ලෝකෝ අද්ධුවො’, ලෝකයා ජරාව විසින් ඉදිරියට තල්ලු කරනු ලබනවා. මේක අස්ථිර දෙයක්. ලෝකය අස්ථිර දෙයක්. ලෝකය කියල කියන්නේ ලෝකයා-ජීවිතය, ජීවිතයේ ඔන්න ඔය සත්‍යයයි. එතකොට රජතුමා ප්‍රකාශ කරනවා ’ආශ්චර්යයි, ස්වාමීන්වහන්ස, අද්භූතයි මේ කාරණය. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙය කොයිතරම් සත්‍යද කියන එක. එතකොට අන්ත දුගියකුගේ ජීවිතය පිළිබඳවත් මහරජකුගේ ජීවිතය පිළිබඳවත් සත්‍යවූ යථාර්ථය තමයි බුදුපියාණන් වහන්සේ මේ බණ පදයෙන් ප්‍රකාශ කරල තියෙන්නෙ.
ඊළහට දෙවෙනි කාරණය පිළිබඳව රජතුමා අසනවා රට්ඨපාල ස්වාමීන්වහන්සේගෙන්; මේ මොකද ස්වාමීන්වහන්සේ ‘අත්තාණො ලෝකෝ අනභිස්සරො’ කියල ප්‍රකාශ කළේ? ඒක සාමාන්‍ය අදහස ‘ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති තැනක්ය’ කියන එකයි. මේ කාලේ උනත් ඒක කිව්වොත් කෙනෙක් ටිකක් ගැස්සිල හිටිනවා. ‘ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති තැනක්: මොකද එහෙම ප්‍රකාශ කළේ?’ රජතුමා අහනවා: ‘මට ඇත්-අස්-රථ-පාබල සේනා තිබෙනවා. ඒ තරම් මට ආරක්ෂාවල් තිබෙනවා. ඇයි මෙහෙම ප්‍රකාශ කළේ?’ කියල. එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ රජතුමාගෙන් අහනවා. ‘මහරජ, ඔබට යම්කිසි නිදන්ගත රෝගයක් එහෙම කියෙනවද? කියල. රජතුමා ප්‍රකාශ කරනවා ’එහෙමයි, ස්වාමීනි. මට තියෙනවා බරපතළ වාතාබාධයක්. සමහර අවස්ථාවල ඒ වාතාබාධය උත්සන්න උනහම මගේ නෑ හිතමිතුරන් මාව පිරිවරාගෙන ’අන්න දැන් කෝරව්‍ය රජතුමා කලුරිය කරාවි. මැරේවි’ කියල කියනවා අහෙනවා‘. එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ අහනවා, ’මහරජ, එබඳු ඒ අවස්ථාවල ඔබට පුළුවන්ද ඒ නෑ හිත මිතුරන්ට කියන්න ’අනේ මේ කට්ටිය එකතුවෙලා ටික ටික මගේ වේදනාව බෙදාගන්න. මගේ වේදනාව අඩුකරගන්න’ කියල. එහෙම කරන්න පුළුවන්ද? ඔය කියන නෑ හිතවතුන්ට තමන්ගේ වේදනාව බෙදා දීල සහනයක් ලබාගන්න පුළුවන්ද?’ ‘මට එහෙම කරන්න බෑ’ කියල රජතුමා ප්‍රකාශ කරනවා. ‘අන්න ඒක තමයි බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කරල තියෙන්නේ ’අත්තාණො ලෝකෝ අනභිස්සරො’. ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති තැනක්. තමන්ට බෑ මෙබඳු තැන්වලදී ආරක්ෂාවක් ලබාගන්න. අන්න එතකොටත් රජතුමා ‘කොයිතරම් ආශ්චර්ය අද්භූත කාරණයක්ද’ කියල ඒක පිළිගත්තා.
රජතුමා ඊළහට අහනවා: දැන් මට මේ රජමැදුරේ තිබෙනවා රන් රිදී මුතු මැණික් බොහොම ධන ධාන්‍ය තිබෙනවා එහෙම තිබෙද්දී මොකද රට්ඨපාල ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරන්නේ, ‘අස්සකො ලෝකෝ සබ්බං පහාය ගමනීයං’ කියල. ඒකේ අදහස ලෝකය කියන්නේ, තමන්ටෙයි කියල අයිති දෙයක් නැති තැනක්ය. සියල්ල අතහැර යා යුතු තැනක්ය. මේ කියමනේ තේරුම මොකක්ද කියල ඇසුවාම රට්ඨපාල ස්වාමීන්වහන්සේ විමසනවා දැන් මහරජ, ඔබ මේ පංචකාම සම්පත්තිය විදිමින් හොඳට ජීවත් වෙනවා. පරලොව යනකොටත් මේව අරගෙනයන්න පුළුවන්ද? එහෙම නැත්තම් මෙහේ ඉන්න කෙනෙකුට ඒව පවරල දීල යන්න වෙනවද? අතහැරල දාල යන්න වෙනවා නේද? ‘එය එසේමයි, ස්වාමීනි, මට මේ එකක්වත් අරගෙන යන්න බෑ. පරලොව යන්නේ මගේම කර්මානුරූපව, මා කළ හොඳ-නරක අරගෙනයි මා පරලොව යන්නේ’ කියල රජතුමා කිව්වා. ‘අන්න මේක තමයි බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළේ ලෝකයේ තමාට කියල අයිති දෙයක් නැත හැමදෙයක්ම අතහැරල යන්න වෙනවයි කියල’. ඒක පිළිගත්තා රජතුමා.
ඊළහට අවසාන වශයෙන් ප්‍රකාශ කරන එක තමයි අපි මේ අවස්ථාවේ මතක් කළ ගාථාවටත් අදාළ දෙය-ඌනෝ ලෝකෝ අතිත්තො තණ්හාදාසො‘. ඒකත් මේ රජතුමා අසනවා මොකද මේකෙ තේරුම කියල. ඒ පාඨයෙ අදහස: ’ලෝකය නිතරම අඩුවක් ඇති, සෑහීමක් නැති, තණ්හාවට වහල්වූ තැනක්’ කියන එකයි. එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ ඒක රජතුමාට ප්රත්යක්ෂ කරවන්න අසනවා ප්‍රශ්න කීපයක්. ‘දැන් මහරජ, ඔබ මේ මහා සමෘද්ධියක් ඇති කුරු රටට අධිපතිව වසනවා නේද?’ ‘එහෙමයි’. ‘දැන් ඔබ හමුවෙන්න කවුරුවත් එනවා චරපුරුෂයෙක්, එහෙම නැත්නම් විශ්වාස කටයුතු පුද්ගලයෙක්. ඇවිල්ල, මෙහෙම ප්‍රවෘත්තියක් කියනවා: ’මම නැගෙනහිර දිශාවෙන් එන්නේ. ඒ දිසාවෙ තියෙනවා බොහොම ධනධාන්‍ය ඇති සමෘද්ධිමත් රටක්. ඒක බොහොම පහසුවෙන් ඔබ තුමාට දිනාගන්න පුළුවන්’ කියල. එහෙම කිව්විහම, මහරජ, ඔබ ඒ පිළිබඳව මොකක්ද කරන්නේ-එහෙම ආරංචියක් ලැබුනහම?’ ‘මම ඒ රටත් දිනාගන්නවා’ ‘අන්න ඊළහට අහනවා: හොඳයි ඒවගේම බටහිර දිසාවෙනුත් අර වගේම දුතයෙක් ඇවිල්ල කියනවා: ’ඒ පැත්තෙක් කියනවා මේ වගේ ලොකු ජනපදයක් දේවයන් වහන්ස, ඔබ තුමාට පුළුවන් පහසුවෙන්ම ඒක දිනාගන්නට”. ’එතකොට එහෙනම් මම ඒකත් අල්ලගන්නවා, ඒකත් ජයගන්නවා’, ඒවගේම උතුරු දිසාවෙනුත්, දකුණු දිසාවෙනුත්. ඔය විදියට රජතුමා ප්‍රකාශ කළාම රට්ඨපාල ස්වාමීන්වහන්සේ ඒ කාරණය එත්තු ගන්වනවා: “අන්න ඔය නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙන්නෙ ‘ලෝකය මොකක්දෝ අඩුවක් ඇති තැනක්ය කියල’. හැම තිස්සෙම මොකක් හරි අවශ්‍යයි. කවදාවත් සෑහීමට පත්වෙන්නේ නෑ. තණ්හාවට වහල්. රජතුමාත් තණ්හාවට වහල්වෙලා. රජතුමා හිතන්නේ අධිපතියි කියල. දැන් මේ කාලෙත් නොයෙකුත් ‘අධිපති’ නාම තියෙන අය ඉන්නවා. ‘අධිපති’ කියන වචනයෙ සාමාන්‍ය අර්ථයක් තිබුනට මොකද මේ හැම දෙනෙක්ම තණ්හාවට වහල්-‘තණ්හාදාසයෝ’. රජතුමාත් තණ්හා දාසයෙක්.
එතකොට මේ තණ්හාදාසත්වයෙන් මිදීම තමයි තණ්හාවෙන් මිදීම කියල කියන්නේ. නිවන කියන්නේ මේ තණ්හා පිපාසය සංසිඳුවා ගැනීම. ඒ පිපාසය සන්සිඳුනු අවස්ථාව. උණකාරය වතුර ඉල්ලන්නා වගේ මේ පිපාසය අනන්ත කාලයක් සංසාරයේ අපව තල්ලු කරගෙන ආව-මේ තණ්හා පිපාසය. මේක කවදාවත් සන්සිඳෙන්නේ නෑ. ඉතාමත් විචිත්‍ර දේවල්, ඉතාමත්ම අනර්ඝ සුඛෝපභෝගී දේවල්, ඒ කොයිවයින් සම්පූර්ණ උනත්. චක්‍රවර්ති රජකෙනෙකුට කියන සැප සම්පත් ගැන හිතන කොට මේ කාලේ ඔය දියුණුය කියන රටවල් ඒ මහා ධනවතුන් විඳින සැපසම්පත් ‘හිඟන සැප’, ඒ තරම් විශාල සැප සම්පත් චක්‍රවර්ති රජවරු විදල තිබෙනවා. නමුත් එයිනුත් සැහීමකට පත්වුනෙ නෑ. මෙන්න මේක තණ්හාවේ ස්වභාවය. මේ තණ්හාවට, මේ ගින්නට, දර දාල කවදාවත් නිවන්න බෑ. ඒ වෙනුවට ඒ ගින්න ඇතිවුන තැනම-එතනම, නිවා ගතයුතු වෙනවා, අර බ්‍රාහ්මණයා එතනම තණ්හාව නැති කරගත්ත වගේ, තමන්ගේ කෙත පිළිබඳව. ඒ එක්කම ගැඹුරු අදහසක් ලබාගත්තා. මේකයි සසරින් මිදීමේ හොරේ. මේකයි මෙතන තියෙන රහස කියන එක, ඒ බ්‍රාහ්මණයා අවබෝධ කරගත්තු නිසා තමයි සෝවාන් තත්ත්වය ලැබුවේ. මෙන්න මේ න්‍යායය තමන්ට ලැබෙන ජීවන ගැටළු, ආපදා, විපත්ති තුළින් මතුකර ගැනීමෙන් තමයි අර වෙස්වළාගත්තු ආශීර්වාදයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක නිසා කාලවිපත්ති වශයෙන් පෙනෙන උපද්‍රව හෝ වේවා, එහෙම නැත්තම් තව නොයෙකුත් ලෝකයේ ඇතිවන විප්ලව හෝ වේවා, මේවා තුළින් අපි මේ බුද්ධ ශාසනය මතුකර ගන්න බලන්න ඕන. ‘බුද්ධ ශාසනය’ කියන එක ලොකු වචනයක්, බර වචනයක්. දැන් මේ කාලේ වචනවල ශබ්දය විතරක් ඉතිරිවෙල අර්ථය ගිලිහී යන ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ධර්මයට අදාළ වචනවල ශබ්දය එන්න එන්න වැඩිවෙනවා. නමුත් අර්ථය ගිලිහී යනවා. අන්න එබඳු වචනයක් තමයි ‘බුද්ධ ශාසනය’ කියන එක. දැන් මේ කාලේ ‘බුද්ධ ශාසනය’ කියල කිව්වොත් ගොඩනැඟිලි සිහියට නැගෙන්නේ. නොයෙකුත් විදියේ දේවල් සිහියට නැගෙනවා ඇති, ‘බුද්ධ ශාසනය’ කියන කොට. නමුත් ගැඹුරින් කල්පනා කරල බලනකොට, ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන ඇවිල්ල දේවානම්පියතිස්ස රජ්පුරුවන්ට බාරදුන්න බුද්ධ ශාසනයම තමයි බුදුපියාණන් වහන්සේ අර දුප්පත් බ්‍රාහ්මණයාගේ ගෙදරට ගිහිල්ල දුන්නේ. ඒ බුද්ධ ශාසනයේ පරමාර්ථය නිවනයි. ජීවන දර්ශනය ආර්ය අෂ්ටාංශික මාර්ගයයි. සම්‍යක් දෘෂ්ටියයි, චතුරාර්ය සත්‍යයයි. ජීවන ප්‍රතිපදාව සීල-සමාධි-ප්‍රඥා මගයි. මේකයි බුද්ධ ශාසනය. එතකොට මෙන්න මේ බුද්ධ ශාසනයයි බෞද්ධ පින්වතුන් අද වැනි දවසක සිහියට නඟාගෙන ආරක්ෂා කළයුත්තේ.
මේ බුද්ධශාසනය ආරක්ෂා කරගන්ට උපකාරවෙන දේවල් තමයි අපි සිටිවේ. දැන් සෝවාන් තත්ත්වය ලබාගැනීමට නම් කාරණා හතරක් උපකාර වන බව ප්‍රකාශ කළා. සත්පුරුෂ ආශ්‍රය-මේක එදිනෙදා ජීවිතය ගැන කල්පනා කරන කොට බොහොම හිත යොදල කල්පනාවෙන් ප්‍රයෝජනයට ගතයුතු කාරණයක්, ‘සත්පුරුෂ ආශ්‍රය’ කියන එක. ‘සත්පුරුෂයා’ කියන තැනැත්තා ධර්මයෙහි හඳුන්වන්නේ කල්‍යාණ මිත්‍රයා හැටියටයි. කල්‍යාණ මිත්‍රයා කියල කියන්නේ ධර්මඥානය ඇති, ධර්මයට අනුව ජීවත්වන, බණ භාවනා කරන, ගිහි හෝ පැවිදි හෝ කෙනෙක්. ධර්මානුකුල ජීවිතයක් ගෙවන තැනැත්තා තමයි සත්පුරුෂයා. එබඳු සත්පුරුෂයෙක් සමාජයට ප්‍රදීපස්තම්භයක් වගෙයි. පහන් කණුවක් වගෙයි. ‘පහන් කණුව’ කියන එක මේ පින්වතුන් හොඳට දන්නවා. පහන් කණුව කියන්නේ අනුන්ට ආලෝකය දෙන වස්තුවක්. අන්න ඒවගේ පහන් කණුවක් තමයි ‘සත්පුරුෂයා’, ‘කළ්‍යාණමිත්‍රයා’ කියන පුද්ගලයා. ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨතම පහන්කණුව තමයි බුදුපියාණන්වහන්සේ, තුන්ලෝකාග්ර බුදුපියාණන්වහන්සේ. ඒ ධර්මාලෝකය විහිදවූ බුදුපියාණන්වහන්සේ. ඊට මෙහායින් සිටින්නේ අෂ්ටආර්ය පුද්ගල මහාසංඝරත්නය. එහෙමත් නැත්නම් ගිහි හෝ පැවිදි හෝ ධර්මානුකුල ජීවිතයක් ගෙවන, බණ භාවනා කරන පින්වතුන්. ඒ හැම කෙනෙක්ම ප්‍රදීපස්තම්භයක්, පහන් කණුවක්, සත්පුරුෂයෙක්, කළ්‍යාණ මිත්‍රයෙක්. එබඳු කළ්යාණමිත්රයින් ආශ්‍රය කිරීමෙන් තමයි කෙනෙකුගේ දියුණුව සැලසෙන්නේ, සංසාර විමුක්තිය ලබාගන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තට කල්පනා කර බලනකොට පාප මිත්රයින් තමයි ලෝකයේ වැඩිපුර සිටින්නේ, සමාජයේ වැඩිපුර සිටින්නේ. එබඳු ඇත්තන් හැකිතාක් දුරට ඈතින් තබාගෙන, පුළුවන් නම් ඒ අය දුරින්ම දුරුකරල, ඒ අයගෙන් ප්රවේසම්වෙල, ජීවිතය ගෙවිය යුතුයි. මක් නිසාද, පාපමිත්‍ර සේවනය නිසා භයානක විනාශයකට පත්වෙනවා.
එක් අවස්ථාවක ආනන්ද ස්වාමීන්වහන්සේ මේ කළ්‍යාණමිත්‍ර ආශ්‍රයේ වටිනාකම ගැන ප්‍රකාශ කරන්න ගිහිල්ල බුදුපියාණන් වහන්සේට කියනවා: ‘ස්වාමීන්වහන්ස, මට පේන හැටියට නම් කළ්යාණමිත්රතාව කියන එක බුද්ධ ශාසනයෙන් භාගයක්ය, මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම වටිනවයි කළ්‍යාණ මිත්‍රතාව’. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ‘ආනන්ද, එහෙම කියන්න එපා. මේ බුද්ධ ශාසනයෙන් භාගයක් නොවෙයි මුළු මහත් බුද්ධශාසනයම කළ්‍යාණ මිත්රත්වයයි කියල. බුද්ධ ශාසනය කියල කියන්නේ කළ්‍යාණ මිත්රත්වයයි. කළ්‍යාණමිත්‍ර සම්පත්තියයි. දැන් මේ පින්වතුන් යම්කිසි කළ්යාණමිත්රත්වයක් නිසයි මෙතනට රැස්වෙලා සිටින්නේ. එකිනෙකා සමහරවිට අඳුනන්නේ නැතිව ඇති. වෙන වෙනම පෞද්ගලික වශයෙන් සම්බන්ධකම් ඇති අය නොවෙන්න පුළුවන්. නමුත් ධර්මය අතින්-ධර්මශ්‍රවනයට, ධර්මයට ලැදිවීම අතින් කළ්‍යාණ මිත්‍ර ගුණය තියෙනවා. අන්න ඒ විදියට තමයි බුද්ධ ශාසනයක් පවතින්නේ. පාපමිත්‍ර ආශ්රයෙන් ශාසනය පරිහානියට පත්වෙනවා. කළ්යාණමිත්රයින් සොයාගෙන ගිහිල්ල, ඒ අය ඇසුරු කරල, ඒ අයගෙන් ගතයුතු දේ ගනිමින්-උපකාර ගනිමින්-තමයි බුද්ධශාසනයක් ආරක්ෂාකරගන්නට වෙන්නේ. කළ්‍යාණමිත්‍ර ආශ්‍රය-’සප්පුරිස සංසේවො’ කියනඑක-ඉතාම දුර්ලභ දෙයක්. බුදුපියාණන් වහන්සේ දුර්ලභ කාරණා හයක් දක්වලා තියෙනවා.
බුද්ධෝත්පාදකාලය ඉතාම දුර්ලභයි. මනුෂ්‍යාත්මභාවය ඉතාම දුර්ලභයි. ඒ වගේම ක්ෂණසම්පත්තිය දුර්ලභයි. අපි අර සඳහන් කළ, බුද්ධෝත්පාදකාලයේ ලබන අංග විකලත්වයෙන් තොර ඥානවන්ත මනුෂ්‍යාත්මභාවය ක්ෂණසම්පත්තියයි. ඒකත් දුර්ලභයි. ඊටත් වඩා දුර්ලභයි පැවිද්ද. ඊළහට ඊටත් වඩා දුර්ලභයි ධර්මශ්රවණය. ඒ හැම එකකටම වඩා දුර්ලභව තියෙන්නෙ, අවසාන වශයෙන්, සත්පුරුෂ ආශ්‍රය-‘සප්පුරිස සංසේවො’. සත්පුරුෂ ආශ්‍රය හරියට අර ඉලක්ක පුවරුවක මැදින් තියෙන තිත වගෙයි. මක්නිසාද, බුද්ධෝත්පාද කාලය දුර්ලභ උනත් ඒක තුළ තවත් හුඟක් කාරණා එකතු වෙන්න ඕන කෙනෙකුට විමුක්තිය ලබන්න. බුද්ධෝත්පාද කාලය ලැබුවත් මනුෂ්‍යාත්මභාවයක් ලැබෙන්නට ඕන. මනුෂ්‍යාත්මභාවයක් එක්කම ක්ෂණසම්පත්තිය, පැවිද්ද, ඊළඟට ධර්මශ්රවණය. ඔය විදියට කාරණා එකින් එක එන්න එන්නම ඉතාම දුර්ලභයි. නියම කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය හරියට ලැබුන නම් අන්න එබඳු පුද්ගලයාට නිවන ඉක්මන් වෙනවා. අර බ්‍රාහ්මණයාට වාසනාවකට වගේ ලෝකයේ ඉන්න උතුම්ම කළ්යාණමිත්රයාණන්වහන්සේ හමුවුනා. ඒක නිසා තමයි අර තරම් ඉක්මනින් ඒ තත්ත්වය ලැබුවේ. එවගේම තමයි සද්ධර්මශ්රවණය. නිර්වාණගාමී ධර්මය අසන්ට, ඒකට කන් යොමුකරන්නට, සිත යොමුකරන්නට ඕන. ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නට ඕන. සාමාන්‍ය චාරිත්‍රයක් හැටියට නොවෙයි ධර්මශ්රවණය කරනවා කියල කියන්නේ. තමා තුළ ඇති නිවනට උපකාරීවන ධර්ම සමූහය එක්තැන් කරලා මාර්ගඵල අවබෝධය ඒ ධර්මශ්රවණ අවස්ථාවේ පවා ලබාගන්න තරම් සිත යොදල, සිත යොමු කරල, සමාධිමත්ව ඇසිය යුතු දෙයක් තමයි ධර්මය අසන එක. ඊළඟට, ඒ විදියට ධර්මය අසන අවස්ථාවේ තමයි යෝනිසෝ මනසිකාරය, නුවණින් මෙනෙහි කිරීම. දැන් අර බ්‍රාහ්මණයා නුවණින් මෙනෙහි කරලයි කෙත දිහා බලං ඉඳල එකපාරටම හිත දිහා බලන්න පටන් ගත්තෙ යෝනිසෝමනසිකාරය වශයෙන්. ඊළඟට එසේ බැලීම නිසා ඇතිවන චිත්ත විප්ලවය තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එක. ඇතැම් කෙනෙකුට එක මොහොතකදී සම්පූර්ණ වෙනවා. නමුත් බොහෝ දෙනාට ඒක පූර්වභාග වශයෙන් දීර්ඝකාලයක් තිස්සේ පුරුදු කරන්නට වෙනවා.ඒක තමයි තමන්ගේ ජීවිත රටාව හැඩගස්වා ගන්න ඕන වෙන්නේ. ඒ ජීවිත රටාව තමයි ආර්ය අෂ්ටාංශික මාර්ගය කියල කියන්නේ. සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ ආර්ය අෂ්ටාංශික මාර්ගය තුළිනුයි කෙනෙකුගේ මුළුමහත් ජීවිතයම ධර්මානුකුලව හැඩ ගැහෙන්නේ.
සම්මා දිට්ඨී කියන්නේ හරි දැක්ම-හරි ජීවන දර්ශනය. හොඳ නරක, කුසල් අකුසල් වටහාගෙන, දුක, දුකට හේතුව, දුකින් මිදීම කියන නිවන. ඊට මාර්ගය වන ආර්ය අෂ්ටාංශික මාර්ගය කියන ඒ වතුරාය සත්‍යය පිළිබඳව යම්කිසි මට්ටමක අවබෝධයක් ලබාගෙන, ඒ දෘෂ්ටිය, ඒ සම්‍යක් දෘෂ්ටිය පෙරටු කරගන්නවා. ‘සම්මාදිට්ඨී පුබ්බඞ්ගමා’ කියල ප්‍රකාශ කරනවා. හැම තැනම දිට්ඨීය ප්රමුඛ වෙනවා. පෙරටු වෙනවා. දැන් මේ පින්වතුන් උනත් පාරේ ගමන් කරන කොට ටිකක් ඈත බලන්නේ මොකද? ඈත බලල හරියට යන තැන පිළිබඳව යම්කිසි අධිෂ්ඨානයක්, සනිටුහනක්, ඇති කර ගන්නවා. ඒවගේ, සම්මා දිට්ඨියෙන් වතුරාය සත්‍යය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම්, ‘මගේ ගමන නිවන් ගමනක්, නිවන් කරා යන ගමනක්’ කියල නිවන් ඉලක්කය ඇතිකරගන්නවා. ‘බුද්ධාශාසනය’ කියන්නේ නිවන ඉලක්කය කරගත්තු ජීවන ක්‍රමයක්. ගොඩනැඟිලි නොවෙයි. එතකොට. අන්න ඒ විදියට සම්මාදිට්ඨියක්-හරි දැක්මක්-ඇති උනා නම්, ඊළඟට තියෙන්නෙ, හරි දැකුම අනුව යන හරි සිතුම් පැතුම්. ඒ ජීවනදර්ශනය අනුව හොඳ සිතුම් සංකල්පනා-හොඳ සිතිවිලි-ඇතිකරගන්නට ඕන. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී සිතුවිලි, හිංසාවට ප්‍රතිවිරුද්ධ අවිහිංසා සිතුවිලි-ඔය සිතිවිලි නිතර වඩාගන්නට ඕන. ඒ විදියට හරි සිතුම් පැතුම් ඇති උනා නම් ඒ තැනැත්තාගෙන් පිටවන වචනත් නිවැරදි වචන, සත්‍ය වචන, අනුන් හේද නොකරවන වචන, පරුෂ වචන නොවන මුදු මොළොක් වචන, ධර්මානුකුල වචන. ඒ විදියට හොඳ වචන පාවිච්චි කරනවා. ඊළඟට ක්‍රියාමාර්ග තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය කියන කයින් කෙරෙන වැරදිවලින් වෙන්වීම. ඊළඟට හොඳ දිවි පැවතුම තමයි අපි අර මේ අවස්ථාවේ සමාදන්වුන ආජීව අට්ඨමක ශීලයේ සඳහන්වන කාරණ. මිථ්‍යා ආජීවය කියන දෙයින් වෙන්වීමක් ගැන ප්‍රකාශ කළා. මේ කාලේ බොහෝවිට ආර්ථිකය නඟාසිටුවීම සඳහා දරණ ප්රයත්නයට වහල්වෙලා වැරදි ජීවිකාවලට බොහෝදෙනා යොමුවෙනවා. දුගී බව නිසා හෝ වෙන හේතු නිසා හෝ ඒවා කළා වේවා, මේ සංසාරයේ කියන නිරයාදී භයානක තැන්වලට යාමට ඒවා උපකාර වෙන නිසයි බුදුපියාණන් වහන්සේ ඒවා තහනම් කොට වදාළේ. මොනවාද ඒවා? අවි ආයුධ වෙළදාම, සතුන් මසට ඇතිකිරීම, විෂද්‍රව්‍ය වෙළදාම, මාංශ වෙළදාම. මත්පැන් වෙළදාම. මෙන්න මේවායින් ජීවිකාව ගෙනයාම තමන්ගේ පරිහානියට හේතුවන බව බුදු පියාණන් වහන්සේ වදාළා. සමහරවිට ඒවායින් ඉක්මණින් පොහොසත් වෙන්න පුළුවන්. නමුත් එහෙම පොහොසත් උනාට මොකද, ඒවායේ භයානක විපාක විඳින්නට සිදුවෙන නිසයි බුදුපියාණන් වහන්සේ ඒවා තහනම්කොට වදාළේ. අන්න ඒක නිසා මිථ්‍යා ආජීවයෙන් වෙන්වෙලා හොඳ දිවි පැවතුම් ඇති කර ගැනීම කෙනෙකුට ලොකු සහනදායී දෙයක්. පසුතැවිල්ලක් නෑ එබඳු පුද්ගලයෙකුට. ඒ සිත නිතරම පිරිසුදුයි. අන්න ඒ පිරිසුදු බව මහා ධනස්කන්ධයක් ඇති තැනැත්තෙකුටවත් නෑ. එහෙම නැත්නම් ලොකු වැටුප් ඇති කෙනෙකුටවත් ඒ සතුට නෑ. තමන්ගේ නිදොස්බව. ඒකට කියනවා අනවජ්ජසුබය කියල. නිවැරදි බව පිළිබඳ සැපය. පසුතැවිල්ලක් නැති බව ලොකු සැනසිල්ලක්. මහා ධනස්කන්ධයක් ලබාගන්න කෙනෙකුට සමහරවිට නින්ද යන්නේ නෑ. තමන්ට මතක් වෙනවා තමන් ඒ ධනස්කන්ධය ලබාගත්තෙ අයථා මාර්ගවලින් බව. ඒ නිසා අවසාන සැනසිල්ල බලාපොරොත්තුවන කෙනෙකු විසින් අවශ්‍යයෙන්ම තමන්ගේ දිවිපැවැත්ම ගැන සලකල බලන්ට ඕන. සමහරවිට පරම්පරාගත වැරදි ජීවිකාවලට සමහර අය ඇබ්බැහිවෙලා සිටිනවා. ‘මවුපියන්ගෙන් පැමිණි’ ඒ රැකිරාක්ෂාවල් අතහරින්න බෑ. ඒවා තමයි අපට පුරුදු හැටියට උරුමවෙලා තියෙන්නෙ. ඒවා අපට පුරුදු දේවල් කියල. නමුත් බුද්ධවචනය යම් කෙනෙක් හරියට තේරුම්ගත්ත නම් ඒවායින් තමන්ට වන ලාභය ගැන නොතකා ධර්මානුකුලව තමන්ගේ ජීවිකාව සකස් කරගන්නවා. සමහරවිට සුළු වැටුපක් ලබන, අඩු ආදායමක් ලැබෙන ධාර්මික රැකියාවකට යොමුවෙනවා. ඒකයි හරි දිවි පැවතුම කියන්නේ. ‘සම්මා ආජීවය’ සකස්කරගැනීම සඳහා යොදන උත්සාහය තුළින් ඒ තැනැත්තාට ‘සම්මා වායාම’ කියන ‘හරි වෙරදැරුම්’ ඇතිවෙනවා, නියම ව්‍යායාම තමයි තමාගේ සිත තුළට ගලාගෙන එන අකුසල් සිතිවිලි වැළැක්වීමත්, සිත තුළ තිබෙන අකුසල් සිතිවිලි ඉවත් කර ගැනීමත්, තමා තුළ නැති කුසල් සිතිවිලි ඇතිකර ගැනීමත්, තමා තුළ තිබෙන කුසල් සිතිවිලි තහවුරු කරගැනීමත් දරණ වීර්යය. ඒ සතරාකාර වීර්යයටයි ‘සම්මා වායාම’ කියල කියන්නේ. ඒ විදියට වීර්යය යොදන තැනැත්තා ඒ වෙනුවෙන් යොදන සතිය-සිහිය-නිසා ‘සම්මා සති’ කියන හොඳ සිහිය ඇතිව ජීවත් වෙනවා. හොඳ මුරකරුවෙක් වගේ. සිහිය හොඳට පාවිච්චි කරනවා නම් හොඳට වැටහෙනවා අර සතර සතිපට්ඨානය. තමන්ගේ කය පිළිබඳවත්, වේදනා පිළිබඳවත්, සිත පිළිබඳවත්, සිතට එන හිතිවිලි පිළිබඳවත් හොඳට වැටහෙනවා. ඒ සතර සතිපට්ඨානය ක්‍රමානුකූලව වැඩීමෙන් තමයි සම්මා සමාධි කියන උතුම් ධ්‍යාන තත්ත්ව පවා කෙනෙකුට ලබාගන්න පුළුවන් වෙන්නේ. ඒ විදියට ආර්ය අෂ්ටාංශික මාර්ගය යම් කෙනෙකු තුළ සම්පූර්ණ උනා නම් අන්න එතනමයි නිවන. ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ වීම හා සමගම සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගඵල අවබෝධය කෙනෙකුට ලබාගන්න පුළුවන්.
අන්න එතකොට මේ පින්වතුන් කල්පනා කරන්න ඕන අද වැනි දවසක අපි බුද්ධ ශාසනයක් ගැන කථාකරනවා නම්, බුද්ධ ශාසනය කියල කියන්නේ ඔන්න ඕකයි-ආර්ය අෂ්ටාංශික මාර්ගයයි, චතුරාර්ය සත්‍යයයි, එහෙම නැත්නම් ශීල, සමාධි, ප්‍රඥා වැඩීමයි. ඔය විදියේ වචනවලින් හඳුන්වනවා මිසක් බුද්ධ ශාසනය වෙන ගොඩනැඟිලි ආශ්රයෙන්, සංකේත ආශ්රයෙන් හඳුන්වන්න බෑ. ඒක නිසා ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීම බෞද්ධ වූ අපේ යුතුකමක් නම් ඒ අනුව ජීවිත රටාව, ජීවිත දෘෂ්ටිය, සකස් කර ගැනීමටත් උනන්දු විය යුතුව තිබෙනවා. මේ ධර්ම දේශනාවේදී ඉදිරිපත් කළ කථාව සාමාන්‍ය සරල කථාන්තරයක්. මේවා පැරණි පොත්වල තියෙන දේවල් කියල අහක දාන්ට නරකයි. මේ කාලේ තිබෙන ඔය නවකථා, කෙටි කථා වගේ නොවෙයි, මේවා කෙළින්ම අපේ මේ ජීවිත සරසවියේ අත්දැකීම්වලට අදාළ දේවල්. අන්න ඒක නිසා ඒ අත්දැකීම් තුළින්ම නිවන ප්රත්යක්ෂ කරගන්න මේ පින්වතුන් උත්සාහ වෙන්න ඕන. විශේෂයෙන්ම, ධර්මශ්රවණය කරන අවස්ථාව-බුදුපියාණන්වහන්සේ වදාළ-විමුක්ති ආයතනයක් හැටියට විමුක්තිය ලබාගන්න තැනක්. නොයෙකුත් විදියේ විමුක්ති තියෙනවා. නමුත් සංසාර විමුක්තිය ලබාගන්න තැන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව එබඳු අවස්ථාවක්. ධර්ම දේශනා අවස්ථාවත් එබඳු අවස්ථාවක්. එතකොට මේ පින්වතුන් හොඳට ධර්මශ්රවණය කළා නම්, ඒ විමුක්තියට උපකාරවන-ජීවිතයට උපකාරවන-කුසල් සිතිවිලි රාශියක් මේ අවස්ථාවේ විත්ත සන්තානයේ ඇතිවෙන්න ඇකි. ඒ කුසල් වේදනා රාශිය උපනිශ්‍රය කරගෙන මේ පින්වතුන්ට මේ අතිභයානක ගෝරතර සංසාරයෙන් අත්මිදිල ජාති ජරා ව්‍යාධි මරණාදී සියලු සංසාර දුකින් නිදහස් අප්‍රමාණ සංඛ්‍යාත උතුම් අමාමහ නිවන් සුව ප්රත්යක්ෂ කරගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ වගේම ශාසනාරක්ෂක දිව්‍යබ්‍රහ්ම මණ්ඩලයත්, මේ ස්ථානයට අධිගෘහිත දේවිදේවතාදී යම් පිරිසක් ඇත්නම් ඒ හැමදෙනාත්, නිවන් කැමති, පින් කැමති සියලු දෙනාත් මේ ධර්ම දේශනාමය, ධර්මශ්රවණමය කුසලය අනුමෝදන් වෙත්වා! කියා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ වගේම තම තමන්ගේ ඥාතිමිත්‍රාදීන් ඇතුළු, අවිචියේ පටන් අකනිටා බඹලොව දක්වා යම්තාක් පින් කැමති, නිවන් කැමති, සත්ත්වයෝ වෙත් නම්, ඒ හැම දෙනෙක්මත් මේ ධම්දේශනාමය, ධර්මශ්රවණමය කුසලය අනුමෝදන් වී සියලු සංසාර දුකින් අත්මිදී අමාමහ නිවන් සුවයෙන් සැනසෙත්වා! කියන ප්‍රාර්ථනාව ඇතිකරගෙන දැන් මේ විදියට ගාථා කියල පින් පමුණුවන්න.
කුම්භූපමං කායමිමං විදිත්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යොධෙථ මාරං
පඤ්ඤායුධෙන
ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා
ශ්රද්ධාවන්ත පින්වතුනි!
මේ අතිභයානක සංසාර දුක්ඛයෙන් මිදීමේ යෝග ප්රයත්නය මාර සංග්‍රාමයක්, මාර සටනක් හැටියට බුදුපියාණන් වහන්සේ බොහොම අවස්ථාවල දක්වල තිබෙනවා. එහෙම ඒ මාර සංකල්පය ඉදිරිපත් කරල තිබෙන්නෙ, සටන් සංකල්පයක් බුදුපියාණන්වහන්සේ අපේ සිත් කුළට දාන්නේ, මොකද කියල අපි ටිකක් හිතල බලන්ට ඕන. සාමාන්‍යයෙන් මේ සංසාර දුක්ඛයෙන් මිදීම සඳහා භාවනාව ආරම්භකරන යෝගාවචර පින්වතුන්ට පිටතිනුත් ඇතුළතිනුත් බාධක රාශියක් ඉදිරිපත් වෙනවා. ඒ බාධක හමුවේ බොහෝවිට භාවනා යෝගීයා හිත දුර්වල කරගන්නවා, අධෛර්ය වෙනවා, පසුබට වෙනවා. අන්න ඒ පසුබට වෙන ගතිය ඉවත් කරල ධෛර්ය සම්පන්න කිරීමටයි බුදුපියාණන් වහන්සේ මේ කෙලෙස් සටන මාර සංග්‍රාමයක් හැටියට දැක්වූයේ. මොකද ඒකට හේතුව, මිනිස් සිත තුළ ගැබ්වෙලා තිබෙන මේ සටන්කාමී බව මතුකර දීම එබඳු ඒ සිත අධෛර්යවෙන-පසුබට වෙන අවස්ථාවල්වල සිත ශක්තිමත් කරගැනීමට උපකාර වෙනවා. අන්න ඒක නිසා බුද්ධ දේශනාවේ ඒ ඒ තැන්වල මහ පුදුම විදියේ සටන් පාඨ, මාර සංග්‍රාමය පිළිබඳ සටන්පාඨ, සඳහන් වෙනවා. ඒ වගේ, ඒ සටන් පාඨයක් වගේ, ගාථා ධර්මයක් තමයි අපි මේ මාතෘකා වශයෙන් තෝරාගත්තෙත් මේ අවස්ථාවේ.
මේ ගාථාව බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාරන්ට හේතුවුන අවස්ථාව පොත-පතේ සඳහන්වන්නේ මෙහෙමයි. බුදුපියාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලයේ විදර්ශනා භාවනා වඩන පන්සියයක් භික්ෂූන්වහන්සේලා බුදුපියාණන් වහන්සේගෙන් භාවනා කර්මස්ථාන ලබාගෙන ඈත ගමකට, හොඳ පහසු ස්ථානයක විදර්ශනා වැඩීමේ අදහසින් පිටත්ව වැඩම කළා. ඒ විදියට ඒ යෝගාවචරයන් ගිහිල්ල එක්තරා ස්ථානයකට වැඩම කරල-එක්තරා ගමකට-ඒ ගමේ පින්වතුන් එහෙම වඩින අතරේ ඒ ශ්රද්ධාවන්ත මනුෂ්‍යයින් සංසයාවහන්සේලාගේ අදහස් විමසල, මෙහෙම භාවනාවට සුදුසු තැනක් සොයන බව තේරුම්ගත්තට පස්සේ, ආරාධනාකරල ‘මේ කිට්ටුව හොඳ විවේක වන ලැහැබක් එහෙම තිබෙනවා. මේක ආශ්‍රිතව ස්වාමීන්වහන්සේලා මේ තුන් මාසය වැඩ වාසය කරන්න. අපටත් සිල් රකින්න, තුණුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව ඇතිකර ගන්න, හොඳ අවස්ථාවක් වෙනවා’ කියල එහෙම ආරාධනා කළා. මේ සංසයාවහන්සේලාත් ඒ ආරාධනාව අනුව අර කියාපු අර විවේක වන ලැහැබට ඇතුළු උනා. ඒ වන ලැහැබේ ගස්වලට අධිගෘහිත, අරක්ගත්තු, වෘක්ෂදේවතා පිරිස මේ ස්වාමීන්වහන්සේලා ශීලවන්ත නිසා ඒ ශීල තේජස ගැන කල්පනාකරල හිතුවා මේ ස්වාමීන්වහන්සේලා බිම ඉඳිද්දී අපි ඉහළ ඉන්න එක සුදුසු නෑ කියල, ගස්වලින් බැස්සා. කල්පනාකරල මේ ස්වාමීන්වහන්සේලා අද රෑ විතරයි මෙතන වාසය කරන්නේ කියල. නමුත් මේ ස්වාමීන්වහන්සේලා ගමට පිණ්ඩපාතේ වැඩිලා නැවත ඊළඟ දවසෙත් ඒ ස්ථානයට පැමිණිය. අන්න ඊළහට මේ දේවතාවුන්ට දිගටම ඒ විදියට බිම ඉන්න සිද්ධ වෙනවා කියන හැඟීම ඇතිවුනා. දවස් ගණනක්ම ඒ විදියට සංසයාවහන්සේලා නැවතෙනකොට ඊළහට මේ දේවතාවුන් තේරුම්ගත්තා මේ ස්වාමීන් වහන්සේලා මාස ගණනක්ම මෙතන ඉන්නවා වෙන්න ඇතෙයි කියල. ඊළහට කල්පනා කළා ‘අපි කොයි ආකාරයකින් නමුත් මේ ස්වාමීන් වහන්සේලා පන්නා ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ ගස්වලට ආයිත් නැගින්න බැරිවෙනවා. ගස්වල වාසය කරන්න බැරි වෙනවා’ කියල හිතාගෙන මොකද කළේ මේ ස්වාමීන්වහන්සේලා භාවනාකරන ස්ථානවල නොයෙකුත් විදියේ රූප දක්වන්න පටන් ගත්තා. හිස්සුන් මළකඳන් ආදී බියජනක රූප ඒ වගේම අමනුෂ්‍ය ශබ්ද, සක්මන් කරන තැන්වල එහෙම-ඒ විදියට මේ ස්වාමීන්වහන්සේලා බය කරන විදියේ දේවල් පෙන්නුම් කළා. මේ ස්වාමීන්වහන්සේලාත් හිසේ ඇතිවුන බය නිසා හරියට නිදි එහෙම ලබන්නේ නැතිව රෝගී උනා. එක එක ස්වාමීන්වහන්සේලාට එක එක රෝග. ඉතින් උන්වහන්සේලා මුවුනොවුන් අතරේ සාකච්ඡා කරන අතර මෙන්න මේ විදියේ දර්ශනයක් දැක්කා කියල ප්‍රකාශ උනාට පස්සේ ඊළහට කල්පනා කළා අපිට මේක සප්පාය තැනක් නොවෙයි. මේ විදියේ අමනුෂ්‍ය උපද්‍රව තියෙන තැනක්. අපි යන්න ඕන වෙන තැනක් හොයා ගන්න. පළමුවෙන්ම බුදුපියාණන් වහන්සේට මේ කාරණය දන්වන්න ඕන කියල නැවතත් බුදුපියාණන් වහන්සේ සොයා ගෙන වැඩම කළා.
බුදු පියාණන් වහන්සේ ඇසුවා “මොකද මහණෙනි, මේ නැවත ආවේ” කියල. එතකොට ‘මෙන්න මේ විදියේ උපද්‍රව කරදර අපට තිබෙනවා’ කියල ප්‍රකාශ කළා. නමුත් බුදුපියාණන් වහන්සේ වදාළා “මහණෙනි ඒ උනාට එතනටම යන්ට ඕන. එතන තමයි ඔය නමලට හොඳ තැන” කියල ඔහොම ප්‍රකාශ කළා. මේ ස්වාමීන්වහන්සේලා නැවතත් බැගෑපත්ව කියා හිටියා “අනේ අපට නම් එතෙන්ට තවත් යන්න බෑ” කියල. එතකොට බුදුපියාණන් වහන්සේ වදාළා “මහණෙනි, නුඹලා ඒ ගිය ආයුධයක් නැතිවයි. හරියට ආයුධයක් අරගෙනම මේ සැරේ පිටත්වෙන්න” කියලා.
එතකොට ඒ සංසයා වහන්සේලා ඇසුවා “මොකක්ද භාග්‍යවතුන් වහන්ස! ඒ ආයුධය” කියල. ඒ ආයුධය තමයි ඊළහට ඊළඟට බුදුපියාණන් වහන්සේ මෙත්ත සුත්‍රය හැටියට ඉදිරිපත් කළේ. පළමුවෙනි වරට ඒ සංසයාවහන්සේලා වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයාට උපකාර වන මේ මෙත්ත සූත්‍රය වදාළා. “මේ මෙත්ත සුත්‍රය පාඩම් කරගෙන ඒ වන ලැහැබට ඇතුල්වන අවස්ථාවේ ඈත ඉදලම සජ්ඣායනා කරමින් ඇතුල් වෙන්න. ඒක නිතර පරිහරණය කරන්න” කියල බුදු පියාණන් වහන්සේ අර සංසයාවහන්සේලාට අවවාද දුන්නා. ඒ සංසයාවහන්සේලාත් ඒ ආකාරයෙන්ම ඒ වන ලැහැබට පිවිසෙන අවස්ථාවේ ඉදලම සජ්ඣායනා කරමින් ඇතුල් වුනා. ඒ කරණීය සුත්‍රය ආශ්‍රය කරගෙන මෛත්‍රී සිත ඇතිකර ගත්තා. ඒ මෛත්‍රී බලය නිසාම අර කලින් කරදර කළ දෙවි දේවතාවුන්ගේ සිත මෘදු මොළොක් වෙලා-එතන සඳහන් වෙනවා-වෙන එකක් තබා පෙර ගමන් කරලා නොයෙකුත් ආකාරයෙන් ඒ සංසයාවහන්සේලාට වත් පිළිවෙත් කිරීමට පවා ඉදිරිපත් වුනයි, ඒ වගේම ආරක්ෂා සංවිධාන පවා යෙදුවයි කියල. අර අමනුෂ්‍ය ශබ්ද, නොයෙකුත් රූප පෙනීම් ආදිය එහෙම පිටින්ම නැති වුනා. සංසයාවහන්සේලාට හොඳට භාවනා කරගන්න, සිත සැනසුම් කරගන්න පුළුවන් විදියේ පරිසරයක් ඇතිවුනා. ස්වාමීන් වහන්සේලාගේ සිත එකඟවුනා, මෛත්‍රී සමාධිය එහෙම උපකාරී කරගෙන. එහෙම එකඟවුනාට පස්සේ අන්න අර ස්වාමීන්වහන්සේලා සිත ඊළඟට විදර්ශනාවට නැඹුරු කර ගත්තා. තමන්ගේ මේ ශරීර කුඩුව ගැන හිතලා මේ ශරීර කුඩුව හරියට බිඳෙන සුළු කළයක් වගේයි කියල මේකේ අස්ථීර ස්වභාවය, අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන හිතමින් මේ පන්සිය නමම විදර්ශනාව වඩන්ට පටන් ගත්තා. මේ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ අර යොදුන් ගණන් ඈත ජේතවනාරාමයෙහි වැඩ වාසය කරමින් ඉන්න අවස්ථාවේ මේ සංසයාවහන්සේලා පිළිබඳව නිරීක්ෂණය කළා-බුදුපියාණන් වහන්සේගේ විශේෂ දෙයක් තමයි ඒ තමන් කමටහන් දීල පිටත්කළ සංසයාවහන්සේලා කොයි තැනක, කොයි තරම් දුරක සිටියත්, ඒ බුද්ධඥානයට-ඒ බුද්ධඥානදැලට-ඇතුළත් කරගෙන-දැන් මේ කාලේ කිසිම යන්ත්‍රයකින් පෙන්නුම්කරන්නට බැරි තරම් මහා පුදුම විදියේ බුද්ධ ඥානයක් තිබෙන නිසා බුදුපියාණන් වහන්සේ ඒ තමන් කමටහන් දුන්නු ශිෂ්‍යයින්ගේ සිත ක්‍රියාකරන ආකාරය ගැන නිතර සෙවිල්ලෙන් සිටිනවා. ඒක නිසා දුටුවා මේ පන්සිය නමම දැන් විදර්ශනා මාර්ගයට බැහැලයි සිටින්නේ, ඒ පැත්තෙයි සිතිවිලි යන්නේ කියල උන්වහන්සේල ආරම්භ කළ, ඒ කළය පිළිබඳ කර්මස්ථානය හැටියට හිතට ගත්තු අදහස මුල් කරගෙනම බුදු පියාණන් වහන්සේ ඊළහට අපි අර මුලින් සඳහන් කළ ගාථා ධර්මය ප්‍රකාශ කොට වදාළා. ඒ ගාථා ධර්මය කොයිතරම් අර්ථවත්ද කියතොත්, කොයි තරම් භාවනාවෙහි ගැඹුරු අංශ ඒක තුළ ගැබ්වෙනවද කියතොත්, ඒ ගාථා ධර්මය අහල අර සංසයාවහන්සේලා සිව්පිළිසිඹියාපත් මහ රහතන්වහන්සේලා බවට පත්වුනා කියල සඳහන් වෙනවා. එතකොට ඒ ගාථා ධර්මය අපි නැවතත් මතක් කර ගනිමු.
‘කුම්භූපමං කායමිමං විදිත්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යොධෙථ මාරං
පඤ්ඤායුධෙන
ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා.’
“කුම්භූපමං කායමිමං විදිත්වා”-මේ කය, මේ ශරීරය, කළයකට උපමාකළ හැකි බව දැනගෙන, තේරුම් අරගෙන,
“නගරූපමං චිත්තමිදං ඨපෙත්වා”-මේ අපේ සිත නගරයකට උපමා කළ හැකි තරම් ඒ තත්ත්වයේ තබාගෙන, ආරක්ෂා කළ යුතු නගරයක් හැටියට සිතාගෙන,
“යොධෙථ මාරං පඤ්ඤායුධෙන”-ප්‍රඥාව නමැති ආයුධයෙන් මාරයා සමඟ යුද කරන්න, යුද කරව.
“ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා”-එහෙම යුද කරල ජයක් දිනාගත්තා නම් ඒක ආරක්ෂා කරගන්න. හැබැයි “අනිවෙසනො සියා” ඒ දිනාගත්තු දෙයෙහි ඇලී ගැලී පැලපදියම් වී සිටින්නට එපා. එතනම නැවතිල ඉන්න එපා” කියන ඒ විශේෂ අවවාදයකුත් ඒ ගාථාවේ සඳහන් වෙනවා.
එතකොට මේක ඉතාමත්ම ගැඹුරු ගාථාවක්. විශේෂයෙන්ම භාවනාවට යොමුවන අයට මේ ගාථාවෙන්, අර ධර්ම කථාවෙන්-අර නිදාන කථාවෙන්-ගත යුතු විශාල උපදේශ රාශියක්, ඉතාමත්ම වැදගත් උපදේශ රාශියක් අපට හෙළිදරව් කරන්නට පුළුවනි.
දැන් ඒ නිදාන කථාව ගැන අපි මොහොතකට හිතල බැලුවොත් එතනින් පෙන්නුම් කරන්නේ දැන් අර ස්වාමීන් වහන්සේලා විදර්ශනාව වඩල නිවන දකින්න හිතා ගෙනයි වැඩම කළේ. ඒ නමුත් ස්වාමීන්වහන්සේලා ශීලයෙන් සම්පූර්ණ නමුත් සමාධිය පැත්තෙන් යම්කිසි අඩුපාඩුවක් කිබුනා-සමථය කියල කියන සමථ පැත්තෙන්. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව හරියට පුරුදු කරල නෑ. මෛත්‍රී පැත්තෙන් අඩු නිසා වෙන්ට ඕන අර තරම් උපද්‍රව වලට මුහුණපාන්න සිද්ධ උනේ. ඊළහට බුදුපියාණන් වහන්සේ අර කරණීය සුත්‍රයෙන් දක්වා වදාළ උපදෙස්වල ආනිසංස වශයෙන් තමයි උන්වහන්සේලාට හිත සමාධිමත් කරගන්න පුළුවන් වුනේ. එතැනදී අපි කල්පනා කළයුතුව තිබෙනවා බුදු පියාණන් වහන්සේ මේ මෛත්‍රී භාවනාවේ ආනිශංස වශයෙන් ආනිශංස එකොළහක් දක්වල තිබෙනවා. ඒ ආනිශංස එකොළහෙන්, රාශියක්ම මේ ස්වාමීන්වහන්සේලා අත්දකින්ට ඇති. ඒ කියන්නේ.
කියල ඒ විදියට එකොළොස් ආනිශංසයක් බුදු පියාණන් වහන්සේ දක්වල තිබෙනවා. අන්න ඒ ආනිශංස අනුව තමයි අර සංසයාවහන්සේලාට කලින් දැක්ක බියකරු දර්ශන ආදිය නිසා යම් යම් පීඩාවල් ඇති උනාට ඒවා සංසිඳිලා හිත තෘප්ත කරගන්නට පුළුවන් වුනේ. එතකොට එයින් අපට සමථයේ අගය මේ කථාන්තරයේ මූල කොටසින් පෙනෙනවා. ඊළහට එහෙම තෘප්ත වුන සිතට මේ විදර්ශනාවෙහි අගය වැටහුනා. තවත් පැත්තකින් කියනවා නම් දැන් ඒ සමථයෙන් විතරක් සෑහීමකට පත්විය යුතු නෑ. ඒක නිසා සමථය වඩපු කෙනා ඊළහට විදර්ශනාවට නැඹුරු වුනා. මොකද, බුද්ධෝත්පාද කාලයකින් ගතහැකි උපරිම ප්‍රතිඵලය තමයි මාර්ගඵල අවබෝධය. නිවන දැකීම. ඒක නිසා ඒ විදියට සමථයෙන් විදර්ශනාවට නැඹුරු උනා. එබඳු අවස්ථාවේදී තමන්ගේ ශරීරය ගැන කල්පනා කරල ඒක කළයකට උපමා කළා. ඇත්ත වශයෙන්ම මේ සංස්කාර කියන්නේ, මේ අපේ සිත්වලින් කෙරෙන සකස් කිරීම්, කර්ම ආදිය රැස්කිරීම. මහා ගැඹුරු අර්ථයක් තියෙනවා සංස්කාර කියන වචනය තුළ. එබඳු ඒ සිතේම ක්‍රියාත්මක වන ශක්තීන් තුළින් තමයි මේ අපේ ශරීර කුඩු පවා මැවෙන්නේ. ඊළහට විශේෂයෙන්ම මෙතන මේ ප්‍රකාශ කරන්නේ සංස්කාරවල බිඳියන ස්වභාවය. මොහොතක් මොහොතක් පාසා බිඳීයනව. මේ අපි ඝන දෙයක්, ඇත්ත දෙයක් හැටියට සලකන. ලොකු දෙයක් හැටියට සලකන, ශරීර කුඩුවත්, ඉතාමත්ම ඉක්මණින් අපට නොපෙනෙන තරම් වේගයකින් ඇතුළතින් දිරාපත් වෙනවා. මොහොතක් මොහොතක් පාසා. ඒක සාමාන්‍ය ලෝකයාට රූපයට තියෙන ඇල්ම නිසා වැටහෙන්නේ නෑ. එතකොට යෝගියාට සියුම්ව සිත තැන්පත් වෙන්ට තැන්පත් වෙන්ට ශරීරයේ ඒ මොහොතක් මොහොතක් පාසා වන වෙනස්කම් අනුව මේක බිඳියන ආකාරය වැටහෙනවා. ඇතිවීම් නැතිවීම් රාශියක් මේ ශරීර යන්ත්‍රය තුළ ක්‍රියාත්මක වන බව, ඒ වගේම, ඒක නිසාම, මේක හරියට අර කුඹලා මැටි භාජනයක් හදන්නා වගේ සංස්කාරවලින් මේ ශරීර කුඩුවක් මේ අනිකුත් දේවලුත් හැදෙනවා කියන හැඟීම, අවබෝධය, එනවා. ඉතින් මෙතන විශේෂයෙන්ම මේ කායගතාසතියට අනුව කයේ බිඳී යන ස්වභාවය වැටහෙනවා. සාමාන්‍යයෙන් නිත්‍ය සංඥාවයි ලෝකයා තුළ තිබෙන්නෙ මේ ශරීර කුඩුව පිළිබඳව. ඇළුම් බැඳුම් හැම එකටම මුල වෙන්නේ මේ ශරීර කූඩුවයි. අන්න එබඳු ඒ ශරීරය බිඳෙන මැටි වළඳකට එහෙම නැත්නම් කළයකට උපමා කළහැකි බව සංසයාවහන්සේලාට තේරුන අවස්ථාවයි. ඒ අවස්ථාවෙම තමයි බුදු පියාණන් වහන්සේ අර විදියට අර ගාථා ධර්මය දේශනා කළේ. දැන් අපි බලමු මේ ගාථාවේ අඩංගුවෙන ගැඹුරු අදහස් එකින් එක.
මේ කය අර විදියේ කළයක් බව තේරුම් අරගෙන-දැන් බොහෝ විට ලෝකයා, සාමාන්‍ය ලෝකයා, මේ කය වෙනුවෙනුයි නොයෙකුත් පව්කම් කරන්නේ. මේ කය බිඳියන එකක් බව, මොහොතක් පාසා දිරායන එකක් බව, කොයිතරම් උත්සාහ කළත්, කොයිතරම් සැපසාන්තු කළත් අවුරුදු සියයකට මැදින් එහෙම නැත්නම් ටිකක් ඊට එහායින් මේ ශරීරය අතහැරල යන බව, ඒ සියල්ල අමතක කරගෙන මේ කය වෙනුවෙනුයි බොහෝ දෙනා පවිකම් කරන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් දැන් අර සංසයාවහන්සේලා පවා කයට පමණට වැඩිය තැන දුන්න නිසා වෙන්න ඇති බයවෙලා වගේ අපට නම් තවත් එතෙන්ට යන්න බෑ කියල ප්‍රකාශ කළේ. දැන් මේ පින්වතුන් හොඳට දන්නවා යුද්දෙට යන කෙනෙක් ඒ තමන්ගේ ශරීරයට තිබෙන ඇල්ම එහෙම කියාගෙන හිටියොත් යුද්ධෙ කරන්න බෑ. ඒ වගේ තමයි මේ මාරසංග්රාම සංකල්පය බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ යෝගාවචරයට. මේ කයට සාත්තු කර කර මේක රැක ගන්ට ඕන කියන ඒ අදහස මුල්කර ගත්තොත් කවදාවත් ඒ යෝගාවචරයාට ජීවිතය සාර්ථක කරගන්ට බෑ.
අර යුද්ධයට යන කෙනා ඒ වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයක් කරනවා. මරණය හෝ තරණය කියන අධිෂ්ඨානයෙන් ගඟකට බැස්ස කෙනෙක් පිහිටනන්නේ, මරණය හෝ තරණය කියල. අන්න ඒ වගේ ජයග්‍රහණය දක්වා ජීවිත පූජාවෙන් ඒ කටයුත්තෙහි යෙදෙන්නේ. යෝගාවචරයාගේ ආකල්පය විය යුත්තේ ඒකයි. ඒක නිසා තමයි බුදුපියාණන් වහන්සේ වෙන තැනකට යවන්නේ නැතිව-‘එහෙනම් මහණෙනි මම හොඳ තැනක් සොයා දෙන්නම් මෙය විදියේ කරදර නෑ’ කියල, එහෙම කියන්නේ නැතුව, එතෙන්ටම යන්න කියල ප්‍රකාශ කළේ. ඒ වගේ හැබැයි, මෙතන වෙනසකට තියෙන්නෙ ඒ මාරයුද්ධ සඳහා ආයුධය හැටියට බුදු පියාණන්වහන්සේ දුන්නේ මොකක්ද. අන්න ඒක ගැන තමයි අපි ඇත්ත වශයෙන්ම මේ කාලේ කල්පනා කරන්නට ඕන. යුද්ධය කියල හිතන කොට අපට හිතට එන්නේ මහා ආයුධ ගොන්නක්. ලෝකයේ ඒ ඒ යුගයේ සම්මත ආයුධ ගොන්නක් හිතට එන්නේ. නමුත් බුදුපියාණන් වහන්සේ මේ සංසයාවහන්සේලා ඇහුවාම මොකක්ද ස්වාමීන්වහන්ස අපි ගෙන යන ආයුධය කියල, ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ මෛත්‍රිය. ඒ ආයුධයෙන් තමයි හිත තැන්පත් කර ගත්තේ. අන්න ඒක අපි කල්පනා කරන්න ඕන. එයින් අර සමථ පක්ෂය සම්පූර්ණ උනා සංසයාවහන්සේලාගේ. ඒ වගේම පාඩමක් ඉගෙන ගත්තා. අපි යම්කිසි පරිත්‍යාගයක් කරන්ට ඕන සසරින් මිදෙන්ට නම්. මේ ශරීරය අල්ලගෙන, මේ බිඳෙන මැටි භාජනයක් පරිස්සම් කරගන්න හිතාගෙන, මේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තොත් කවදාවත් අපට නිවන් දකින්න බෑ කියන අවබෝධය ඒ සංසයාවහන්සේලාට එන්න ඇති ඒක තුළින්ම. ඒක නිසා තමයි සමාධිමත් උන හැටියෙම ඊළහට ඒ ස්වාමීන්වහන්සේලා විදර්ශනාවට සිත යොමුකළේ. ඉතින් “කුම්භූපමං කායමිමං විදිත්වා”.එතකොට මේ සංසයාවහන්සේලාගේ අදහස අනුවම, ඒක තහවුරු කරමින්, තව දුරටත් ඒ අදහසින් ප්‍රයෝජනය ගන්න හැටියට බුදු පියාණන් වහන්සේ වදාළා. මේ කය බිඳෙනසුළු මැටි වළඳක් වගේ බව තේරුම් අරගෙන, ඊළහට “නගරූපමං චිත්තමිදං ඨපෙත්වා” ඇත්ත වශයෙන් රැකගත යුත්තේ, නගරයක් වගේ රැකගත යුත්තේ, මේ සිතයි. මේ සිත රැකගැනීමේ වටිනාකමයි ඊළහ පදයෙන් ප්‍රකාශ කරන්නේ. රැකගත යුතු නගරයක් හැටියට මේ සිත ඒ තත්ත්වයේ තබාගෙන, ඊළහට-
“යොධෙථ මාරං පඤ්ඤායුධෙන” ඉන්න ඊළහට සටන් පාඨය එනවා. මාරයා එක්ක යුද්ධ කරන්න ප්‍රඥා ආයුධයෙන්. ඉස්සෙල්ල දුන්නේ මෛත්‍රී ආයුධය, සමථය සඳහා. දැන් කියන්නේ ප්රඥාආයුධයෙන් මාරයා සමඟ සටන් කරන්න.
ඊළහට-“ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා” සටන් කරල යමක් දිනා ගත්තා නම්, ඒක ආරක්ෂා කරගන්න. හැබැයි එතන පැලපදියම් වෙලා ඉන්න එපා. ඒකම අල්ලගෙන එතන නවතින්ට එපා. එහි ඇලී සිටින්නට එපා. අන්න ඒ පද දෙකේ විශේෂයෙන්ම භාවනායෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් අවවාදයක් ගැබ් වෙනවා. එතකොට “යොධෙථ මාරං” කවුද මේ මාරයා-ප්‍රඥාව කියන ආයුධයෙන් සටන් කළ හැකි මාරයා කවුද?
මාරයා කියල කියන කොට සමහර විට ඔය තමන් දුටුව නොයෙකුත් චිත්‍ර ආදියෙන් කෙනෙකුට නොයෙකුත් විදියේ රූප සිතට එන්ට පුළුවනි. නමුත් ඇත්ත වශයෙන් ගැඹුරින් කල්පනා කළොත් යෝගාවචරයාට සිටින නියම මාරයා තමයි සිතිවිල්ල-“විතර්කය” කියල කියනවා ඒකට. විතර්ක, මේ මාරයා එක්ක පිටිපස්සෙන් මහා මාර සේනාවක් ගලාගෙන එනවා. මේ තම තමන්ගේ සිත ගැන හිතල බලනවා නම් අපේ සිත ක්‍රියා කරන ආකාරය. විශේෂයෙන්ම ක්ලේශයට වැටුනහම. කොයි තරම් ශීඝ්‍රයෙන් විතර්ක ධාරාවක් ගලාගෙන එනවද? ඒවට යටවෙලා තමයි අපේ ක්‍රියාකාරීත්වය අනුව අපි මේ මහා පාප ගොන්තක පැටලිලා නිරය තිරිසන් ලෝක ආදිය කරා යන්නේ. එතකොට මාරයා මෙන්න මේ විතර්කයයි. මාර සේනාව විතර්ක සේනාවයි. ඉතින් මේ මාරයා එක්ක සටන් කරන්න ඕන ප්‍රඥා ආයුධයෙන්. මොකක්ද මේ ප්රඥාආයුධය? ඊළහට අපි ඒක ගැනත් හිතල බලමු. ගැඹුරෙන් කල්පනා කරල බැලුවොත් ප්‍රඥා ආයුධය කියල කියන්නේ අර යෝගාවචරයාට කරන්ට සිදුවෙලා තියෙන විශේෂ කටයුත්ත. මොකක්ද? ‘මෙනෙහි කිරීම’. ‘මනසිකාර’ කියල ඒකට කියනවා. මේ අපේ සිත ක්‍රියා කරන ආකාරය-මේ හැම දෙයක්ම-මෙනෙහි කිරීම තුළින් තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. මොකද, මෙනෙහි කිරීම තුළින් අර විතර්ක වේගය කැඩෙනවා. මේක මේකයි, මේක මේකයි කියල එන එන එකක් පිළිබඳව සිහියෙන්, සිහි නුවණින්-සිහියත්, සම්පජඤ්ඤයත්, දැනුවත්කමත් අනුව-ඒවායේ යථා තත්ත්වය තේරුම් ගන්නවා. ඒ අවස්ථාව තුළ අර වේගයෙන් දුවන විතර්ක ධාරාව මැඩෙනවා. ඉතින් ඒ විදියට මාරයා සමඟ-මේ විතර්ක මාරයා සමඟ-හිතට ගලා එන විතර්ක ධාරාව-මේවා අයාලේ යන්නට නොදී මේවා පිළිබඳ යම්කිසි පාලනයක් කරගන්නට ඕන නම් මෙනෙහි කරන්ට ඕන. තරහක් ආවා-මෙන්න තරහ සිතක්. ඊළහට ඒ වගේම ඇහ, කණ, නාසය, දිව, කය, සිත කියල කියන මේ දොරවල් හයට එන අරමුණු-මේවා ඒ ඒ තැන්වලම මෙනෙහි කිරීමයි. යෝගාවචරයෙකුට කරන්ට තියෙන ඒ භාවනාවට-විදර්ශනා භාවනාවට-අදාළ ක්‍රියාව මෙනෙහි කිරීමයි. සංස්කාර මෙනෙහි කිරීමයි. මේවා සංස්කාර හැටියට හිතාගෙන-සංස්කාර කියල කියන කොටස් අර බිඳී යන බව එතනින්ම හැඟෙනවා. බිඳී යන දේ නිත්‍ය හැටියට නොගෙන ඒ ඒ තැනම ඒවා පහළ වෙන හැටි, ඇතිවන හැටි සුලු වෙලාවක් පවතින හැටි-ඉතාමත් සුලු ක්ෂණයක් තරම්-ඒ මෙනෙහි කිරීම අනුව, පෙනෙනවා. එනවා පවතිනවා. නැතිවෙල යනවා. ඔන්න ඔය ඇතිවීම් නැතිවීම් ස්වභාවය තමන්ගේ විත්ත සන්තානය තුළින් දැකීමම තමයි විදර්ශනා භාවනාවේ මූලික කටයුත්ත. එතකොට ඒක කරන ඒ මෙනෙහි කිරීමයි, මනසිකාරයයි, මෙතන ප්‍රඥාව හැටියට දක්වලා තිබෙන්නෙ. විදර්ශනා භාවනාවේ ඇත්තවශයෙන්ම කියනවා නම් පරමාර්ථය මේ නාම රූප ධර්ම තේරුම් ගැනීමයි. මේ මුළු මහත් ලෝකය පිළිබඳව අපේ අවබෝධය අපි ලබන්නේ මේ නාමරූප ධර්මයන් පිළිබඳව හරියාකාරව තේරුම් ගැනීමෙන්.
නාම ධර්ම කියල කියන ඒවා මේ කාටත් හිත දිහා බැලුවත් හඳුනාගන්න පුළුවන් දේවල්. වේදනා කියන එකට අමුතු වචනයක් ඕන නෑ. කවුරුත් දන්නවා වේදනා කියන කොට සැප වේදනා දුක් වේදනා පමණක් නොවෙයි මධ්‍යස්ථ වේදනා-හැම එකක්ම. සංඥා-හැඳිනීම. ඒකට කියන්න පුළුවන් සංඥාවල්. වේදනාව අනුව නොයෙකුත් හැඳිනීම් ගන්නවා. ඊළහට හැඳිනීම් අනුව චේතනාවල් ඇති වෙනවා. නොයෙකුත් චේතනා. චේතනා කියන එක කවුරුත් දන්නවා. ඊළහට ස්පර්ශය. මේවායේ හැපෙන තැනක් පිළිබඳව, යම්කිසි ස්පර්ශයක් පිළිබඳව, හැඟීමක් එනවා. ඊළහට තිබෙනවා මනසිකාර කියල-මෙනෙහි කිරීම. මෙන්න මේ කියාපු ධර්ම පහ බොහෝ විට නාම ධර්ම හැටියට ගන්නවා: ඊළහට රූපධම් හැටියට දක්වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියල-අපි සතර මහා භූතයන් කියල කියන අපේ මේ ශරීරත් බාහිර දේවලුත් සකස්වෙලා තිබෙන ඒ මහා භූත ධර්ම. ඒවා එකතුවෙලයි ඉතාමත්ම ආශ්චර්යජනක විදියට මේ විදියේ රූප මවල පෙන්වන්නේ. රූප මවල පෙන්නන්නේ මෙන්න මේ භූතයෝ හතරදෙනයි. මෙන්න මේ කාරණා ටික තේරුම් ගත්තොත් ඉතින් මුළු ලෝකයම තේරුම් ගත්තා වගේ තමයි.
මේ සංසාරයෙන් මිදීමට උපකාර වන්නේ නාමරූප ධර්මයන් තේරුම් ගැනීමයි. එතකොට මෙතනත්, මේ ධර්මයන් අකුරෙන්, මනසිකාර කියල කියන මෙනෙහිකිරීම-අගට එන මෙනෙහි කිරීම-ඉතාමත්ම වැදගත්. ඒ මෙනෙහිකිරීම තුළින්ම මේවා තේරුම් ගන්නේ. එතනමයි මහා ආශ්චර්යවත් දේ තියෙන්නෙ. දැන් අපි මේ කියාපු ධර්ම පහ අපිට පුළුවන් මිනුම්, උපමාවක් අවශ්‍ය නම්, මේ අපේ අතේ ඇඟිලිවලට උපමා කරන්න. දැන්, හුලැඟිල්ල වගේ තමයි වේදනාව කියන එක. ඊළහට ඔය මුදු එහෙම දාන ඊළහ ඇඟිල්ල, ඔය මුදු පලඳින ඇඟිල්ල වගේ තමයි සංඥාව කියන එක. යම් යම් හැඳිනීම්. ඊළහට අර මැදැඟිල්ල-වගේ තමයි වේදනාව කියන එක. දබරැඟිල්ල වගේ තමයි ස්පර්ශය කියන එක. අපි එහෙම ගත්තොත් ඊළහට මනසිකාර කියන්නෙ මහපැඟිල්ලයි. එතකොත් ප්‍රධානයි. මේ මහපැඟිල්ල කියන එක-දැන් තම තමන්ට ප්රත්යක්ෂ වෙනවා-මහපැඟිල්ලට පුළුවන් සුලැඟිල්ලේ තත්ත්වය දැනගන්න. ඊළහට අනිත් ඇඟිලිවලත් ඒ වගේ අවශ්‍ය අවස්ථාවල තත්ත්වය දැනගන්න පුළුවන්. මහපැඟිල්ල ළංවෙලයි සුලැඟිල්ලට ඒ දෙකේ ස්පර්ශය ඇතිවෙන්නේ. ඊළහට අනිත් ඒවත් ඒ විදියටමයි. ඉතින් මහපැඟිල්ල අර වෙන්ව හිටියට මොකද එයා තමයි නායකයා, ප්‍රධානියා. මෙන්න මේ මහපැඟිල්ල උපකාර කරගෙන තමයි නාමරූප ධර්ම පිරිසම හඳුනාගන්නේ. හරියට-සමහරවිට අර කාණ්ඩයක් එකතුවෙලා යම්කිසි අපරාධයක් කළහම සාක්ෂි දෙන්න කෙනෙක් නැත්නම් මොකද කරන්නේ සමහරවිට උසාවිවල? අර ඒ වැරැද්ද කළ අයගෙන්ම කෙනෙකුට දෙනවා සමාව. සමාව දෙන්නේ ‘ඇත්ත කියන්න ඕන. ඇත්ත කිව්වොත් පමණක් සමාව දෙනවා’ කියල එතකොට ඒ තැනැත්තා ඉදිරිපත් වෙලා ඇත්ත කියන කොට තමනුත් අහුවෙනවා. නමුත් අර නඩුව ඔප්පු වෙනවා. අන්න ඒ වගේ මෙතන මේ නාම ධර්මයන් පහෙන්ම එකක් අපි උපකාර කරගන්නවා මේ නාමරූප ධර්මයන් තේරුම් ගැනීමට. මේ මෙනෙහි කිරීම කියන එකම උපකාර කරගන්නවා. හැබැයි ‘අයෝනිසෝ මනසිකාර’ කියල කියන වැරදි මෙනෙහි කිරීම නොවෙයි. හරි ආකාර මෙනෙහි කිරීමයි. ඒ කියන්නේ අර හොර මුලේ මුලදී හොරෙක් තමයි. නමුත් සාක්ෂිදෙන්න පටන් ගත්තට පස්සේ එයා සාක්ෂිකරුවෙක් හැටියට වගෙයි සාක්ෂි දෙන්නේ. අන්න ඒවගේ ‘අයෝනිසෝ මනසිකාර’ කියල කියන වැරදි මෙනෙහි කිරීම වලක්වලා නුවණින් මෙනෙහි කිරීමට යොමු කරනවා. එතකොට ඒ විදියට යෝනිසෝ මනසිකාරය යෙදීම තමයි මේ ප්‍රඥාව, මනසිකාරය, මෙනෙහි කිරීම, තුළින් මේවායේ යථා තත්ත්වය තේරුම් ගන්නවා. ඒ වගේම ඒ මෙනෙහිකිරීම තුළින්ම අර ධාතුන්-අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඒ ධාතුන්-හඳුනාගන්න අවස්ථාව ලැබෙනවා. අර තද බව මොලොක් බව ආදී වශයෙන් ඒවත් ස්පර්ශය ආශ්රයෙන් තේරුම් ගන්නවා. ඔන්න ඔය තමයි විදර්ශනා භාවනාවේ මූලික කටයුත්ත. එතකොට ඒක තමයි මේ මාර සේනා ජය ගැනීමට උපකාරවෙන ආයුධය. මනසිකාරය-මෙනෙහිකිරීම-නුවණින් මෙනෙහිකිරීම. ඒ වගේම දැන් ආයුධයක් නම්-දැන් කඩුහරබයක නම්, සතුරාගේ කඩුපහර වළක්වාගැනීමට ඉතාම ශීඝ්‍රයෙන් තමාගේ කඩුව මෙහෙයවන්න ඕන. ඒ වගේම මනසිකාරයෙදිත් මෙනෙහිකිරීම හැකිතාක් ඉක්මන් කරන්ට ඕන, ශීඝ්‍ර කරන්ට ඕන-මේ මාර සංග්රාමයෙන් දිනන්නනම්. ඉතින් ඒ ශීඝ්රකරන මාර්ගය තමයි කර්මස්ථානාචාර්යවරු අවස්ථානුකූලව දක්වන්නේ-ආරම්භයේදී මේවා මෙනෙහි කරන්නේ රූපයක් රූපයක්, ශබ්දයක් ශබ්දයක්, ගඳක් ගඳක්-යම්කිසි ගඳ සුවඳ ආදියත් ඒ විදියටමයි. රසක් රසක් ආදී වශයෙන් ඒවා මෙනෙහි කරනවා. සිතක් පවා. සිතක් ඇතිවුනාම මේක සිතක් කියල-යම්කිසි ක්‍රෝධ සිතක් එනවා නම් ඒක සිතක් කියල තේරුම් ගත්තහම ඒ අවබෝධය තුළින් අර විතර්ක ධාරාව කැඩෙනවා. අන්න ඒ වගේ ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම තුළින් තමයි මේ විතර්ක ධාරාව ජය ගන්න පුළුවන් වන්නේ.
ඊළහට-“ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා” මෙතන ඉතාමත්ම පුදුම ගැඹුරු අදහසක් කියැවෙනවා. මෙතන ”ජිතංච රක්ඛෙ” කියල අර ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් සඳහන් කළේ මොකක්ද ? දැන් සාමාන්‍යයෙන් යෝගියෙකුට ඇතිවන බාධක හැටියට ගන්න පුළුවන්, තමන් ලබාගත්තු මෛත්‍රී සමාධිය පිළිබඳව ඇලුම් කිරීම. දැන් මේ ස්වාමීන් වහන්සේලාත් සමාධියෙන් යම්කිසි දියුණුවක් ලබාගන් අය. මොකද සමාධිය ඇතිවෙනකොට එත් එක්කම එනවා ලොකු සැපයක්. කායික සැපයක්. ඉනින් ඵ්ක ලෙකුවට ගන්නවා. මෙක තමයි ලොකු දේ කියල, මේක තමයි ඇත්ත වශයෙන්ම මේ නිවන් සැපය කියල. එහෙම රැවටෙන ස්වභාවයක් තියෙනවා. උපක්ලේශ ධර්ම කියලත් කියනවා. විදර්ශනා උපක්ලේශ කියලත් කියනවා. නොයෙකුත් ආලෝක පෙනෙනකොට ශරීරයට සුවය දැනෙනකොට, සංසුන් බවක් දැනෙනකොට, විශේෂ අවබෝධ එනකොට. මේ හැම එකක්ම තදින්ම අල්ලා ගන්නවා. දැන් ඉනින් මම නිවන් දැකලයි සෝවාන් වෙලයි කියල, ඔන්න ඔය විදියෙ ස්වභාවයක් තියෙනවා. ඵ්ක නිසා තමයි ”ජිතංච රක්ඛෙ” කියල කියන්නෙ. ඵ් ලබාගන්තු යම්කිසි සමාධියක් නියෙනවා නම් ඵ්ක රැකගන්නන් ඕන. නමුන් ”අනිවෙසනෙ සියා” - නමුත් එහි පැලපදියම්වෙල හිටියොත් කවදාවත් ඵ් තමන් බලාපොරොත්තු වෙන තත්වයට පැමිණෙන්න බැරිවෙනවා. ඵ්ක නිසා ඵ්වායේ පැලපදියම් වෙන්ට එපා. ඵ්කෙන් පරිස්සම් වෙන්ට ඔන. ඵ්කයි බුද්ධවචනය මෙතන විශේෂයෙන්ම. අර කර්මස්ථානවලට උපකාරවන විශේෂ උපදෙසක් මේ ගාථාවෙ සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් යෝගවචරයෙක් මුළාවට පත්වෙනවා ගුරුඋපදේශ නැන්නම්. ඵ්කට හේතුව, අර කායික සුවය ආදී මෙතෙක් නොලැබූ දේවල් ලැබෙනකොට සමාධිය අංශයෙන්, එහි ගැලී සිටීමටයි සිත පෙළඹේන්නේ. ඵ්ක වළක්වාගන්ට ඕන. යුද්ධ උපමාවෙන් කීවොත්, දැන් යෝධයෙක් සටන් කරන අතරෙ බොහෝවිට නියම විදියට යුද්ධයක් පවතිනවා නම් තමන්ට බලකොටුවකුත් තියෙන්ට ඕන. ඵ් යෝධයා යම්කිසි අවසථාවක මොන යම් හේතුවකින් හරි ආයුධය කැඩිල බිඳිල ගියාම හරි, එහෙම නැන්නම් අහාර පාන ගැනීම් ආදී අවශ්‍යතාවයක් සඳහා හෝ එබඳු අවසථාවල ඵ් බලකොටුවට ගිහිල්ලා - පසුබැසලා - ඊළඟට ඵ් කටයුතු කරල විශ්‍රාම අරගෙන ආයෙත් යුද්දෙට යනවා. නමුත් ආයිත් බලකොටුවට ගියාට පස්සෙ එතන බුදියගන්න හිටියොත් කවදාවත් ඵ් සටන දිනන්න බෑ. අන්න ඵ් වගේ දැන් අර සමථයෙත් යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා. සමථය කියල කියන්නෙ සමාධිය. නමුත් මේ බුදුපියාණන් වහන්සේගෙ මධ්‍යම ප්‍රතිපදාවෙ ආශ්චර්ය මොකක්ද? මේ හැම එකකින්ම ප්‍රයෝජනය ගන්නවා. නමුත් එකක්වන් අල්ල ගන්නෙ නෑ. පැලපදියම් වෙන්නේ නෑ. මොකද ධර්මයෙහි සඳහන් වෙනවා ලෝකයේ යම් යම් දෙයක් අල්ලා ගත්තොත් ඵ්කම අනුව මාරයා පසුපස ලුහුබඳිනවා කියලා.
යං යං හි ලොකස්මිං උපාදියන්ති < br/> තෙනෙව මාරො අන්වෙති ජන්තුං < br/> (සුත්ත නිපාන, 1108)
ලෝකයේ යම්කිසි සුලු දෙයක් හෝ අපි අල්ලා ගත්තොත් ඵ්ක අනුව මාරයා පසු පස්සේ ඵලවා එනවා කියලා කියනවා. අන්න ඵ් වගේ තමයි සිතේ ස්වභාවය. මාර සටන කියල කියන්නෙ ඵ්කයි. හැම තිස්සෙම බලන්නෙ මේ සිත, සංස්කාරවල ලැගගන්න. අල්ලාගන්න. එබඳු ඵ් අල්ලා ගන්න ස්වභාවය වළක්වන්න පුළුවන් වෙන්නෙ අර මෙනෙහි කිරීම තුළින්. ශීඝ්‍රයෙන් මෙනෙහි කරන කොට අර අල්ලගන්න ස්වභාවය සිඳිල ඵ්වා ගිලිහිල යනව, මෙනෙහි කිරීම තුළින්. මෙනෙහි කරනවා, ඊළභට ඵ්ක යන්න හරිනවා, අන්න ඵ් විදියට, ඵ්කෙ ස්වභාවය වටහා ගැනීම තුළින් ඵ් මුළාව ඉවත් කෙරෙනවා, මුළාව තිබෙනවා නම්, එහෙම පිටින්ම ඵ්ක අල්ලාගන්නයි කෙනෙක් පෙළඹෙන්නෙ. මනසිකාරය තුළින්, ප්‍රඥාව තුළින් එහි අවබෝධය එනකොට ඵ්ක අල්ලාගන්න යොමුවෙන්නෙ නෑ. ඵ්කෙ අනිත්‍ය ස්වභාවයයි, එතකොට වැටහෙන්නෙ. එන යන දේවල් බව වැටහෙනවා. අන්න ඵ්ක ආශ්රයෙන් එතකොට, කෙනෙකුට ඵ් “විදර්ශනා වීථියේ” ඉදිරියට යන්න පුළුවන් වෙනවා. විදර්ශනා වීථියේ, විදර්ශනා චිත්ත වීථියේ - ඵ්කට චිත්ත වීථි කියලත් කියන්න පුළුවන් - විදර්ශනා වීථියේ - ඉදිරියට යන්න නම් අර තමන් ජයගත්තු ඵ්වායෙ ඇලී ගැලී සිටින්නට එපා. ඵ්වා උපකාර කරගෙන, ඵ් සමාධි ශක්තිය යොදාගෙන, ඊළඟට ඵ්වායෙ ඇලෙනවා වෙනුවට උපේක්ෂාව මුල්කරගෙන - උපේක්ෂාව උපකාර කරගෙන - අර ධර්ම තත්වය තේරුම් ගන්න කියන එකයි බුදුපියාණන් වහන්සේගේ අනුශාසනය මේ ගාථාවෙන්. එතකොට,
ඒවායේ පැලපදියම් වෙන්ට එපා කියන එක. මේ සිතේ ස්වභාවය හැම තිස්සෙම ගෙවල් හදන එක. ගෙවල් හදන්න බලනා සිත. බුදුපියාණන් වහන්සේ මේ “නිවෙසන” කියල කියන්නේ ගෙයක් කියන අදහසින්. අර පැලපදියම්වීම කියන අදහස හා සම්බන්ධයි. දැන් එතකොට බුදු පියාණන්වහන්සේගේ ධර්මය අපි නුවණින් කල්පනා කරල බැලුවොත්-හරියට ඒක දැන් ගොඩනැඟිල්ලක් හදනකොට අපි පලංචි බඳිනවා. පලංචි බඳින්නේ ගොඩනැඟිල්ල කරන ගමන්. නමුත් කවුරුවත් සිතිය යුතු නෑ පලංචිවල පදිංචි වෙන්න. පලංචිවල පදිංචි උනොත් ගොඩනැඟිල්ල තැනෙන්නේ නෑ. ඒවා හැම තිස්සෙම ඉවත් කර කර ඉහළට යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ධර්ම මාර්ගය-මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. එතකොට “ජිතඤ්ච රඛෙ අනිවෙසනො සියා” ඔන්න ඔය උපදෙස අපට, මේ සාමාන්‍යයෙන් ‘යෝගාවචර’ - එහෙම නැත්නම් භාවනාවේ යෙදෙන - අයට, ඉතාමත්ම ප්‍රයෝජනවත් කාරණයක්. මොකද, බොහෝවිට අහන්ට ලැබෙනවා භාවනා යෝගීන් අතර, කෙනෙකුගේ ප්‍රථිපල ගැන අහනකොට, බොහොම සතුටින් ප්‍රකාශ කරනවා මට මෙහෙම මෙහෙම තියෙනවා කියල. නමුත් මුලාවුන බව දන්නෙ නෑ. විදර්ශනා උපක්ලේශවලට යටවෙලා. ‘ඔන්න හොඳට ආලෝක පෙනෙනවා. හරි පුදුම සැපයක් තියෙනවා. ඕන තරම් වෙලා ඉන්න පුළුවන් ඉඳගෙන. පැය ගණන් ඉන්න පුළුවන්.’ නමුත් එතන ලැගගත්ත. ඒ ලබා ගත්තු අර සමාධියෙ ලැඟ ගත්තා. ඉදිරියට ගමනක් නෑ. ඒක නිසා තමයි “අනිවෙසනො සියා” අර මෙනෙහි කිරීම තුළින් තමයි අවසානයේ අපට මේ සටන ජයගන්න පුළුවන් වන්නෙ. මොකද, අල්ලගත්තු තැනම මාරයා. ඒතනම මාරයාට යටවෙනවා. ඔය විදියේ මහ පුදුම ධර්මයත් මෙතන තියෙන්නෙ. එතකොට ඒ ගාථා ධර්මය අනුවත් අපට හිතාගන්න පුළුවන් මේ විදර්ශනා භාවනාවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්රිලක්ෂණය හෙළිකර ගැනීමට උපකාර වෙන මේ මනසිකාරය කොයිතරම් වැදගත්ද කියල. හැම එකක්ම දැන් මේ මෙනෙහි කිරීම තුළින්ම අහුවෙනවා. අමුතුවෙන් වචන වශයෙන් නොකිවත් ඒ සංස්කාර ධර්මයන් ඇවිල්ල මොහොතක් ඉතාම සුලු වේලාවක්, ක්ෂණයක්-පැවතිලා නැතිවෙල යන ආකාරය දකිනකොට මේවායේ අනිත්‍ය ස්වභාවය පැහැදිලි වෙනවා. ඒ වගේම, යමක් අනිත්‍ය නම්, වෙනස් වෙනවා නම්, එතන සැපයක් සොයාගන්ට බෑ-එය පෙරලෙනවා නම්, බිඳී යනවා නම්. අන්න ඒක නිසා ඒ දුක්ඛ ස්වභාවයක් වැටහෙනවා. එබඳු ඒ දෙයක් ‘මමය’ ‘මාගේය’ කියල ගැනීම මෝඩ කමක් බවත් තමන්ට අවබෝධ වෙනවා. ප්රත්යක්ෂ වෙනවා. අන්න ඒ ත්රිලක්ෂණය එතකොට ප්රත්යක්ෂය තුළින්ම අවබෝධ කරගන්නට නම් අර මෙනෙහි කිරීම උපකාරී වෙනවා. මෙනෙහි කිරීම ඉතින් අර කියාපු විදියට ආරම්භයේදී රූපයක් රූපයක්. ශබ්දයක් ශබ්දයක්. ආදී වශයෙන්, ඒ කියන්නේ, සාමාන්‍ය ලෝකයේ නම්, අන්න කාර් එකක් අන්න අසවල් කෙනෙක් කියල නමින්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, ඊළහට තවත් ඕන නම් ඒ පුද්ගලයින් පිළිබද විස්තර, ඕවා සාමාන්‍ය ලෝකයේ, එදිනෙදා ව්‍යවහාර ලෝකයේ ඕන. නැතිව බෑ. නමුත් විදර්ශනා යෝගියා ඕවයින් ඉවත්වෙන්නට ඕන, නිවන් දකින්නට නම්. ලෝකෝත්තර වෙන්ට නම්. ලෞකික වශයෙන් නම්, මේ එන එන හැම දෙයක්ම මේ නමින් හඳුනගන්නවා. ‘නිමිති’, ‘අනුව්‍යඤ්ජන’ කියල කියනවා. දකින අසන දේවල් පිළිබද අපි නිමිති ගන්නවා. ඒ නිමිති පිළිබද පාලනයක් නැතිකම නිසා තමයි මේ කෙලෙස් ධාරාවට යටවෙලා මේ දීර්ඝ සංසාරයේ අපි මේ නානාප්‍රකාර දුක් විඳින්නේ. එතකොට, මේවායින් බේරීමට නම් අර භාවනාවේ යෙදෙන යෝගියා විශේෂ උත්සාහයකින් අර නිමිති ගැනීමේ සිරිත කඩා දමන්ට ඕන. එකපාරටම කඩාදමන්ට බෑ ඒක. නමුත් ඒකට උපකාර වෙන හේතුවක් තමයි ‘සංඥාව’ කියල කියන හැඳිනීම. අර යමක් පිළිබද මූලිකව යම්කිසි විඳගැනීමක් එනවා. ඒක ආශ්රයෙන් හැඳින ගන්නවා. එතනින් තතර වෙන්නේ නෑ. ඊළහට මිය පිළිබද වේදනාවල් ඈතිවෙනවා. බොහෝවිට තරහ වේදනාවල්. සැපයට දැඩිව ඇතිවීමක් ඇතිවෙනවා. ඉතින් මෙන්න මේ හැම එකකම යථා තත්ත්වය අර මනසිකාරය තුළින් කෙනෙකුට අවබෝධ වෙනවා. ඔය විදියට කල්පනා කරල බලනකොට මේ මෙනෙහි කිරීම අර විදියට වචන ගණනාවකින් සාමාන්‍ය ලෝකයා තේරුම් ගන්නා දේ, මනසිකාරයේදී ඉතාමත්ම කෙටියෙන් තේරුම්ගත්ත උත්සාහ කරනවා, සංඥාවලට අනුවෙන්නේ නැතිව. තනිකර ඒක ‘රූපයක්’, එහෙම නැත්නම් ‘සද්දයක්’ කියල එතනින් අතර වෙනවා. ‘ලත්තැන ලොප් කිරීම’ වගේ දෙයක් එතන කෙරෙන්නට ඕන. එතකොට, ඒ විදියට කරගෙන යනකොට, තවත් ඈතට යනකොට, විදර්ශනාවෙ දියුණුව ලබනකොට, මේවායේ අර දැනීම් මාත්‍රය පමණක් පවා මෙනෙහි කරන්න සිද්ධ වෙනවා. මේකෙ දැනීම් මාත්‍රය පමණක්. එතනින් තතර වෙන්ට. අර ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම. හරියට, අපි අර සඳහන් කළ කඩු හරඹයකදී, දෙන්නම එකවිදියට සටන් කරගෙන යන අතරේ සතුරා ජය ගන්න නම් සතුරා ආයුධය යොදන වේගයට වඩා වේගයකින් තමන් ඒක වළක්වන්න ශක්තිමත් වෙන්ට ඕන. අන්න ඒ වගේ, මේ මාර සේනාව කියන මහා පුදුම වේගයකින්-කියන්න බැරි තරම් වේගයකින්-දුවන සිතිවිලි වැළැක්වීමට නම්, මෙන්න මේ මෙනෙහි කිරීමත් ඒ වගේම ශීඝ්‍රයෙන් කරන්නට ඕන. මේ මෙනෙහි කිරීම දුර්වල උනොත් මොකද වෙන්නේ, අර සංඥාවලට අහුවෙනවා. සංඥාව කියන එක-බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා-මිරිඟුවක්. මිරිඟුවක් කියන්නේ, ඒක දුටුවහම ඒක පස්සේ එළවනවා. දැන් මේක හරියාකාරව දැන ගන්නයි මේ සංඥාව කියල අපි ගන්නේ. මේක මොකක්ද කියල අපට දැනගන්න හිතෙනව. දැන්, පාරේ යනවා නම්-යම් කිසි ගමතක් යන්න සුදානම් වෙන කෙනෙක්, අපි හිතමු කොළඹ යන්න පිටත්වුනා. නමුත් මේ පුද්ගලයා ඒ යන අතරේ වාහනයෙන් වටපිට බලනකොට ඒ දකින දේවල්වල මේක කොහොමද මේ ලස්සන දේවල් මේ අවට තියෙන දේවල් කොයි ආකාරයද කියල බැලුවොත්-කවදාවත් කොළඹට යන්න හම්බ වෙන්නේ නෑ. දකින දකින දේ සිත යන යන තැන නැවතිලා මේක හොඳට සම්පූර්ණයෙන් බලන්ට ඕන කියල හිතුවොත්. අන්න ඒකයි.
එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘අපිට මෙහෙම උනොත් ජීවත් වෙන්ට බෑ නේද ලෝකයේ’ කියල. ලෝකයේ හැමදාමත් ජීවත්වෙන්ට පුළුවන්, ඕන නම්.නමුත් මේ සංසාරයෙන් මිදීමේ මාර්ගයයි බුදුපියාණන් වහන්සේ දක්වන්නේ. එක නිසා විශේෂයෙන්ම යෝගාවචරයා උත්සාහවත් වෙන්ට ඕන මේ කාර්ය - නිවන් කාර්ය - සඳහා අර කියාපු නිමිති ගැනීමේ පුරුද්ද කඩා දමන්ට. ඒක නිසා තමයි ඒක ක්‍රමානුකූලව කරන්නේ. ඇස්දෙක පියාගන්නවා නොවෙයි. කන්දෙක වහගන්නවා නොවෙයි. මේ ඉන්ද්රියයන් පාලනය කර ගැනීම සඳහා පළමුවෙන් අර කලින් අහවලයි අහවල් අහවල් දෙයි කියල හිතන ඒ සංකල්ප ඉවත් කරල, ලෞකික නාම ආදිය ඉවත්කරල, මේක ‘රූපයක්’ ‘සද්දයක්’ කියල එහෙම හිතල පටන් ගන්නවා මෙනෙහි කිරීම. එහෙම කරගෙන යතකොට ඈතට යනකොට පෙනෙනවා මේකත්, කොයි ආකාරයෙන් නමුත් මේකත්, සංඥාවේ මිරිඟුවට අහුවීමක්-ටිකක් හරි. ඒ විදියට යම්කිසි අවස්ථාවක අර ස්පර්ශීමාත්රය, අර දැනීම් මාත්‍රය, එතෙන්දීම-මේ සිත-අර මනසිකාරය තුළින් ඒ සිතිවිලි ධාරාව-කඩන්න පුළුවන් ශක්තියක් කෙනෙකුට දියුණු කර ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තුළින් තමයි ඇත්ත වශයෙන්ම මේ සංස්කාරවල ඇතිවීම් නැතිවීම් ස්වභාවය හොඳට ප්රත්යක්ෂ කරගන්ට පුළුවන් වෙන්නේ. මාර්ගඵල අවබෝධය ආදී තත්ත්වවලට පවා යන්න පුළුවන් වෙන්නේ.
එතකොට එබඳු කාරණා රාශියක් මෙකෙ අඩංගු වෙනවා, මේ ගාථාවෙ. අපි කල්පනා කරන්ට ඕන
ඉතාමත්ම දුර්ලභ බුධ්ධෝත්පාද කාලයක් ලබාගෙනයි අපි මේ ජීවත් වෙන්නෙ, මනුෂය ආත්ම භාවයක්
ලබාගෙන. භාවනාව කියන එක කොතෙකුත් අහන්ට ලැබෙනවා. හැම දෙනෙක්ම කරනව
කියලත් කියනවා. නමුන් ඵ් භාවනාවෙ ඉලක්කයන් බොහෝවිට අර බුදුපියාණන් වහන්සේ පුකාශ කළ ආකාරයට
මේ සසර දුකින් මිදීම සඳහා උපකාර වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් සමහරවිට කය සතප්පවා ගැනීම,
කායික වශයෙන් නොරෝගී සුවය ලබාගැනීම, එහෙම් නැන්නම් හොඳ හොඳ දර්ශන දැකීමට, තවත් නොයෙකුත්
විදිය් ලෞකික දෙවල් සම්පූර්ණ කරගැනීමට, ලෙඩ සුවකර ගැනීම් ආදියට, ඔය විදියේ පරමාර්ථ වල
සිරවෙලා තිබෙනවා. ඵ්වා තමයි අර පැලපදියම්වීම්, ඵ් වෙනුවට කරන්නට තිබෙන්නෙ යම්කිසි සමථ
කර්මස්ථානයක් තුළින් සමාධි මට්ටමක් ඇතිඋනා නම්, එතෙන්දි ඵ් සමාධියෙ තිබෙන ආදීනව සළකන්නට ඕන.
හැම දේකම තිබෙනව ඔය අස්වාද පක්ෂයත් ආදීනව පක්ෂයත් - බුදුපියාණන් වහන්සේ පුකාශ කරල නියෙනව,
ලෝකයේ තියෙනවයි ආස්වාද, ආදීනව, නිස්සරණ කියල තුනක්. මේවයේ හොඳ පැත්තකුත් නිබෙන්න පුළුවන්.
නමුත් ඵ් එක්කම ආදීනව රාශියකුන් තියෙනවා. ඵ්ක නිසා මෙයින් ඉවත්වෙන්නට ඕන -
නිස්සරණ- මේ හැම එකකින්ම ඉවත්වීමයි මෙතනින් අදහස් කරන්නෙ. අල්ලාගැනීම තුළ
තියෙන්නෙ පැවැත්මයි. අතහැරීම තුළ තිබෙන්තෙ නැවැන්මයි. අන්න ඵ්ක තේරුම් අරගෙන, එතකොට ,
ලෝකයේ මේ ඇතිවීම් - නැතිවීම් ස්වභාවයට සිත හුරු කරනකොට, කෙනෙකුට අවබෝධය එනවා මෙක
අල්ලාගත්තොත් ඵ් එක්කම පෙරලිලා අපි විනාශයට පත්වෙනවා කියල,. අන්න ඵ් විදියට, එතකොට අර
සමාධියෙ පවා රැඳී සිටින්නෙ නෑ. බුද්ධකාලයේ පවා බුදු පියණන් වහන්සේ මුලදී අර තමන්ගේ ගුරුවරුන්
හැටියට සිතාගෙන ළංවුනු අළාරකාලාම, උද්දකරාමපුත්ත ආදී ශාස්තෘන් පවා සමාධියෙන්, සමථයෙන්,
ඉතාමන්ම උසස් තත්වවලට ගිහිල්ල හිටියා. නමුත් ඵ් අය ඵ්වායෙ ඇලී ගැලී සිටිය නිසා නිවන් දකින්න බැරිව
හිටියා. එතකොට බුදුපියාණන් වහන්සේ කෙනෙක් පහළවීම තුළින් අපට ලැබෙන-ලෝකයාට ලැබෙන-ලොකුම
ආලෝකය තමයි මේ විදර්ශනා ආලෝකය. මෙන්න මේ විදර්ශනා භාවනාවට අදාළ වටිනා කාරණායි මේ
ගාථාවේ එතකොට ගැබ්වෙලා තියෙන්නෙ. ඒක අනුව අපි කල්පනා කරන්ට ඕන, අපේ ශක්ති ප්‍රමාණයෙන්
මේ ධර්ම මාර්ගයට බැහැල-එදිනෙදා ජීවිතයේදීත්-හැකිතාක් දුරට මේවායින් ඉවත්වෙන්නට උත්සාහවත්
වෙන්ට ඕන. ඒ සඳහා විශාල පරිත්‍යාගයක් සමහරවිට කරන්ට සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව? දැන්
විශේෂයෙන්ම ගිහි ජීවිතය ගතකරන පින්වතුන්ට විදර්ශනා භාවනා ආදී කටයුතු කරනකොට මහා ප්‍රශ්නයක්
සමහරවිට පැන නගින්නට පුළුවන්. මේ සංකීර්ණ සමාජය ඇත්ත වශයෙන්ම දුවන්නේ අර සංඥා මිරිඟුව
ඔස්සේයි. මිරිඟුවෙන් පෙළඹිලා මුවන් දුවන්න වගේ මේ ලෝකයා බලන්නේ-එහෙම පිටින්ම මේ ලෞකික පැත්තට
නැඹුරුවනු නොවෙයි ලෞකික පැත්තට නැඹුරුවුනු ලෝකයා බලන්නේ-මේ මනුෂ්‍යයින් මුළාකරල, පිස්සන් බවට
පත්කරල. එක්කෝ තම තමන්ගේ දේවල් විකුණාගන්න, තවත් දේවල්වලට යොමුකර ගන්න, ඇදගන්න. ඒ විදියේ
බලවේග රාශියක් මධ්‍යයෙයි අපි මේ ජීවත් වෙන්නේ. එබඳු යුගයක, එතකොට යම්කිසි කාය විවේකයක් දැන්
මෙබඳු දිතක පෝය දිනක වගේ, සිල් සමාදන් උනාම-ලැබෙනවා. තමන්ගේ හිත අරවයින් මැත් කරගන්න
පුළුවන් වෙනවා. ඒ මැත්කර ගැනීමේ පුරුද්ද වැඩිකරගන්ට ඕන. ඒක තුළින් තමයි “නෙක්ඛම්මය”
ඇතිවෙන්නේ. අන්න එහෙම ඒ කය පිළිබදව. කාය විවේක, චිත්ත විවේක, උපධි විවේක, කියල විවේක තුනක්
තිබෙනවා. ඒ කායික විවේකය ඇතිවෙනකොට ඒකෙනුත් යම්කිසි සැපයක් ඇතිවෙනවා. නමුත් ඒකෙන් සම්පූර්ණ
වෙන්නේ නෑ. ‘අපි හොඳ විවේකස්ථානයක කිසි සද්දයක් නැතිව ඉන්නවා’ කියල කිව්ව පමණින් ඒක සම්පූර්ණ
නෑ. ඊළහට කාය විවේකය තුළින් චිත්ත විවේකය ඇතිකර ගන්නවා. සිත මැත් කරගෙන. ඊළහට උපධි
විවේකය. අර පඤ්චස්කන්ධය අතහැරීමයි අවසාන දේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියල
කියන, අපි මේ බදාගෙන සංසාරයේ දීර්ඝ කාලයක් ගමන් කරන, මෙන්න මේ ස්කන්ධ-මේ ගොඩවල් පහ
අතහැරීමයි එතකොට මේ විදර්ශනාවෙන් කෙරෙන්නේ, නිර්වාණාවබෝධය කියල කියන්නේ.
මේවා ගොඩවල් පහක් කියල කියන්නේ මක්නිසාද? සාමාන්‍ය ලෝකයා මේ රූපය එකක් හැටියටයි හිතන්නේ, ‘මගේ රූපය’ කියල. අපි ජායාරූපයක් ගත්තහම ‘මේ මගේ රූපය’ කියල අපේ හිතට බොහෝ විටම පළමුවෙන්ම එන්නේ එකයි. නමුත් මේක තුළ ඇති වෙනස්වීම් ශක්තිය, වෙනස්වෙන වේගය, වෙනස්වීම, අපිට පෙනෙන්නේ නෑ. ඒක නිසා තමයි අර කාලෙකට පස්සේ යාලුවෙක් ආවහම ‘අනේ දැන් කොයිතරම් වෙනස්වෙලාද’ කියල අහන්නේ. ඒ දැක්ක වෙලාවේ නෙවෙයි වෙනස්වුනේ. එහෙම නැත්නම් ඒ කාලය තුල හිටිගමන් වෙනස්වුනා නොවෙයි. අන්න ඒ විදියේ දෙයක්, මේ රූපය පිළිබදව. ඇත්තවශයෙන් රූපය ඉතාමත් හෙමින් වෙනස් වෙන්නේ. ඊටත් වඩා ශීඝ්‍රයෙන් මේ හිත වෙනස් වෙනව. ඉතාම ශීඝ්‍රයෙන් මේ හිත වෙනස් වෙනවා. නමුත් ඒ හිත පවා අපි මේ ආත්මයක් හැටියට ‘මමය’ ‘මාගේය’ කියල අරගෙන මුළාවක දැවටිලා ඉන්නවා-මුළු මහත් ලෝකයාම. ඔය ‘සක්කායදිට්ඨී’ ආදි වචනවලින් කියන්නේ. මේක ‘ආත්මය’ හැටියට සළකනවා. රූපය මගේ ආත්මයයි කියල හිතනව. වේදනාවත් පිළිබදවත් එහෙමයි. වේදනාවත් එකක් හැටියට අපි ගන්නවා. අපිට පේන්නේ එක පාරටම මේක එකක් හැටියට. නමුත් විදර්ශනා යෝගියා මේකට අර මනසිකාරය යොදන කොට අන්න පුපුරුගැසීම් රාශියක් මෙතන තිබෙන්නෙ. ඇතිව නැතිවෙන මහා පුපුරු ගැසීම් රාශියක් වගේ වේදනාව. රූපය පිළිබදව අර කළය පිළිබද උපමාව ආදියෙන් තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේ, පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතුන් රාශියක් මගින් හැදුනු දෙයක් රූපය. ඊළහට වේදනාවත් අර වගේ. ස්පර්ශය අනුව ඉතාමත්ම ශීඝ්‍රයෙන් වෙනස්වන, පොපියන, යම්කිසි සිදුවීමක්. දැනීම් රාශියක් එතන තියෙන්නෙ-වේදනා ස්කන්ධය කියල කියන්නේ වේදනා ගොඩක්. එකක් නොවෙයි. එතකොට ගොඩකට ‘මමය’ කියල කියන්නේ කොහොමද? ඒවා ඇතිවීම්-නැතිවීම්වලින් පෙළෙනව. ඊළහට සංඥාව හැඳිනීම. ඒකත් හැඳිනීම් ගොඩක්. සාමාන්‍යයෙන් අපි එක පාරටම අඳුනාගත්තා කියල කියනවා. ‘එකපාරටම මම හඳුනාගත්තා’ කියල සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙනවා. එකපාරටම නොවෙයි, ඉතාම ශීඝ්‍රයෙන් එතන ඒ හැඳිනීම් රාශියක් තුළින් අපි යමක් හඳුනාගන්නේ. ඒ හැඳිනීම් රාශියම අපි, ගොන්න, එකක් හැටියට ගන්නවා. ඒ වගේ තමයි චේතනාව කියන එක. චේතනාවත් ඉතාම ශීඝ්‍රයෙන්.චේතනා රාශියක් එතන තියෙන්නෙ. චේතනා ගොඩක්. ඒකට සංස්කාර කියල කියනවා අපි. වේදනා සංඥා සංස්කාර චේතනා ඇතුළු ඒ සියලුම දේවල් සංස්කාර. සකස් කිරීම් ගොඩක්. හිත ඇතුළේ තියෙන සකස්කිරීම් ශක්තියක්. අන්න ඒ විදියේ සකස්කිරීම් ගොඩක් මේක මමය මාගේය කියල හිතනව. ඊටත් වඩා බරපතල මුළාව තමයි මේ හිත-විඥානය. මේ “මමය” කියන හැඟීම හැංගිලා හිටින තැන. දැන් අපි දත්නවා සතුරාගේ බලකොටු බිඳගෙන බිඳගෙන ගිහිල්ලා අන්තිම බල කොටුව තමයි, විජිත පුරය වගේ එක තමයි, විඥානය. මෙතන තමයි ලොකුම මායාව තියෙන්නෙ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ වදාළා මේ විඥානය මායාවකට උපමා කරල. මායාවකින් ලේසියෙන් මිදෙන්න බෑ. අන්න ඒක නිසා බුදුපියාණන් වහන්සේ මේ පඤ්චස්කන්ධය ගැන දක්වපු උපමා පවා එදිනෙදා ජීවිතයේ කෙනෙක් ගැඹුරින් හිතනකොට ඒක තුළින් නිවන් දකින්නට පුළුවන් කියල බුදුපියාණන් වහන්සේ වදාළා. රූපය පෙණ පිඬකට උපමා කරල තියෙනවා. වේදනාව දිය බුබුලකට උපමා කරල තියෙනවා.
පෙණ පිඬක් කියන එක, පෙණ පිඬ, අපට එකක් හැටියට ඝන සංඥාවෙන් ගන්න හිතෙනවා දැක්කහම. ලස්සනට තියෙනවා. නමුත් එතන තියෙන්නෙ පෙණ රාශියක්-ඉතාම සියුම්. ඒ වගේම වැස්ස වෙලාවට අර වතුරක් මත වැහිවතුර වැටෙනකොට ඉතාම ශීඝ්‍රයෙන් ඇතිවෙල නැතිවෙන දිය බුබුළු රාශියකට බුදු පියාණන් වහන්සේ වේදනාව උපමා කරල තියෙනවා. වේදනාව කියන එක පුපුරු ගැසීම් රාශියක් වගේ. ඊළහට සංඥාව-ඒක මිරිඟුවකට උපමා කරල තියෙනවා. අපි දැන් මේ අවස්ථාවෙත් සඳහන් කළා මිරිඟුව. ඒ කියන්නේ, හඳුනාගැනීම කියන එකේ කොනක් නෑ. මේක මොකක්ද කියල හොයාගන්ට යන ඒ දිවිල්ල-ඒක එහෙම පිටින්ම අර මිරිඟුව ඔස්සෙ යන මුවාගේ දිවිල්ලක් වගේ. අන්තිමට එතන දෙයක් නෑ. ඒක ඇදගෙන යන මායාවක්. එතන අන්තිමට මායාවකින් කෙළවර වන්නේ. ඔය ඉතින් සංඥාව.
ඊළහට සංස්කාර කියන එක කෙසෙල් කඳකට උපමා කරල තියෙනවා. කෙහෙල් කඳක හරයක් නෑ, අරටුවක් නෑ. අරටුවක් නැති බව. එතන සකස්කිරීම් රාශියක්. සකස්කිරීම් රාශියක් එකක් හැටියට ගන්න ස්වභාවයක් ලෝකයේ තිබෙනවා. එතකොට මේ සිතතුළින් කෙරෙන ඒ සංස්කාර, සිත තුළ යන විතර්ක ගොඩයි. අවසාන වශයෙන් කල්පනා කරල බලනකොට, හිතෙන්මයි මේව සකස් කරල ගන්නේ.
කියන ඒ බුදු වචනයයි. හිතම පෙරටුයි. හිතෙන්මයි මේ ලෝකය අවසාන වශයෙන් බලනකොට මැවිල තියෙන්නෙ. ඒතරම් තත්ත්වයක්. මහා ආශ්චර්යවත් දෙයක් මෙතන තියෙන්නෙ. වෙන කිසිම ශාස්තෘවරයෙක් ප්‍රකාශ නොකළ ආකාරයට. අන්න එතකොට ඒ කියන මුළාවට හේතුව මොකක්ද? විඥානය මායාවකට උපමා කරල තිබෙනවා. මායා කාරයෙක් සතරමං සන්ධියක, ප්‍රසිද්ධ තැනක, මායාවක් දැක්වනකොට දකින හැම කෙනාම, කට ඇරගෙන, හා හු කියාගෙන, මේක මහා ආශ්චර්යයක් කියල රැවටිලා පුදුම වෙනවා. නමුත් මායාකාරයා විතරයි දන්නේ මෙතන එහෙම පිටින්ම බොරුවක් කරන්නේ. නැති දේවල් ගොඩක් පෙන්වන්නේ. අන්න එබඳු දෙයක් එතකොට මේ. නැති දෙයක් ඇති හැටියට මවා පාන්තෙ පෙන්නුම් කරන්නේ මේ අපේ හිතයි, විඥානයයි. මේ තත්වය සාමාන්‍ය ලෝකයාට තේරුම් ගන්ට බෑ. තර්කයෙන් තේරුම් ගන්න බෑ. උගතුන්ට උපාධිවලින් තේරුම් ගන්ට බෑ. මේක තේරුම් ගන්ට ඕන “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි” කියන ආකාරයට තම තමන්ගේ ප්‍රඥාවෙන්. “විඤ්ඤූහි” කීවේ නියම ප්‍රඥාව ඇති අය-නිකම්ම පණ්ඩිතයින් නොවෙයි. අන්න ඒ විදර්ශනා ප්‍රඥාවෙන් තම තමන්ම තේරුම් ගතයුතු දෙයක්. වෙන කෙනෙකුට ඒක කරන්නට බෑ. බුදුරාජාණන් වහන්සේටවත් කරන්නට බෑ. තමන් අර සියලූ යම්කිසි ශීලයක පිහිටලා, සමාධියක්-සමාධිමට්ටමක්-ඇතිකරගෙන, ඊළහට අර මනසිකාරයෙන්-නියම ගුරුහරුකම් ඇතිව විදර්ශනා භාවනාවට බැහැලා, ඒ මනසිකාරය තුළින් තමයි මේ විඥාන මායාවේ යථා තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ මායාවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. මේ කියාපු පංචස්කන්ධය අතහරිනවා කියල කියන්නේ මෙකයි. අතින් අල්ලා විසිකරන දේවල් නොවෙයි. මේ ප්‍රඥාවෙන් යම් අවස්ථාවක රූපස්කන්ධය රූපස්කන්ධයක් හැටියට වටහා ගත්තා නම්, මෙතන අල්ලගන්න දෙයක් නැති බව එතනම තේරුම් යනවා, අහුවෙන්නේ නෑ. මේක අල්ලගන්න අහුවෙන්නේ නෑ. ඊළහට වේදනාව පිළිබදවත් එහෙමයි. අර දිය බුබුළු උපමාව තමන්ට වැටහෙනකොට මෙහි හරයක් නැතිබව, මෙහි ගතයුත්තක් නැති බව තේරෙනවා. නිස්සාරත්වය. සංඥාව-මිරිඟුව, ඊළහට සංස්කාර-කෙසෙල් කඳ. .
කෙසෙල් කඳේ අරටුවක් තියෙනවා කියල හිතාගෙන අල්මාරියක් හදන්න ඕන කියල හිතාගෙන පළවෙනි වරට කෙසෙල් කඳ උස්සාගෙන ගිහිල්ල ගෙදර - බලනකොට, ටිකක් අතගාල බලනකොට, මේකේ යට තව තට්ටුවක් තියෙනවා. ඔන්න ඔය විදියට දැන් එතකොට මේ බුදු පියාණන්වහන්සේ වදාළ මේ කාරණය විදර්ශනා යෝගියා තේරුම් ගන්නේ අර සම්මර්ශණය කියන වචනයෙන්. සම්මර්ශණය කියන්නේ හෙමින් අතගාල බැලීම වගේ දෙයක්. ලෝකයා කරන්නේ පරාමර්ශණය කියල කියන දැඩිව අල්ලා ගැනීමයි. මෙන්න මේ දැඩිව අල්ලාගැනීමේ ගතිය අත හැරලා සම්මර්ශණය කියන ඉතාමත්ම සියුම් ආකාරයෙන් මෙනෙහි කිරීමයි එතකොට විදර්ශනාවට උපකාර වෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැලි පිහියක් එහෙම මදිනකොට මදින්න අල්ලන්නේ විසි කරන්න පුළුවන් විදියට වගේ. එහෙම අල්ලගෙන දැලි පිහිය කරගලේ ඉහළට පහළට අතුල්ලනකොට අර මුවහත මොට්ට නොවන ආකාරයටයි ඒක කරන්නට ඕනේ. මට්ටම් කිරීම කරනවා මිසක් මොට්ට වෙන ආකාරයට නොවෙයි. දැඩිව අල්ලා ගත්තොත් ඒ දැලි පිහිය මොට්ට වෙනවා. ඒ වෙනුවට අර සියුම් ආකාරයෙන් අල්ලාගෙන එහාට මෙහාට ඇඳිල්ලීම තුළින් තමයි දැලි පිහියක් මුවහත් කරගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ විදියටම මනසිකාරයත් අර එකකවත් බැඳෙන්නේ නැතිව, සංඥාවලවත් වේදනා ආදී ඒ කිසිවකවත් බැඳෙන්නේ නැතිව, එන එන ආකාරයට ඒ ඒ හැටියටම කඩු හරඹයක් වගේ මෙනෙහි කරල එතනින්ම නතර කරනවා. ඔය විදියට ගිහිල්ල කරයි මේ විදර්ශනා මාර්ගයෙන් අර සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් ඒ සංස්කාරයන්ගේ සමථය කියල කියන-“සබ්බසංඛාරසමථෝ” කියල කියන-සියලු සංස්කාරයන් සමතය කිරීමෙන් ලැබෙන පරම ශාන්ත නිර්වාණ සුඛයත් ප්රත්යක්ෂ කරගන්ට පුළුවන් වෙන්නේ. එතකොට ඒ බුද්ධ දේශනාව අනුව මේ පින්වතුන්ට භාවනාවට නැඹුරුවීමට උපකාර වන උපදෙස් රාශියක් අද මේ පොහොය දවසේ අසන්නට ලැබුනා. මේ ඇසීම් මාත්‍රයෙන් නොනැවතී, තමනුත් මේකට-මේ මාර්ගයට-බැහැලා, ඒවාට උපදෙස් ගුරු හරුකම් දෙන්න පුළුවන් අය ඇසුරු කරගෙන ඒවා ලබාගෙන මේ අතිභයානක සංසාර දුකින්ම මිදීමට උත්සාහවත් විය යුතුයි කියල සිතාගන්ට ඕන. ඒ වගේම, මේ අවස්ථාවේ හොඳ ශීලයක-යම්කිසි ශීලයක-පිහිටලා, මේ ධම්ශ්රවණය කරන අවස්ථාවෙත් සමාධිමත්ව යම්කිසි සිත තැන්පත් කරගැනීමක් ඇතිව, වැටහීම් බුද්ධියට ඉඩ දෙමින්, ශ්‍රවණය කිරීම තුළින් ශීල සමාධි ප්‍රඥා යම්කිසි තරමකට දියුණු වෙන්න ඇතැයි කියල සිතනවා. අන්න ඒ ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරමින්, හැකිතාක් ඉක්මණින් මේ ධර්ම ශ්‍රවණ ආනිශංසය වශයෙන් සලකන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ඉන්ද්රිය ධර්මයන් බල ධර්මයන් තම තමන්ගේ චිත්ත සන්තානය තුළ දියුණු පවුණු කර ගැනීමෙන් අර බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ මේ සංසාර දුකින් එතෙරවීමට උපකාර වන පරම ශාන්ත නිර්වාණ අවබෝධය ලබාගැනීමට මේ ධර්ම ශ්‍රවණය උපකාරවත් වේවා කියා එහෙම අධිෂ්ඨාන කරගන්නට ඕන, ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඒ වගේම, දැන් මෙතෙක් වෙලා අපි ධර්ම දේශනාමය වශයෙනුත් ධර්ම ශ්‍රවණමය වශයෙනුත් ඇතිකර ගත්තු යම් කුසල සම්භාරයක් ඇතොත් ඒවා පිළිබඳව අනුමෝදන් වෙන ඒ ශාසනාරක්ෂක දේව මණ්ඩලය ඇතුළු අවීචියේ සිට අකනිටා දක්වා වූ යම්කිසි සත්ත්වයින් සිටිනවා නම් ඒ හැම දෙනෙක්ම අප විසින් අද දින මේ අවස්ථාවේ රැස් කරගත් කුසල සම්භාරය අනුමෝදන් වේවා. අනුමෝදන් වී ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගනිත්වා කියල ප්‍රාර්ථනා කරන්ට ඕන. ඒ වගේම තම තමන්ගේ නමින් නැසී මියපරලොව ගිය සියලූ දෙනාත් මේ කුසල සම්භාරය අනුමෝදන් වෙලා දුක් කෙළවර කරගැනීමට ශක්තිය ලබත්වා! ඒ විදියට ප්‍රාර්ථනා කරගන්නට. දැන් එතකොට මේ අවස්ථාවේ මේ ගාථා කියල පින් පමුණුවන්නා.
නගරං යථා පච්චන්තං
ගුත්තං සන්තරබාහිරං
එවං ගොපෙථ අත්තානං
ඛණො වෙ
මා උපච්චගා
ඛණාතීතා හි සොචන්ති
නිරයම්හි සමප්පිතා
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අපේ තිලෝගුරු සම්මාසම්බුදු පියාණන් වහන්සේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරල සොයා ගත්ත නිර්වාණ මාර්ගය, එනම්, චතුරාය සත්‍යය පළමුවෙන්ම දෙවි මිනිසුන් සහිත ලෝකයාට හෙළි කොට වදාළේ ඇසළ පුර පසළොස්වක පෝය දවසකයි. ඒක නිසා අද ඉතාමත්ම වටිනා පෝය දවසක්. ඒ වගේම තවත් පැත්තකින් බලන කොට මේ ශාසනික වටිනාකමක් ඇති දවසක් හැටියට සලකන්නට පුළුවනි. සංඝයා වහන්සේලාගේ වස් වීසීම පිළිබඳ ආරම්භක එක්තරා සීමාවක් පෙන්නුම් කරන පෝය දවසක් හැටියට ගත්තහම මේ ඇසළ පුර පසළොස්වක පෝය දවස ඉතා වැදගත් දවසක්. දැන් බුද්ධ ශාසනය කියල කියන එකට අතීතයේ පොත්පතේ සඳහන් වෙන වචනය “ධම්ම විනය” කියන එකයි. “ධර්ම විනය”, ශාස්තෘ ශාසනය හඳුන්වන්න “ධම්ම විනය” කියලා යොදනවා. මොකද, ධර්මයත් විනයත් දෙකම මේකට අදාළ නිසා. වස් කාලය ගැන සිතනකොට විශේෂයෙන්ම සංඝයා වහන්සේලාගේ විනය නීති සමූහයක් හා සම්බන්ධව තිබෙන නිසා මේ වස් කාලය විනය පැත්තෙන් බොහොම වැදගත් දවසක් හැටියට සලකනවා. නමුත් බුද්ධ කාලයේ, ඒ වගේම වස් කාලය ධර්මය පැත්තෙනුත්, ධර්මය කියන අංශයෙනුත් ඉතාම වටිනා දවසක් හැටියට සැලකූ බවයි අපට ඒ පුරාණ කථාන්තරවලින් පෙනෙන්නේ. මොකද බුද්ධකාලයේ චාරිත්‍රයක් තිබුණා, බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයේ, සංඝයා වහන්සේලා වස් කාලයට කලින් බුදු පියාණන් වහන්සේ හමුවෙන්න ගිහිල්ලා කම්මටහන් ලබාගෙන ඈත විවේක ප්‍රදේශයකට ගිහිල්ලා, සුදුසු තැනක වස් වසමින් ඒ කම්මස්ථානය අනුව භාවනා කරල වස් කාලය තුළ කෙසේ හෝ නිවන් දැකල බුදුපියාණන් වහන්සේ ළඟට ඒ සතුටුදායක ආරංචිය රැගෙන එන්න බොහෝම ඕනෑකමක් ඒ සංඝයා වහන්සේලා තුළ තිබුණා. ඒ අනුව බලනකොට, ඒ කාලයේ ඥානවන්ත සංඝයා වහන්සේලා, දූරදර්ශී සංඝයා වහන්සේලා, වස් කාලයක කළ යුතු උතුම්ම ඉහළම පින්කම් හැටියට - වස් පින්කම් හැටියට - සැළකූවේ නිවන් දැකීමයි. හැකිතාක් දුරට උත්සාහ කරල ඒ තුන් මාසය තුළ වීර්යය වඩලා එහෙම නිවන් දකින්නට බැරි වුනොත් ඒ සංඝයා වහන්සේලා තුළ යම් කිසි සංවේගයක් ඇතිවෙනවා. මොකද, නැවත වස් කාලයෙන් පස්සේ බුදුපියාණන් වහන්සේ හමුවෙන්න වැඩියහම බුදුපියාණන් වහන්සේ බොහෝ විට අසන ප්රශ්නය තමයි, ඉස්සෙල්ලා සුවදුක් විචාරලා, සාමාන්‍යයෙන් අර පිළිසඳර වශයෙන්, ඊළඟට අහනවා මහණෙනි, පැවිදි වීමේ පරමාර්ථය ඉෂ්ට කරගත්කද කියල. ඒකට හරියාකාරව පිළිතුරු දෙන්න බැරි වුනොත් ඒ සංඝයා වහන්සේලාට ඒක හිතට බොහොම මැලිකමක්. කොටින්ම කියනවා නම් ඒක බුදුපියාණන් වහන්සේ දකින්නට හිස් අතින් ගියා වගේ ගමනක් වෙනවා. අන්න ඒක නිසා සංඝයා වහන්සේලා බොහොම උත්සාහ කළා වස් කාලය තුළ නිවන් ප්රත්යක්ෂ කරගන්නට. එතකොට, ඒ කාරණා අපට පැහැදිලි වන කථාන්තරයක් තමයි අපි මේ මාතෘකා කළ ගාථාවට අදාළව තිබෙන්නෙ.
බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයක සංඝයා වහන්සේලා පිරිසක් ඈත පිටිසර ගමකට - පිටිසර කියල අපි වචනයෙන් කිව්වත් එතන කියවෙන්නේ දේශ සීමාවල පිහිටි ගමකට - ගියා වස් වසන්තට. පළමුවෙනි මාසය තුළ ඒ සංඝයා වහන්සේලාට හොඳට භාවනා කටයුතු කරගන්නට ලැබුණා. ඒ දායක පිරිසේ උපස්ථාන ආදිය හොඳට ලැබුණා. නමුත් දෙවැනි මාසයේදී ඒ ගමට කඩා වැදුණු හොරු පිරිසක් - හොරමුලක් - ඒ ගමේ මිනිසුන් සිරභාරයට අරගෙන ගියා. ඊට පස්සේ මේ ගමේ අය ආරක්ෂා සංවිධාන යොදන්නට පටන් ගත්තා. නැවතත් ඒ හොරමුල ඇවිල්ලා මේ විදියට පහර දෙයි කියලා බයේ ආරක්ෂා සංවිධාන යොදන්න පටන් ගත්තා. නොයෙකුත් විදියේ ප්‍රාකාර බැඳිමින්, කොටු තාප්ප බඳිමින්, ඒ වීදියට යම් යම් ආරක්ෂා සංවිධාන යෙදුවා. ඒක නිසා සංඝයා වහන්සේලාට ඉන් පීඩාවන් ඇති වුනා. ඒ නිසා කොහොම නමුත් මේ සංඝයා වහන්සේලාට ඒ බලාපොරොත්තු වුනු පරමාර්ථය ඉෂ්ට කරගන්න බැරිවුනා. මේ සංඝයා වහන්සේලා වස් කාලයෙන් පස්සේ බුදුපියාණන් වහන්සේ දකින්න වැඩම කරහම බුදුපියාණන් වහන්සේ ඇසුවා “කොහොමද මහණෙනි, වස් කාලය හොඳට සුවසේ වාසය කළාද” කියල. එතකොට මේ සංඝයා වහන්සේලා පැමිණිලි කරනවා “භාග්‍යවතුන් වහන්ස, අපි පළමුවෙනි මාසයේ නම් කරදරයක් නැතිව හොඳට සිටියා. ඊට පස්සේ හොරු කඩා වැදිලා ගමේ ඇතිවුනු තත්ත්වය නිසා ගම්වාසීන් - ඒ දායක පිරිස - ආරක්ෂා සංවිධාන යෙදීමට හිත යෙදුව නිසා අපට එයින් යම් යම් අඩු පාඩු සිද්ධ වුනා. හරියට වස් කාලයේ බණ භාවනා කරගන්න බැරිවුනා.” ඒකට ඒ නිදහසට කාරණා වශයෙන් ප්‍රකාශ කළා. බුදුපියාණන් වහන්සේ ඒ අවස්ථාවේ වදාළා, “මහණෙනි එහෙම තමයි, හොඳ පහසු විහරණය කියන එක හැමදාම ලැබෙන දෙයක් නොවෙයි. නිතර බලාපොරොත්තු විය යුතු දෙයක් නොවෙයි. ඒක සාමාන්‍ය ස්වභාවයක්. නමුත් නුඹලා විසින් කළයුත්තේ මොකක්ද? අර ඒ මනුෂ්‍යයින් නගරය ආරක්ෂා කළා වගේ තමා ආරක්ෂා කරගත යුතුයි. ඒ ගම ආරක්ෂා කර ගැනීමට ඒ මනුෂ්‍යයින් අප්‍රමාද වුනා වගේ, තමුත් තමන්ගේ ආරක්ෂාව සලසා ගතයුතුව තිබුණා කියලා එහෙම ප්‍රකාශ කරමින් අපි අර කලින් මාතෘකා කළ ඒ ගාථා ධර්මය විදාළා.
නගරං යථා පච්චන්තං
ගුත්තං සන්තරබාහිරං
එවං ගොපෙථ අත්තානං
ඛණො වෙ
මා උපච්චගා
ඛණාතීතා හි සොචන්ති
නිරයම්හි සමප්පිතා
මේකේ අදහස, දේශ සීමාවක පිහිටි යම්කිසි නගරයක, ඇතුළතින් පිටතින් - අභ්‍යන්තර බාහිර වශයෙන් - හොඳට ආරක්ෂා සංවිධාන යොදල තිබෙන්නෙ යම්සේද, ඒ කියන්නේ, හොඳට අභ්‍යන්තර බාහිර ආරක්ෂාව යෙදූ දේශ සීමාවක පිහිටි නගරයක් යම්සේද - අන්න ඒ අන්දමින්ම - “එවං ගොපෙථ අත්තානං” - ඒ වගේම තමාම තමාගේ ආරක්ෂාව සලසා ගත යුතුය. “එවං ගොපෙථ අත්තානං - ඛණො වෙ මා උපච්චගා” - එහෙම අප්‍රමාදව ඒ කටයුතු කළයුතු බව අඟවන පදයයි ඊළඟට කියවෙන්නේ - “ඛණො වෙ මා උපච්චගා” - ලැබූ මොහොත - නිසි මොහොත - ඉක්ම යා නොදෙවු. මොහොත ඉක්මෙන්න - අවස්ථාව ඉක්මෙන්න - අරින්න එපා. “ඛණො වෙ මා උපච්චගා” ඊළඟට එහෙම අවවාදය හරියාකාරව නොකිරීම නිසා ඇතිවන ආදීනව පිළිබඳවයි, ඊළඟ පද දෙකෙන් ප්‍රකාශ වෙන්නේ - “ඛණාතීතා හි සොචන්ති - නිරයම්හි සමප්පිතා” එහෙම මොහොත ඉක්ම යන්න දුන්නොත් එබඳු අයට වෙන්නෙ මොකක්ද? “ඛණාතීතා හි සොචන්ති” ඒ අයට අඬන්න සිද්ධ වෙනවා. වැළපෙන්න සිද්ධ වෙනවා, කණගාටුවෙන්න සිද්ධ වෙනවා, ශෝක කරන්න සිද්ධ වෙනවා. “නිරයම්හි සමප්පිතා” - මොකද නිරයෙහි වැටිලා - නිරයට වැටිලා දුක්වෙන්න සිද්ධවෙනවා. අන්න ඔය විදියට බුදුපියාණන් වහන්සේ උපදේශාත්මක, අවවාදාත්මක, යම්කිසි ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථාව අහල අර ස්වාමීන් වහන්සේලා රහත් වූ බවත් එතන කියවෙනවා. එතකොට දැන් මේ ගාථාව ආශ්රයෙන් අපි කල්පනා කරල බලනකොට මේක තුළ තිබෙන ගැඹුරු ධර්මය - සංඝයා වහන්සේලා බණට භාවනාවට සිත යොදාගෙන ඒ කටයුතු සඳහා යම්කිසි වෙහෙසක් දරනවා, ඒවායේ යම්කිසි අඩුපාඩුවක් සම්පූර්ණ කරන්නා වගේ බොහෝ අවස්ථාවල බුදුපියාණන් වහන්සේ මේ විදියට මේ ගාථා ධර්මයත් දේශනා කරන්නේ. ඒක නිසා අපට හිතාගන්න පුළුවන් ඒ සංඝයා වහන්සේලාගේ ඒ කටයුතු වල අවසානයට උපකාර වෙනවා, කර්මස්ථාන සම්පූර්ණ කර ගැනීමට, බුදුපියාණන් වහන්සේගේ ධර්ම පාඨයක්, ගාථාවක්, පවා. ඒක නිසා වෙන්න පුළුවන්, සමහර විට සංඝයා වහන්සේලා ඒ ගාථාව අහලම රහත් වුනා කියල සඳහන් වෙන්නේ. කෙසේ හෝ වේවා, මේ ගාථා ධර්මයෙහි තිබෙන ගැඹුර අපේ ප්‍රමාණයෙන් අපි කල්පනා කරලා බලමු. දැන් මේ උපමාව බොහොම හොඳයි. අපි මේ අවස්ථාවල උපමාවක් ඔසසේ යන්නේ මොකද මේ ධර්මකාරණය හිත ඇතුළට බහින්න උපකාර වෙන නිසා උපමාව. ‘නගරං යථා පච්චන්තං - ගුත්තං සන්තරබාහිරං’ - මේ උපමාව මේ කාලයටත් බොහොම ගැලපෙනවා කියල හිතාගන්න පුළුවන්. එතකොට, දේශ සීමාවක පිහිටි යම්කිසි නගරයක්, මේක ඇතුළතින් පිටතින් ආරක්ෂා කිරීමක් ගැන මෙතන කියවෙනවා. ඒ වගේම සංඝයා වහන්සේලාට කියනවා ‘එවං ගොපෙථ අත්තානං’ මේ විදියට ආත්මාරක්ෂාව යොදාගන්න කියලා. දැන් මේ කාලයෙත් යොදන වචනයක් නේ ආත්මාරක්ෂාව කියන එක. නමුත් මේ කාලේ නම් ආත්මාරක්ෂාව කියලා කියන කොට කායාරක්ෂාවයි ගැනෙන්නේ. කය රැක ගැනීම. කායාරක්ෂක හැටියෙන් යොදල කය රැක ගැනීම. හිත නම් සමහර විට - ඒක යකාට මාරයාට බාර දුන්නත් වරදක් නැහැ කියන සංකල්පය ලෝකයේ පවතින්නේ. නමුත් බුදුපියාණන් වහන්සේ මෙතන ආත්මාරක්ෂාව කියලා ප්‍රකාශ කළේ හිත රැක ගැනීමයි. මොකද මේ සංසාරයේ අපි ගෙනියන්නේ මේ හිත - විත්ත සන්තානයයි. මේ ශරීරය, මේ ශරීර කූඩුව නම් අතහැරලා යනවා. ඒක නිසා වැඩි තැන දුන්නේ බුදුපියාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ සිත රැක ගැනීමටයි. මෙතනත් අදහස වශයෙන් ගන්න තියෙන්නෙ අර කය රැක ගැනීමම නොවේ. හිත රැක ගැනීම. හිත රැක ගැනීම සඳහා යම්කිසි ප්‍රමාණයකින් කය පිළිබඳව උතන්දුවක් ඇති වෙන්න ඕන. නමුත් බොහෝ දෙනා කරන්නේ හිතට කුමක් හෝ වේවා ඒක ගැන තැකීමක් නැතිව කය රැක ගැනීම. එතකොට මෙතන මේ ගැඹුරු අර්ථය අපි ගත්තනම් තමන්ගේ සිත රැක ගැනීම කියලා, ඊළඟට මෙන්න මේ ආරක්ෂා සංවිධානය ගැතත් අපි හිතලා බලමු - ආරක්ෂාව ගැන මෙතන කියවෙන දේ ගැන.
ධර්මානුකුලව කල්පනා කරලා බලනවා නම් හිතට ඉන්න ආරක්ෂක භටයා කවුද? සතිය, සිහිය. ධර්මානුකුලව ‘සති ආරක්ඛසාරථී’ කියලා එහෙම දක්වලා තිබෙනවා. සිත හික්මවීම, සිත ආරක්ෂා කර ගැනීමේ කටයුත්ත, ඒ කාර්ය භාරය, උසුලන්නේ සති කියන මුර භටයයි. එතකොට මේ සිහිය කියන මුර හටය, හොඳට නිල ඇඳුම් දාගත්තහම අපට තවත් මේක පුළුල් අන්දමින් තේරුම් ගන්න පුළුවන් සති සම්පජඤ්ඤය කියලා. සම්පජඤ්ඤය කියන එකට අපි සමහර අවස්ථාවලදී, මේක සිංහල වචනයක් කරගන්න ඕන නිසා ‘දැනුවත් බව’ කියල ප්‍රකාශ කළා. එහෙම නැත්නම්, මනා දැනුම් ඇතිව, සිහි ඇතිව සිටීම. සිහියත් එක්කම යන මනා දැනුම. ඉතින් මෙතන මේ දැනුවත් බවක් ඇති සිහියයි, මෙතන මේ ප්‍රකාශ කෙරෙන්නේ. එතකොට ලෝකයේ ඔය ආරක්ෂක භටයින් යොදන කොට, දැන් නගරයක වගේ තැනක ඇතුළතත්, පිටතත් ආරක්ෂාව ගැන ප්‍රකාශ කරනවා. නගරයක සාමාන්‍යයෙන් ඇතුළත දොරටුව, ඇතුල්වන දොරටුව, ඊළඟට ඒ කොටු තාප්ප ආදිය, ප්‍රාකාර ආදිය, ඊළඟට පිටත බලනවා නම්, අට්ටාල, මුර ගෙවල්, තව දිය අගල් ආදි ඔය අතීතයේ නගරවල් ආරක්ෂා කරගන්න නොයෙකුත් විධිවිධාන - ආරක්ෂා විධිවිධාන - යොදලා තිබුනා. මේ කාලයේ උනත් දැන් අර මුර හටයෙක් සාමාන්‍යයෙන් නවත්වන්නේ දොරටුවක් ළඟ. දොරටුවක් ළඟ නවත්වන කොට ඒ දොරටුව බොහොම පටු දොරටුවක් වෙන්න ඕන. ලොකු දොරටුවක් නම් අර එන පිරිසට කඩා වදින්න පුළුවන්. එතකොට මේ සිහිය කියන එකත් අපි ධර්මානුකුලව කල්පනා කරලා බලනවා නම් - සතිය කියන එක - සතිය කියන කොට ඒ ‘සති’ කියන වචනයේ මතකය කියන අදහසත් තිබෙනවා. නමුත් ධර්මානුකුලව සම්මා සතිය ගැන කියන කොට මේක නිතරම එළඹ සිටි සිහිය. මේක වර්තමානයට අදාළ දෙයක්. මොකද අතීතයට දුවන්න පටන් ගත්තොත්, අනාගතයට පනින්න පටන් ගත්තොත්, එතන අර දොරටුව පළල් වෙනවා. එතකොට අපිට රැකින්න තියෙන දොරටුව මොකක්ද? ධර්මානුකුලව බලන කොට මේ ඉන්ද්රිය දොරටු හයයි. ඇස, කණ, නාසය, දිව, කය, සිත. සිතත් ඇතුළත්ව මෙන්න මේ ඉන්ද්රිය හය, ඉන්ද්රිය දොරටු හය. බාහිර ඉන්ද්රිය පහ තමයි ඇස, කණ, නාසය, දිව, කය කියන ඒවා. ඊළඟට සිත. මනින්‍ද්‍රිය. මෙන්න මේ ඉන්ද්රිය දොරටු හයයි රැක ගන්න තිබෙන්නෙ. මේ දොරටු හය රැක ගැනීමේදී මේ දොරටු හයට හැම තිස්සෙම කඩා වදින්න බලාගෙන ඉන්නවා, මාර සේනාව, කෙලෙස් සේනාව. සතුරු සේනාව. කඩා වදින්න බලාගෙන සිටින ඒ සේනාව තමා අරමුණු. ඇසට නම් රූප අරමුණු. කණට නම් ශබ්ද අරමුණු, නාසයට නම් ගඳ සුවඳ. ඔය විදියට මේ සිත කලඹන, සිත ඇළීම් වලට ඇඳීම් වලට, මෝහයට, මුළාවට, පත් කරන සතුරු සේනා කඩා වදින්න බලාගෙන ඉන්නවා. බොහොම ශීඝ්‍රයෙන් ඒවගේම එන්නේ. එබඳු අවස්ථාවක දැන් විශාල පිරිසක් එතකොට ඒ දොරටුව ළඟට, ඉස්සෙල්ලාම ඒ අයට දන්නනවා ‘එන්න ඕන පෝලිමේ’. පෝලිමේ එන්න ඕන. එක්කෙනා පස්සේ එක්කෙනා. එහෙම නැතිව රැකගන්නට බැහැ මේක. අන්න ඒ විදියට මේක පටු දොරටුවක් කරහම එක තමයි පහසුව වර්තමානයේ සිත රඳවා ගන්නට. වර්තමානයේ සිත රඳවා ගැනීම තුළින් අතීතයට දුවන්නේ නැතිව, අනාගතයට පනින්නේ නැතිව, එහෙම ඒ එන එන හැම එකකටම සිහිය යොමු කිරීමයි මෙතන ප්‍රකාශ කෙරෙන්නේ. එතකොට ඒ සිහියත් එක්කම ඊළඟට ඒ සිහිය තුළින් කරන්නේ මොකක්ද? යම්කිසි ක්‍රියාත්මක සීමාවක් අවශ්‍ය වෙනවා. අර දැනුවත් බව උපකාරී කරගෙන මෙනෙහි කිරීමක් කරනවා. එක්තරා මනසිකාරයක්, මෙනෙහි කිරීමක්. මෙනෙහි කිරීමක් යොදනවා.
අපි හිතමු දැන් ඔය ආරක්ෂක හටයෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාට අයිති කාර්ය නිදා ගැනීම නොවෙයි. හොඳට අවදිමත්ව ඉඳගෙන, එන එන පුද්ගලයා පිළිබදව යම්කිසි විමසුම් ඇසක් යොමු කරනවා. ඒක ඒ තැනැත්තාගේ දක්ෂතාව අනුවයි. බොහොම ශීඝ්‍රයෙන් ඒක කරන්නට සිද්ධ වෙනවා. එහෙම එක්කෙනෙකුත් ගොඩක් වෙලා රදවා ගෙන ඉන්නත් බැහැ එතන. එනවා. ඊළඟට විමසුම් ඇසට හාජනය කරලා එයාව ඇතුල් කරගත යුතු කෙනා නම් ඇතුල් කරගන්නවා. එහෙම නැත්නම් පිට කරන්නට ඕන කෙනා නම් පිට කරනවා. ඔය දෙකයි තියෙන්නෙ. එතකොට මෙතනදී උවමනා කරන්නේ ඒ දක්ෂතාවයි, ඒ මෙනෙහි කිරීම මෙතන දීර්ඝ වශයෙන් කරන්නට බැහැ. දැන් මේ කාලයේ නම් පින්වතුන් හොඳට දන්නවා ඒ විදියේ තැන්වලදී හැඳුනුම්පතක් කියලා එකක් කියනවා. එතකොට, ඒ හැඳුනුම්පත විදියට නැතත්, අතීතයෙත් යම් යම් ආකාරයෙන් කෙතෙක් ආවාම හඳුනාගන්න ක්‍රම තිබෙන්නට ඇති. ඒ හැඳුනුම්පතක නමක් තිබෙනවා. රූපයක් තිබෙනවා. එතකොට මේ නමින් තමයි මේ තැනැත්තා හඳුන්වන්නේ. මේ හැඳිනීමට අනුකූල වුනු යම්කිසි රූපයකුත් අරගෙනයි මේ තැනැත්තා එන්නේ. නමුත් බොහෝවිට කෙරෙන්නේ මොකක්ද? ඒ හතුරු හමුදාවල් එනවා නම්, ඔත්තුකාරයින් එනවා නම්, වෙස් වළාගෙනයි එන්නේ. නියම ආකාරයෙන් නොවෙයි. එතකොට ඒ අය හඳුනගන්නට ඕන. ඉතාමත් දක්ෂ මුර හටයෙක් නම්, ඒ අය අර අනම් මනම් කථාවලට යන්නට නොදී අර හැඳුනුම්පත ඉදිරිපත් කරලා, තමන්ට ඇතුළ් වෙන්නට සුදුසුකම ඔප්පු කරන්නට කියන්නට ඕන. අන්න ඒ විදියට, අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම්, මේ එන අරමුණු - මේ සතුරු සේනා - අර විදියේ හඳුනා ගැනීමේ පොදු ක්‍රමයක් තිබෙනවා. ඒකට කියනවා ‘නාම-රූප’ කියලා. නාම රූප වශයෙනුයි මෙනෙහි කරලා හඳුනා ගන්නේ. දැන් අපි හිතමු රූපයක් එනවා ඉදිරියට. මොකක් හරි රූපයක් එනවා. මේ විදර්ශනා භාවනායෝගියාට සිද්ධ වෙන දෙයක්. එතකොට මේ එන රූපය වෙස්වළාගෙනයි එන්නේ. වර්ණ සංතාන කියලා කියන්නේ. ඒවායේ පාට, නොයෙකුත් විදියේ පාට. ඊළඟට තව නොයෙකුත් සටහන්. මිට නිසා සිත විශේෂ වෙන්න ඉඩ කියනවා. ඒවට සිත යොමු කරන්නේ නැතිව - ‘මේක රූපයක්’. එතකොට අර භාවනා යෝගියා මේ කොයි විදියේ රූපයක් ආවත් ඒක ‘රූපයක් රූපයක්’ කියලා මෙනෙහි කරනවා. ඊට වඩා ඇතට යන්නේ නැහැ. මොකද ඒකට හේතුව බුදුපියාණන් වහන්සේ දක්වා තිබෙන්නෙ ඊට වඩා ඇතට යන්ට සිටියොත් ඒ සිත නවත්වා ගන්න බැරි වෙනවා. කෙලෙස් වලට ඇදිලා යනවා. ඒවට කියන්නේ නිමිති. නිමිති අනුව්‍යඤ්ජන ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ නිමිත්තක්, නිමිති අනුව ගන්නා වූ අනිකුත් ලක්ෂණත්. ඒ තැනැත්තා ඒ දකින රූපයේ - යම්කිසි කෙනෙකු හෝ යම්කිසි දෙයක් හෝ දැක්කහම - ඒක පිළිබඳව තව නොයෙකුත් සිතිවිලි - කෙලෙස් සිතිවිලි - රාශියක් කඩා වදින්න පුළුවන් නිසා ඒක කෙටියෙන් මෙනෙහි කරනවා ‘රූපයක්’ කියලා.
ඒ වගේම ඒකට අදාළව මෙතන තිබෙන්නෙ, කොටින්ම සලකා ගන්න තිබෙන්නෙ, ලකුණු තුනයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලකුණු තුනයි. ඒ ලකුණු තුන දාලා තමයි මේ හැම එකක්ම පාස් කරන්නේ. එතකොට ඒ ලකුණු තුන දාන්ට උපකාර වෙන්නේ - මේක හඳුනා ගන්නට මෙතන තිබෙන්නෙ වෙන දෙයක් නොවෙයි. දැන් නාම ධර්ම කියන එක, ඒ ධර්මානුකුලව පෙන්නුම් කරන්නේ වේදනා සඤ්ඤා චේතනා, ස්පර්ශ මනසිකාර. දැන් මේක ධර්මයට සමාන්තර කරලයි දක්වන්න උත්සාහ කරන්නේ. නාම ධර්ම කියන ඒවා සාමාන්‍යයෙන් හිත හා සම්බන්ධ දේවල්. ඉතින් මෙතන හිතට සම්බන්ධ දේවල් තමයි වේදනාවල්. කෙනෙක් යම්කිසි දෙයක් හඳුනාගන්නේ, දැන් කුඩා දරුවෙක් උනත් බොහෝ විට බහ තෝරන්න දන්නෙ නැති කෙනෙක් නම් මේවා හඳුනාගන්නේ - අන්න ඔය විදියේ දේවල් වලින්. යම්කිසි විඳින එකක්. එහෙම නැත්නම් තමන්ට දුන්න දෙයක් පිළිබදව විඳින එක, ඒකේ ඇති වේදනාව ආශ්රයෙන්. එහෙම නැත්නම් ඒක තුළින් යම්කිසි සංඥාවක්. ඊළඟට ඒවා පිළිබදව ඇති වන සිතිවිල්ලක්, ඒවායේ ස්පර්ශය. ඒවා පිළිබදව අපි මෙනෙහි කරන ආකාරය. අන්න ඔය විදියට මේවා ගැඹුරු වශයෙන් බලනකොට විදර්ශනාවට උපකාර වෙන ඒ නාම ධර්ම ටික. ඊළඟට රූප ධර්ම හැටියට ගන්න කොටත් අර කලින් කියාපු ඒ වර්ණ සංතාන - වර්ණ සටහන් - ආදිය ගැන නොවෙයි සිතන්නේ. මේ හැම එකක්ම, ලෝකයේ තිබෙන තාක් දේවල්, අපේ ශරීරයත්, බාහිර දේවලුත් හැදිලා තිබෙන මූල ධාතු මොනවාද? පඨවි. ආපෝ, තේජෝ, වායෝ. මේ මහ පොළොවත්, අපේ ශරීරයත් හැදිලා තිබෙන්නෙ අර පඨවි කියලා කියන තද ගතිය ඇති යම්කිසි දෙයක්. ඊළඟට ආපෝ, ගලන ස්වභාවය ඇති ජලය - ජලයෙන් පෙන්නුම් කරන එක. ඊළඟට තේජෝ කියලා කියන ගින්න. ඊළඟට වායෝ කියලා කියන හුළඟ. ඔය හතරට අදාල දේවල්වලින් තමා අපේ ශරීරත්, බාහිර දේවලුත් හැදිලා තිබෙන්නෙ. ඔන්න ඕක නිසා ධර්මානුකුලව කල්පනා කරලා බලනකොට, අර ‘සති’ කියන මුරකරුවාට මනසිකාරය ඔස්සේ තේරුම් ගන්න තිබෙන්නෙ අන්න ඔය විදියට. තව නොයෙකුත්, ඉදිරියට එන රූපයේ තිබෙන බාහිර නිමිති ඔස්සේ හිත දුවවන්නේ නැහැ. එතකොට අර කෙලෙස් ගලාගෙන එන නිසා. ඒ විදියට නාම රූප කියලා අපි ගත්තොත්, දැන් මේක තමයි හැඳුනුම්පත. මේ හැඳුනුම්පත බලලයි අපි මේවා පාස් කරන්නේ. අන්න දැන් අරමුණක් ආවා. ඒක නවත්තගන්නේ නැහැ. ඒක ගියා. ආවා ගියා, ආවා ගියා. ඒක තුළින් අපි අනිත්‍යතාව, මේවායේ හැම එකකම ඇති අනිත්‍ය ස්වභාවය, එන යන ස්වභාවය, වටහා ගන්නවා. ඔය විදියට තමයි ඉතින්, ඇස. කන්, නාසාදිය. දැන් ශබ්දයක් - අපි වචනයක් නවත්වන කොට ඒක එක්කම කනට යම්කිසි ස්පර්ශයක් එනවා. දැන් ඔය රබානක, බෙරයක, වාගේ දේක නම් යමක් වැදුනට පස්සේ හුහක් වෙලා දෝංකාරයකුත් කියනවා. රබානකට වගේ දෙයකට ගහනකොට ඉබේටම දෝංකාරයක් එනවා. ඒ වගේම වචනය තුළින් හිතේ ඇතිවන සිතුවිලි, ඒවා පිළිබදවත් යම්කිසි දෝංකාරයක් එනවා. ඒක නිසා තමයි නැවත මතක් කරගන්න පුළුවන් වෙන්නේ. මතක් වෙන්නේ. ඔය විදියට ඉතින් කණ පිළිබදව. ඔය එක එකක් ගැන හිතාගන්න පුළුවන්. දිව පිළිබදව ඉතාමත් පහසුවෙන් හිතා ගන්න පුළුවන් කුඩා දරුවෙකුට පවා. ඉතින් ඔය හැම එකකම මේ අරමුණු ගලාගෙන එනවා. ඉතාම ශීඝ්‍රයෙන් එන්නේ. දැන් භාවනායෝගියා නම් ඒවා ඔස්සේ ඇදිලා ඇඳීම් වලට හේතු නොවන ආකාරයට, ඇඳීම්වලට හේතු නොවන ආකාරයට, එතන ඔය විදියේ මධ්‍යස්ථ ප්‍රමාණයකින් හඳුනා ගන්නවා. හඳුනා ගැනීම තුළ, අර මෙනෙහි කිරීම තුළ, ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. එතකොට නිවන් දැකීමට නම් සතියයි, ප්රඥාවයි කියන දෙක දියුණු කරගන්න ඕන. මේ ප්‍රඥාව කියන එක අන්න ඔය මෙනෙහි කිරීම තුළින් ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අර සිහිය යොදලා මේක හඳුනා ගැනීමක් කරනවා. ඉතාම ශීඝ්‍රයෙන් කරන්ට ඕන. මොකද ඒකට හේතුව, බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ ලෝකයේ අපේ ඉන්ද්‍රියයන්ට ගලාගෙන එන අරමුණු ඉතා ශීඝ්‍රයෙන් එන්නේ. එක් අවස්ථාවක අජිත කියන බ්‍රාහ්මණ තරුණයාට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා,
යානි සෝතානි ලෝකස්මිං
සති තේසං නිවාරණං
සෝතානං සංවරං බ්රූමි
පඤ්ඤායෙතේ පිධීයරේ
කියලා. යම් තාක් ලෝකයේ ගලාගෙන එන දිය පහරවල් තිබේද අන්න ඒ දිය පහරවල් වලට සතිය තමයි - මේ සති කියලා කියන සිහිය තමයි - මේවා වළක්වන මාර්ගය. වැළැක්වීම - ‘සති තේසං නිවාරණං’, ‘සෝතානං සංවරං බ්රූමි’ මේ ගලාගෙන එන දිය පාරවල් වැළැක්වීමේ ක්‍රමයයි මම මේ ප්‍රකාශ කළේ. ‘පඤ්ඤායෙතේ පිධීයරේ’ නමුත් ඇත්ත වශයෙන් මේ ඔක්කොම වසන්ට පුළුවන් වෙන්නේ, දිය පහරවල් සම්පූර්ණයෙන් වසා දමන්ට පුළුවන් වෙන්නේ, ප්‍රඥාවෙන්. එතකොට මේ කියන සතියෙන් - අර දැන් යම්කිසි වේගයකින් ගලාගෙන එන ගඟක ඉස්සෙල්ලාම එකපාරටම වේල්ලක් බඳින්ට බැහැ. ගලාගෙන එන වතුර ටිකක් වළක්වා ගන්න යම්කිසි උපක්‍රමයක් යොදන්න සිද්ධ වෙනවා. දැන් අර කඩා වදින පිරිසත්, අර ආරක්ෂක හටයා ඔහොම පොඩිඩක් ඉන්න කියලා නවත්ත ගත්තවා වගේ. ඊළඟට පරීක්ෂණයට හාජනය කරනවා. පරීක්ෂණයට හාජනය කිරීම තුළින් අර තැනැත්තාගේ යථා තත්ත්වය වටහා ගන්නවා. කෙලෙස් අරමුණක් නම් එහෙම පිටින්ම එක තල්ලු කරලා දානවා. අන්න ඔය විදියට දැන් වතුරක් උනත්, වේල්ල බැන්දට පස්සේ තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. ප්‍රඥාව තමයි වේල්ල. ප්‍රඥාව, ගැඹුරු අවබෝධය, ධර්මාවබෝධය. මේක පිළිබඳ යථා තත්ත්වය.
එතකොට මෙතන මේ තියෙන්නෙ භාවනාවට අදාළ වන කාරණයක්. ඒක ඇසුරින් තේරුම් ගැනීමෙන් තමයි සංඝයා වහන්සේලා රහත් වෙන්න ඇත්තේ. ඉතින් මෙතන මේ කියන්නේ සිත ආරක්ෂා කරගැනීම, සිත තමයි නගරය. මේකට දොරටු හයක් කියනවා. මේ දොරටු හයෙන් සිත කියලා කියන්නේ සිතට එන සිතුවිලි. ඒ ඇරුනහම අනිකුත් බාහිර අරමුණු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. අන්න මේවා ගලාගෙන එන අවස්ථාවේදී අර සිහිය යොදවලා, සිහිය සහිත දැනුවත් බව යොදවලා, එක එකක් පාසා මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කිරීමත් ඉතාමත්ම ශීඝ්‍රයෙන් කරන්ට වෙනවා. දිගට කිය කියා ඉන්නවත් නොවෙයි. එක රූපයක්, නම් රූපයක්, රූපයක්. ශබ්දයක් නම් සද්දයක්, සද්දයක්, කියලා දෙවරක්. ‘රූපයක් රූපයක්’, ‘සද්දයක් සද්දයක්’ ඒ විදියට ‘ගඳක් ගඳක්’, ‘රසක් රසක්’ හිතට දෙනවා ඒ හැඳින්වීම. හඳුන්වා දීම තුළින් ඒක අවබෝධ කරලා එතැනින් කෙළවර කරනවා. අන්න ඔය විදියේ හික්මීමක් තමයි ඒ භාවනාවේදී, විදර්ශනා භාවනාවේදී, කෙනෙක් යොදාගන්නේ. මේ අදහසයි එතකොට මෙතන මේ ගාථාවෙන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ. කොටින්ම නිවන පිළිබදවයි මෙතන ප්‍රකාශ කෙරෙන්නේ. නිවනට උපකාර වෙන ධර්ම. ඒක නිසා තමයි ඊළඟට ‘ඛණො වෙ මා උපච්චගා’, මේ නිවන් දැකීමට ඇති අවස්ථාව - මේක ‘ඉක්ම යා නොදෙවු’ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ක්ෂණය කියන එක - ක්ෂණ සම්පත්තිය කියන එක මේ ධර්මයේ දක්වලා තිබෙන්නෙ - බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නෙ, බුද්ධෝත්පාද කාලයක ලබන මනුෂ්‍යාත්මභාවය - ඒ මුළු ජීවිතයම - එක ක්ෂණයක් හැටියටයි සලකන්න ඕන කියලා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි, මේ ලෝකයා නිතරම ‘ඛණකිච්චෝ ලෝකො - ඛණකිච්චෝ ලෝකො’ කියල ලෝකයා කියනවයි කිව්වේ. මේ ලෝකය කියන එක වෙලාවට වැඩ කරන තැනක්. ක්ෂණයට වැඩ කරන තැනක් කියන කතාව කියනවයි. නමුත් නියම මොහොත මොකක්ද? අනිසි මොහොත මොකක්ද? කියන එක ලෝකයා දන්නෙ නැක, කියලා ඊළඟට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ දැන් ඔන්න මහණෙනි බුදුකෙනෙක් ලෝකයේ ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. නමුත් යම්කිසි පුද්ගලයෙක් නිරයේ ඉපදිලා ඉන්නවා. එතකොට ඉතින් අර බුදු කෙනෙක් උපන්නට තමන්ට නිවන් දකින්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක අන්න අර කියාපු අනිසි මොහොත. ඒ කියන්නේ වෙලාව වරදින්න පුළුවන් අවස්ථාවල් අටක් බුදුපියාණන් වහන්සේ දක්වනවා - මොහොත නොවන අවස්ථාවල්. අටකින් පෙන්නුම් කරලා, ඒ අටෙන් මිදුන කෙනෙක් බුද්ධෝත්පාද කාලයක නියම මොහොත ලබා ගන්නවා කියලා. එතකොට පළමුවෙන් කිව්වේ බුදුකෙනෙක් ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. නමුත් මේ අවාසනාවන්ත පුද්ගලයා නිරේ ඉපදිලා ඉන්නවා. එතකොට බෑ මේ ධර්මයෙන් වැඩක් ගන්න. දුක් කෙළවර කර ගන්න. ඒ පළමුවෙනි එක. ඊළඟට ප්‍රකාශ කරනවා - ඒකත් ඒ වගේමයි. බුදුකෙනෙක් ඉපදිලා ධර්මයත් දේශනා කරනවා. නමුත් ඒ තැනැත්තා ප්‍රේත ලෝකයේ ඉපදිලා ඉන්නවා. ඊළඟට තවත් තුන්වෙනුව දක්වනව. බුදුකෙනෙක් ඉපදිලා ධර්මයත් දේශනා කරනවා. මේ තැනැත්තා තිරිසනෙක්. තිරිසන් ලෝකයේ. එබඳු අවස්ථාවකත් බැහැ මේ අනුව නිර්වාණ මාර්ගයේ ගමන් කරලා සසර දුකින් මිදෙන්ට. ඊළඟට ඒවගේම බුදුකෙනෙක් ඉපදිලා ධර්මයත් දේශනා කරනවා. යම්කිසි කෙනෙක් බොහොම දීර්ඝායුෂ්ක දේව නිකායක - දිව්‍ය ලෝකයක ඉපදිලා ඉන්නවා. ඒ දෙව්ලොව සැප සම්පත් ආදියට යෙදිල ඉන්න අවස්ථාවක ශාසන බ්‍රහ්ම චරියාව රැකලා මේ ත්රිලක්ෂණය - අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්රිලක්ෂණය වඩලා සසර දුක් කෙළවර කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක අපහසුයි. ඒවායේ සැප සම්පත් ආදී නොයෙකුත් හේතුන් නිසා. මනුෂ්‍ය ලෝකය තමයි නිවන් දැකීමට හොඳම තැන. ඊළඟට තවත් සමහර විට බුදුකෙනෙක් ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. නමුත් යම්කිසි පුද්ගලයෙක් ඉපදිලා ඉන්නවා ඈත ප්‍රදේශයක. සාමාන්‍යයෙන් බුදුවරු උපදින්නේ දඹදිව මධ්‍යම ප්රදේශයයි කියලයි කියන්නේ. එතකොට ඒ මධ්‍ය ප්‍රදේශයේ උපන් කෙනා තමයි වාසනාවන්ත උත්පත්තිය ලැබුවේ. ඒ කියන්නේ ධර්මය අසන්ත වගේම ධර්මය අනුව හැසිරෙන්නත් පුළුවන් විදියේ තත්ත්වයක් බුද්ධ කාලයේ ඒ ප්‍රදේශයේ තියෙනවා. ඉතින් එබඳු කාලයක යම්කිසි කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් ඉතාමත් ඈත, ඒ ධර්මය අසත්තටවත් නොලැබෙන, ඒ වගේම භික්ෂු භික්ෂුණි. උපාසක උපාසිකා කියන සිවුවනස් පිරිස නොයන විදියේ ප්‍රදේශයක ඉන්නවා නම්, එබඳු කෙනෙකුටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත බැහැ. අන්න එතකොට ඒ අවස්ථාවත් නියම අවස්ථාවක් නොවෙයි. ඒකත් අවාසනාවන්ත වෙලාවක්. ඊළඟට, තවත් සමහරවිට බුදුකෙනෙක් ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. යම්කිසි පුද්ගලයෙක් මධ්‍යම ප්‍රදේශයේම, ඒ ප්රදේශයෙමත් වාසය කරනවා. නමුත් ඒ තැනැත්තා තදින්ම මිථ්‍යාදෘෂ්ටිකයි. දැඩි මිථ්යාදෘෂ්ටියකින් අන්ධ වෙලයි ඉන්නේ. එබඳු තැනැත්තාට ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත බැහැ. එබඳු අවස්ථාව අන්න අවාසනාවන්ත අවස්ථාවක්. ඊළඟට දක්වනවා බුදුකෙනෙක් ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. මේ තැනැත්තාට යමක් කියලා තේරුම් කරන්න බැහැ. ප්‍රඥාව නැහැ. ඒ කියන්නේ නුවණ මෝරපු නැති කෙනා. එහෙම කෙනාට ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට බැහැ. ඔය විදියට ඒ අවස්ථාවත් අවාසනාවන්ත අවස්ථාවක්. ඊළඟට අන්තිමට කියන අවස්ථාවේ යම්කිසි කෙනෙක් ඉන්නවා හොඳට ප්‍රඥාවන්තයි. දඹදිව මධ්‍යම ප්‍රදේශයේ ඉපදිලා තිබෙන්නෙ. ඒ අනිත් ඔක්කොම සම්පූර්ණයි. නමුත් බුදුකෙනෙක් ඉපදිලා නැහැ. ධර්මය දේශනා කරන්නේ නැහැ. ඔය අටවෙනි අවස්ථාව.
ඔන්න ඔය විදියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නිසි මොහොත නොවන අවස්ථා අටක් තියනවා. ඔය අවස්ථා අටෙන් බේරිලා බුද්ධෝත්පාද කාලයක ධර්මය අසන්නට පුළුවන්, ධර්මය අනුව හැසිරෙන්නට පුළුවන්, හරි ප්‍රදේශයක උත්පත්තියක් ලබනවා නම් යම්කිසි කෙනෙක් ඉන්ද්රිය විකල භාවයක් නැතිව, ප්‍රඥාව ඇතිව, අන්න ඒක ඉතාමත් දුර්ලභ මොහොතක්, ක්ෂණයක්, හැටියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට තම තමන් ගැන හිතන්ට තිබෙන්නෙ අන්න ඒ විදියේ උතුම් අවස්ථාවක් ලබාගත්තු හැටියටයි. ඒ ක්ෂණ සම්පත්තියයි මේ අපතේ දාන්ත එපා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ ක්ෂණය අත හැරුනොත්, ඒ වෙලාව අත හැරුනොත්, බුදුපියාණන් වහන්සේ උපමාවක් දක්වනවා, හරියට යම්කිසි වෙළෙන්දෙකුට ලාභයට බඩුවක් ගන්න පුළුවන් අවස්ථාව ආවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතිව අන්තිමට පසුතැවෙනවා. අන්න ඒ වගේ පසුතැවෙන්ට වෙනවා, අර ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අවදියක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක, මේ අති දීර්ඝ සංසාරයේ එබඳු අවස්ථාවකුත් ලබාගෙන, ඉත් ප්‍රයෝජන ගන්නේ නැහැ. ප්‍රයෝජනය කියලා කියන්නේ මොකක්ද? නිවන් දැකීමයි. සසර දුක් කෙළවර කර ගැනීමයි. යටත් පිරිසෙයින් අර කියාපු හැටියට අපායෙන් මිදීමට උපකාර වන ඒ සෝවාන් මාර්ග ලාභයෙන් ලෝකෝත්තර තත්ත්වයක් ලබා ගැනීමයි. ඔන්න ඔය විදියට අපට මේ ගාථාව තේරුම් ගන්න වෙන්නේ.
ඒ නිසා තමයි ‘ඛණාතීතා හි සොචන්ති, නිරයම්හි සමප්පිතා’ - කියාපු උතුම් මොහොත අතහැරි ගියොත් ඒ තැනැත්තාට වෙන්නේ නිරයෙහි වැටිලා දුක් විදින්නයි. ශෝක වෙන්නයි. ඇත්ත වශයෙන්ම අපි අර කලින් කියාපු ආකාරයට කය රැක ගන්න කොතෙකුත් උත්සාහ යොදනවා මේ කාලයේ, නමුත් සිත රැක ගැනීම ගැන උනන්දු නොවන නිසා මේ කෙටි ජීවිත කාලය, අර විදියට නොයෙකුත් ආරක්ෂා සංවිධාන යොදලා, සමහරවිට ඒ ආරක්ෂකයින් තිසාම මරුමුවට පත්වෙලා, අන්තිමට ගිහින් උපදින්නේ කොහෙද? ප්‍රේත ලෝක වල, යක්ෂ ලෝකවල, නරක තැන්වල, එහෙම නැත්නම් නිරයේ. එබඳු තැන්වල උපදින කථාන්තර නොයෙකුත් ආකාරයෙන් අපට අසන්නට ලැබෙනවා. අන්න එබඳු ඒ ඉතාමත් අවාසනාවන්ත යුගයකයි අපි ජීවත් වෙන්නේ. නමුත් නුවණින් කල්පනා කරන පින්වතුන් හැම තිස්සෙම හිතන්න ඕන බුදුපියාණන් වහන්සේගේ අවවාදය අනුව, මෙතන මේ ආත්මාරක්ෂාව කිව්වේ හිත රැක ගැනීමයි. හිත රැක ගැනීම කියල කියන්නේ අන්න අර හිතට එන දොරටු - හිත හා සම්බන්ධ දොරටු හය - සතියෙන්, ඒ සති කියන ධර්මය යොදලා තම තමන්ගේ භාවනාවට අදාළ අන්දමින් මුරකරුවාට අයිති වැඩේ පවරන එකයි. සතිය එක්ක යන සම්පජඤ්ඤය කියන දැනුවත් බව පිළිබඳව ධර්මයෙහි දැක්වෙන්නේ - ඒ දැනුවත් බව සතර ආකාරයෙන් පෙන්නුම් කරලා තියෙනවා. යම්කිසි කර්මස්ථානයක් පුරුදු කරන කෙනෙකුට ඒ කර්මස්ථානය අනුව ඒ දැනුවත් බව යොදන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම්කිසි අරමුණක් ආවම, ඒ අරමුණ තමන් කරන කර්මස්ථානයට උපකාරවත් වෙන දෙයක්ද? ප්‍රයෝජනවත් වෙන දෙයක්ද? ඒක අර්ථවත් ද? කියලා ඒ විදියට කල්පනා කරන්ට වෙනවා. ඊළඟට තමන්ගේ භාවනාවට සප්පායද, ඒකට සුදුසුද? යෝග්‍යද? ඒ විදියටත් හිතන්න වෙනවා. නමුත් ඒ වගේම ඒ හැම අරමුණක් තුළින්ම හැම අවස්ථාවකම කර්මස්ථානයක් රැකගන්ට පුළුවන් ද කියල ඒක ගැනත් බලන්ට ඕන. ඊළඟට මේ අරමුණ පිළිබදව මුළාවන ස්වභාවය - ඒක නැතිව ඒ අරමුණ දිහා බලන්න හැකියාවකුත් ලබාගන්ට ඕන. ඔය විදියට ගැඹුරින් කල්පනා කරලා බලනකොට, අර ආරක්ෂක හටයා තමන්ට අයිති කාර්යය, ඒ කාර්යභාරය, ඉෂ්ට කිරීමේදී සැහෙන දැනුවත් බවක් තියාගන්නවා වගේ යෝගාවචරයත්, භාවනාවට යෙදුනු කෙනාත්, ඒ තමන්ගේ කර්මස්ථානය රැක ගන්නවා. කර්මස්ථානයයි තමන්ට අයිති රැකගන්ට තිබෙන එකම දේ. ඒ කමටහන් පැවැත්වීම තුළින් තමයි කෙනෙකුට නිවන් දකින්නට පුළුවන් වෙන්නේ. ඒක නිසා තමයි අර සම්පජඤ්ඤය කියන එක, දැනුවත් බව - මනා දැනුම කියන එක - ඉතාමත් පුළුල් අන්දමින් තේරුම් ගත යුතුව තිබෙන්නෙ. එතකොට මෙන්න මේ විදියට මේ සතිය රැක ගැනීමට උපකාර වන අරමුණු තමයි සතර සතිපට්ඨානය හැටියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ. ඒ කියන්නේ, වෙන දේවල්, බාහිර දේවල්, නොවෙයි මෙතන කියන්නේ. තමන්ට ලැබිච්ච ශරීරයම - මේ කය - අනුව සිහිය පිහිටුවනවා. ඊළඟට වේදනාවල් අනුව. ඊළඟට සිත, සිතේ ස්වභාවය. ඒක ඒ ඒ ආකාරයෙන් තේරුම් ගන්නවා. ඊළඟට සිතට එන සිතුවිලි. කයත්, වේදනාවත්, සිතත්, සිතුවිලිත්, කියලා ගන්න පුළුවන් පොදුවේ. මෙන්න මේවා පිළිබදව - මේවායේ - සිහිය පිහිටුවා ගැනීම කියන්නේ නිතරම වර්තමානයේම ජීවත් වීමයි. සාමාන්‍යයෙන් ලෝකයා ජීවත් වෙන්නේ එක්කෝ අනාගතයේ එහෙම නැත්නම් අතීතයේ. අනාගතයට කරන්න තියෙන දේ ගැන සිතමින්, එහෙම නැත්නම් අතීතයේ සිදුවුන දේවල් ගැන සිතමින්, මල අතීතයේ සහ නුපන් අනාගතයක් එක්කයි, ලෝකයා සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. මෙතන මේ ස්වභාවය ඉවත් කරලා හැකිතාක් දුරට වර්තමානයේ ජීවත් වීමට උත්සාහ කරන හැටියටයි, බුදුපියාණන් වහන්සේ අවවාදය දී තිබෙන්නෙ.
එතෙනදීත් අපට සිතාගන්න පුළුවන් අර මුරහටයා පිළිබදව. ඒ මුර හටයා තමාගේ මුර දොරටුව ඉක්මවූ තැනැත්තා ඔස්සේ දුවන්න ගියොත් ඒ තමාගේ නිලයට අයිති කාර්යභාරය කරගන්න ලැබෙන්නේ නැහැ. සුළු මොහොතක් ඇතුළත පූර්ණ අවධානයක් යොමුකරලා පරීක්ෂා කිරීම තුළින් තත්ත්වය වටහාගෙන ඒ කෙනාට යන්න දෙනවා. ඊළඟ කෙනාට ලැස්ති වෙලා ඉන්නවා. හොඳ හුරුබුහුටි දක්ෂ මුර හටයෙක් හැම තිස්සෙම එන එන කෙනාට සුදානම්. ඒවගේ අර හොඳට සිහිය පිහිටවපු තැනැත්තා එන එන අරමුණු හැම එකක්ම ඒවායේ යථා තත්ත්වය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් යථා තත්ත්වය - තේරුම් අරගෙන, ඒවාට යන්න අරිනවා. යන්න අරින්නේ මොකද? ඒවා හැම තිස්සෙම එන යන ස්වභාවයක් ඇති දේවල්, අනිත්‍ය ස්වභාවයක් ඇති දේවල්, නිසා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට තේරුම් ගැනීමයි එතකොට මේ - ප්රත්යක්ෂය තුළින්ම. මේ විදියට සතිය පුරුදු කිරීම තුළින් ක්‍රමක්‍රමයෙන් අර ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධය. මුළු මහත් ලෝකයේම තිබෙන හැම දෙයක්ම අනිත්‍ය ස්වභාව බව ඇසුරින් වටහා ගැනීම තුළින් තමයි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මොකද, ලෝකය තුළ තිබෙනවා විපරීත අදහස්. ‘විපල්ලාස’ කියලා කියන්නේ - විපරීත අදහස් හතරක් කියනවා. අනිත්‍ය දේ නිත්‍ය කියලා හිතා ගන්නවා. අසුභ දේ සුභ හැටියට හිතා ගන්නවා. දුක්ඛ සහිත දේ සැප හැටියට හිතා ගන්නවා. තමාගේ නොවන අනාත්ම දේ, තමාගේ හැටියට හිතා ගන්නවා. ඔය විදියට විපරීත දෘෂ්ටි හතරක් තුළයි ලෝකයා ජීවත් වෙන්නේ. මේ සංසාරයේ සත්ත්වයා දිගට යන්නේ ඔය විපල්ලාස කියන විපරීත ධර්ම හතර නිසා බව බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ විපරීත තත්ත්වයෙන් ඉවත් වෙලා, මුළාවෙන්, මෝහයෙන් ඉවත් වෙලා, අවිද්‍යාවෙන් ඉවත් වෙලා, ප්‍රඥාව අනුව ජීවත් වීමේ මාර්ගයයි, ඔය සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මේකට වැඩි වියදමක් යන දෙයක් නොවෙයි. කොහෙත්ම වියදමක් යන දෙයක් නොවෙයි. හැබැයි යම්කිසි පරිත්‍යාගයක් කරන්න සිද්ධ වෙනවා. එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් වැදගත් හැටියට, වටිනා හැටියට, ලෝකයා - එහෙමත් නැත්නම් ආටෝප සාටෝප ලෝකයා - සිතන දේවල් පිළිබදව, තමන්ම ඒවාට දෙන වටිනාකම් පිළිබදව, නැවත සළකා බලලා, ඒවා පිළිබදව ධර්මානුකුලව තමන් යම්කිසි නිගමනයක් ගතයුතුව තිබෙනවා, තමන්ගේ ජීවිතය ගෙවීයන ආකාරය ගැනත්. දැන් සාමාන්‍යයෙන් ලෝකයා, අර බුදු පියාණන් වහන්සේ එකම ක්ෂණයක් කියලා මේ ජීවිත කාලය හැඳින්වූවත්, මේ ජීවිතය, මේ එක පොඩි ක්ෂණය, මේක බෙදාගෙන මගේ ජීවිතයේ අවසාන කාලය කියලා ඒ විදියට වෙන්කර ගන්නවා. සමහරවිට බණ භාවනාදිය, සිල් රැකීම ආදිය ජීවිතයේ අවසාන කාලයෙයි කියලා. නමුත් බුදුපියාණන් වහන්සේ නිතරම මතක් කර දෙන්නේ අප්‍රමාද බව. ඒවගේම මරණය කොයි වෙලාවෙද කියලා නැති බව. බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංවේගය උපදවන අන්දමින් එක ගාථාවක් වදාළා.
අජ්ජේව කිච්චමාතප්පං
කො ජඤ්ඤා මරණං සුවේ
න හි නො සංගරං තේන
මහාසේනේන මච්චුනා
ඒක අපි සිංහලයට නැගුවොත්
කළයුතු කිස කරව අද - ම
මරණය විය හැකි නො හෙට - ම
නැහැ නොවැ කළහැකි
ගිවිසුම් - ම
මහසෙන් ඇති මරු සහ එ - ම
මහාසේනා ඇති මාරයාත් එක්ක ගිවිසුමකට එළඹෙන්නට බැහැ නේද? “මට ටිකක් කල් දෙන්න මගේ දූ දරුවන්ගෙන් නිදහස් වෙනකං. රස්සාවෙන් විශ්‍රාම ගන්නකං, අනිකුත් පින්කම් ඒ කියන්නේ බණ භාවනාදිය කරගන්න බැරි වුනා” කියලා, “මට කාලය වෙන්කර ගන්න බැරිවුනා” කියලා. ඒ විදියට මාරයාත් එක්ක ගිවිසුමක් කරගන්න බැහැ. ඔය තත්ත්වයයි ලෝකයේ පවතින්නේ. අන්න ඒක නිසා අර අතිදීර්ඝ සංසාරයේ මේ ලබන බුද්ධෝත්පාද කාලයක ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන්, ධර්මය අනුව හැසිරෙන්න පුළුවන්, ප්‍රදේශයක උත්පත්තිය ලබන ඥානවන්ත මනුෂ්යයාකු මේ මුළු ජීවිතයම එක ක්ෂණයක් හැටියටයි සලකන්න ඕන.
එතකොට ඒ ක්ෂණය - අන්න ඒකට තමයි අර ‘ඛණකිච්චෝ ලෝකො - ඛණකිච්චෝ ලෝකො’ කියල ලෝකයා කියනවයි කිව්වේ. මේ ලෝකය වෙලාවට වැඩ කරන තැනක්ය කියලා හැමෝම කියනවා. මේ කාලෙත් නගරයක නම් හැමතිස්සෙම ඒක කියනවා ඇහෙනවා අපට. කාර්යාලවලදී, ඒ වගේම අනිත් තැන්වලදී. ලෞකික වැඩ කෙරෙන තැන්වල නම් නිතරම අප්‍රමාදයයි කතාව. වාහන වල ගමන නම්, ඒත් අප්‍රමාදයයි කතාව. නමුත් ධර්මයෙහි ගමන නම්, ශාසන ගමන නම්, බණ භාවනා පිළිබදව නම්, එතන අප්‍රමාදයක් නැහැ. ඔය විදියේ තත්ත්වයක් ලෝකේ තියෙන්නෙ. බුදුපියාණන් වහන්සේගේ දර්ශනය ඊට වඩා වෙනස්. දැන් කොටින්ම කියනවා නම්, අර කියාපු සතිය පිහිටුවීම සඳහා සමහරවිට එදිනෙදා ජීවිතයේ කරගෙන යන ක්‍රියා පවා අපට සෙමින් කරන්න සිද්ධ වෙනවා. අප්‍රමාදය කියලා කියන්නේ ධර්මානුකුලව මේවා පිළිබදව සතිය මතුකර ගැනීමයි. එතකොට සතිය මතුකර ගැනීම සඳහා විශේෂයෙන්ම ආරම්භයේදී සමහරවිට ලෙඩෙක් හැටියට ඉරියවු පවත්වන්නට සිද්ධ වෙනවා. ඒ කටයුතු කරන්නට සිද්ධ වෙනවා. මොකද, ශීඝ්‍රයෙන් අරමුණු ගලාගෙන එනවා. මේවා අර පවු දොරටුවක් තුළට ගත්තහම, එකින් පාස් වෙන්න සැලැස්සුවහම, පාලනය කිරීම පහසුයි. ඒක නිසා මේ හැම එකක්ම හෙමි හෙමිහිට කරලා, සමහරවිට, මේවා පිළිබදව ගැඹුරු අවබෝධයක් ලබන්නට සිද්ධ වෙනවා. නමුත් එදිනෙදා ජීවිතයේ සාර්ථක ජීවිතය කියලා ලබාගත්තු ඔය ලොකු නිලකල ඇති මහ ධනවත් අයගේ ජීවිත කතාවලින් බලනවා නම් ඒ අය සමහරවිට එහෙම නොවෙයි, ජීවිතය ගතකරලා තියෙන්නෙ. මහා වැඩ රාශියක් බදාගෙන, නිදි මරාගෙන, නොයෙකුත් අපරාධ ආදියක් කරගෙන, ධනය රැස්කරගෙන තියෙන්නෙ. නමුත් එබඳු දෙයක් නොවෙයි මේ ධර්මයෙහි කියන්නේ. අර කියාපු අර මහා ධන සම්භාරය අතහැරලා වාම් ඇඳුමකට යොමුවෙලා ‘වාම් දිවි පැවතුම් උසස් සිතුම් පැතුම්’ කියන ඒ න්‍යායට අනුව, අමාරුවෙන් නමුත් පෝය දවසක හෝ නිවාඩු දවසක හෝ මේ විදියට සිල් සමාදන් වෙලා. ඒ වෙනුවෙන් වෙන්වෙලා, බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මයෙහි සත්‍යතාව තමන්ම උරහා බලන්නට ඕන. තමන්ම ක්‍රියාත්මක කරලා බලන්නට ඕන. ඒ විදියට දවසක් හෝ ගතකරා නම් අර ජීවිත කාලයක්ම ලබපු ඒ අත්දැකීම් වලට වඩා අමුතු අත්දැකීමක් එදාට කෙනෙකුට ලබාගන්ට පුළුවනි. ඒක නිසයි බුදුපියාණන් වහන්සේ වදාළේ මේක ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’ කියලා. මේ ධර්මය නුවණැත්තන් විසින් තම තමන්ම තේරුම් ගතයුතු දෙයක්. මේ ධර්මය ගැන ප්‍රකාශ කරන පද හයක් මේ පින්වතුන් නිතර අහලා කියනවා. ‘ස්වාක්ඛාතො’ ස්වාක්ඛාත වූ ධර්මයක් - ස්වාක්ඛාත කියලා කියන්නේ මොකද. මේ ධර්මය හරියට ප්‍රකාශ කරලා තිබෙනවා කියන්නේ බුදුපියාණන් වහන්සේගේ ධර්මය මිහිරි නිසා පමණක් නොවෙයි. ඒ වචන, ඒ දේශනාව, ඉතාමත් අංග සම්පූර්ණ නිසා පමණක් නොවෙයි. ඒ ධර්මය ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිඵල තෙළාගන්නට පුළුවන් නිසයි ඒක ස්වාක්ඛාතො වෙන්නේ ගැඹුරු අර්ථයෙන්. දුරක්ඛාත කියලා කියන්නේ වැරදි විදියට දේශනා කරපු. වැරදි විදියට දේශනා කරපු ධර්මයක, ශාසනයක, ආගමක, කුසීතයයි සැපයෙන් ඉන්නේ කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ‘ස්වාක්ඛාතව’ හරියාකාර දේශනා කරපු ධර්මයක වීර්යවන්තයයි සැපයෙන් ඉන්නේ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේක ගැඹුරු අදහසක්. ඒ කියන්නේ වැරදි ආකාරයෙන් මිථ්‍යාදෘෂ්ටි වශයෙන් දේශනා කළ ධර්මයක නම් ඒ තැනැත්තා හරියට ජීවත් වුනොත් ඒ තැනැත්තා අපායට යන්නේ. ඒක නිසා කුසීතයා එතන සැපෙන් ඉන්නේ. නමුත් මේ ස්වාක්ඛාත ධර්මයෙහි වීර්යවන්තකයටයි සැපෙන් ඉන්න පුළුවන් වෙන්නේ. සැපෙන් ජීවත් වෙන්නේ. කුසීතයා දුකසේ ඉන්නේ. කළයුතු දේ, අර කියාපු කළයුතු කිස, අදම කරගන්නේ නැති කෙනා කණගාටුවට පත්වෙනවා. මේ ජීවිතයේදීත්. මරණ මංචකයේදීත් දුක් වෙනවා. ඊළඟට, ඊට වඩා හයානක අන්දමින් අර ‘නිරයම්හි සමප්පිතා’ කියලා කියපු ආකාරයට නිරයට වැටිලා දුක්විදින්නට සිද්ධ වෙනවා. ආයි, ජීවත් වෙන ඥාතීන්ගේ පිහිට ඉල්ලන්ත වෙනවා, පෙනී, නොපෙනී, නොයෙක් ආකාරයෙන්. ඔය විදියේ තත්ත්වයක් සංසාරයේ, ලෝකයේ, පවතින නිසා තමයි බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මෙබඳු මේ දේශනා ප්‍රකාශ කොට වදාළේ. එතකොට ඒ ධර්මයේ ස්වාක්ඛාත ගුණය එහෙමයි.
සන්දිට්ඨික කියලා කියන්නේ අන්න අර මෙලොව අත්දුටු වශයෙන් තමන්ට මේ ධර්මය පුරුදු කරලා මේකේ සාර්ථකත්වය තමන්ටම උරහා බලන්නට පුළුවන්. සන්දිට්ඨීක වශයෙන්. ආයි පරලොවක ලබන නිවනක් නොවෙයි, මෙතන ප්‍රකාශ කරන්නේ, බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙහි. අනිකුත් හැම ධර්මවලම පරමාර්ථය කියලා කියන දේ, ඉහලම දේ මරණින් මතු ලැබිය හැකි තත්ත්වයක් හැටියටයි දක්වලා තියෙන්නෙ. අපේ බුදුපියාණන් වහන්සේ පමණයි, මෙලොව - ‘දිට්ඨේව ධම්මේ’ කියලා කියන්නේ මෙලොව - මේ නිවන් සුව ප්රත්යක්ෂ කරගත හැකි බව, සසර දුක් කෙළවර කිරීම මෙලොවදී කරගත හැකි බව, ප්‍රකාශ කළේ. එතකොට ඒ ඉහළ අර්ථයෙන් අර සෝවාන් ආදී මාර්ග ඵල ප්රත්යක්ෂ කරගැනීමම පමණක් නොවෙයි, එදිනෙදා අර කියාපු විදියට, අපි අර කලින් සඳහන් කරපු ආකාරයට, එක දවසක් හෝ වෙන්වෙලා ඉරියව් හෙමින් පවත්වමින් චරිතානුකූල යම්කිසි කර්මස්ථානයක් පරිහරණය කරමින් කර්මස්ථානයට අනුව ඒ ධර්මයන්ගේ සත්‍යය උරහා බලන පුද්ගලයට එක දවසින්ම බුදුපියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකරගන්න පුළුවන්. පොත්පතේ කියන ශ්‍රද්ධාව නොවෙයි, තමා තුළින්ම. බුදුපියාණන් වහන්සේ මේ තරම් ධර්මයත් දේශනා කරලා තියෙනවා නේද කියලා. අන්න සන්දිට්ඨීයි. ඊළඟට අකාලික කියලා කියන්නේ මේ ධම්යාගේ කල් නොයවාම විපාක දෙන ස්වභාවයක් කියනවා. මේක තෑගිදෙන දෙයක් හැටියට නොවෙයි. යම්කිසි දේකට, ඔය සමහර කෙනෙක් යම්කිසි තත්ත්වයක් ලැබුවම ඒකට තෑග්ගක් දෙනවා. ඒකට තමන්ගේ සුදුසුකම ඉදිරිපත් කරලා තෑග්ග දෙනකල් බලා ඉන්න ඕන. එහෙම එකක් නැහැ මේකේ. මේවා සම්පූර්ණ කරනවාත් එක්කම ප්‍රතිඵලය. දැන් බුදුපියාණන් වහන්සේ ඒක ඉතාමත් සරල අන්දමිනුත් දැක්වූවා, ගැඹුරු අන්දමිනුත් දැක්වූවා. සරල අන්දමින් ප්‍රකාශ කරලා තියෙනවා. එක්තරා බ්‍රාහ්මණයෙක් විමසූ අවස්ථාවක. ‘මොකක්ද භාග්‍යවතුන් වහන්ස මේ සන්දිට්ඨික අකාලික ඒහි පස්සික කියන එකේ තේරුම’, කියලා බුදුපියාණන් වහන්සේගෙන් ඇහුවා. බුදුපියාණන් වහන්සේ ඒ බමුණට ඒ බමුණු තත්ත්වයේ ඉදගෙනම උනත් තේරුම් ගන්න පුළුවන් අන්දමට ඒක තේරුම් කරල දුන්නා. අන්න දැන් බ්‍රාහ්මණය, නුඹට කියනවා යම්කිසි දෙයක් පිළිබද ලෝභයක්. ඒ ලෝභය, මොකක් හරි උත්සාහයක් යොදලා පරිත්‍යාගශීලීත්වයේ අගය තේරුම් අරගෙන, ඒ විදියට ලෝභය ඉවත් කරා කියමු. ඒ වෙලාවෙම නුඹට තේරෙනවා නේද අර ලෝභය නිසා අර තරම් මම දුක් විත්දා. දැන් ලෝභය අතහැරිය නිසා මට මේ තරම් සැනසීමක් ලැබුණා. අන්න සන්දිට්ඨික අකාලික කියලා කියන්නේ ඒකට. එතනම ප්‍රතිඵල ලැබෙනවා. ආයි මේක බලාගෙන ඉන්න ඕනෑ. ඊළඟට ද්වේෂය ගැනත් එහෙමයි. දැන් ඔන්න නුඹ කවුරුවත් එක්ක තරහ වෙනවා. ද්වේෂය ඇතිකර ගන්නවා. ඒ ද්වේෂය ඇතිවුන වෙලාවේ එහෙම පිටින්ම මුහුණත් වෙනස් වෙලා, විකෘති වෙලා, ඒවා පිළිබද යම්කිසි දුකක් දෝමනසක් නුඹ විදිනවා ද්වේෂය නිසා. ඒ ද්වේෂය, මෛත්‍රි ආදී සිතුවිලි වලින් ඉවත් කරගත්තොත්, කරුණාවෙන් ඉවත් කර ගත්තොත්, අන්න ඒ අවස්ථාවේ ලොකු සැනසීමක් ලැබෙනවා. එතකොට නුඹට එතනදීම අත්දකින්නට ලැබෙනවා. මෝහය පිළිබදවත් එහෙමයි. මෝහය ඇතිවුන අවස්ථාවේ අර විදියට සතිය පිහිටුවා ගෙන කටයුතු කළා නම්. ඒ අවස්ථාවේ මෙනෙහි කිරීම හරියට කරා නම්, ඒ ප්‍රඥාවේ ආනිසංශය එතනම තියෙනවා. එතකොට සාමාන්‍ය වශයෙන් එහෙමයි. ගැඹුරු අර්ථයෙන් බැලුවම ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ කරනවාත් එක්කම සෝවාන් එල ලැබෙනවා. ආයි බුදුපියාණන් වහන්සේ ඇවිල්ලා ඔන්න මම සෝවාන්කම දෙනවා කියලා කියන්න ඕන නැහැ. එහෙම එකක් නැහැ. ඒක ධර්මයේම තියෙන බවයි, ධර්මය ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන බවයි, ප්‍රකාශ කරන්නේ එතන. ‘අකාලික’ - කල් නොයවාම විපාක දෙනවා.
එහිපස්සික කියල කියන්නේ එව, බලව කියන එකයි. ඇවිල්ල බලන්න කියලා කියනවා. බුදුපියාණන් වහන්සේ නෙවෙයි ඇවිල්ලා බලන්න කියන්නේ ධම්යමයි. මේ ධර්මය හඬගා කියනවා මාව ක්‍රියාත්මක කරලා බලන්න කියලා. එතකොට ධම්යයි මෙතන එහිපස්සික වෙන්නේ. ‘එව - බලව’ “ඇවිල්ලා බලන්න, ක්‍රියාත්මක කරලා බලන්න”. ඒ විදියට ආරාධනාවක් කරනවා. “ඕපනයික” කියලා කියන්නේ මේ ධර්මයේ ස්වභාවය එකකට එකක් පුදුම අන්දමින් සම්බන්ධ වෙලා කියනවා, හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක් අනුව. දැන් ඒක හොඳට හිතා ගන්න පුළුවන් යම්කිසි කෙනෙකුට. මිථ්‍යාදෘෂ්ටිය තිබ්බ පුද්ගලයෙක් සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්ට බුදුපියාණන් වහන්සේගෙන් ධර්මය අහල හොඳ තරක තේරුම් අරගෙන, කුසල් අකුසල් තේරුම් අරගෙන, චතුරාර්ය සත්‍යය පිළිබද යම්කිසි අවබෝධයක් ඇතිකර ගත්තා නම් ඒ පුද්ගලයාට අන්න එතනදී සම්‍යක් දෘෂ්ටිය ඇති වෙනවා, යම්කිසි ප්‍රමාණයකට. ඒ සම්‍යක් දෘෂ්ටිය එක්කම ඒ තැනැත්තාට හොඳ සංකල්පනා ඇති වෙනවා. මහණ වීම හොඳයි. නෙක්ඛම්ම - අත්හැරීම හොඳයි. අවිහිංසාව හොඳයි. මෛත්‍රීය හොඳයි කියලා ඒ පැත්තට මෛත්‍රී සිතුවිලි, ඒ විදියේ හොඳ සිතුවිලි ඇතිවෙනවා. අන්න සම්‍යක් සංකල්පය. ඒකට තමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ‘සම්මාදිට්ඨීස්ස සම්මාසංකප්පො පහෝති’ සම්‍යක් දෘෂ්ටිය ඇති පුද්ගලයාට ඉබේම, නිරායාසයෙන්ම, නිතැනින්ම, සම්‍යක් සංකල්ප - හොඳ සංකල්පනා ඇති වෙනවා. ඒ විදියට අර ගිහි ගෙවල්වල මසුරුබවින් රැඳි සිටීම නොවේ, පැවිදි වීම - ඒ නෙක්ඛම්මය - කොයි තරම් වටිනා දෙයක් ද? ඊළඟට ඒවගේම හිංසාවෙන් ඉවත්වෙලා අවිහිංසා සිතුවිලි, කරුණා සිතුවිලි පැවැත්වීම කොයිතරම් වටිනා දෙයක් ද? ද්වේෂයෙන් ඉවත් වෙලා මෛත්‍රී සිතුවිලි. ඒ විදියට සිතුවිලි වලින් ඒ තැනැත්තා ඒ අවස්ථාවේම ආනිසංස තෙළාගන්නවා. ඔතන තියෙනවා ‘ඕපනයිකො’ - එකකින් එකකට ඇදගෙන යනවා. සම්‍යක්දෘෂ්ටිය ඇති කෙනාට සම්‍යක් සංකල්ප පහළ වෙනවා. සම්‍යක් සංකල්පනාවල් ඇති කෙනාට ඒ අනුව හොඳ වචන පිටවෙනවා කටින්. සත්‍ය වචන, ඒ වගේම අනුත් සමගි කරවන වචන, මුදු මොළොක් වචන, ධර්මානුකූල වචන, ඒ තැනැත්තාගේ මුවින් පිටවෙනවා. අන්න එතකොට ‘සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති’ - හොඳ සිතුවිලි, හොඳ සිතුම් පැතුම් ඇති කෙනාට, හොඳ සිතුම් පැතුම් නිසාම හොඳ වචන ඒ තැනැත්තා කුළින් පිටවෙනවා. ‘ඊළඟට සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහෝති’ - හොඳ වචන පාරිශුද්ධි කරන තැනැත්තා කල්පනා කරනවා මම මේ විදියට මේ නෙක්ඛම්ම සිතුවිලි, මෛත්‍රී සිතුවිලි, අවිහිංසා සිතුවිලි පවත්වනවා. සිතුවිලි පාරිශුද්ධි කරන්නේ එහෙමයි. වචනත් පාරිශුද්ධි කරන්නේ එහෙමයි. ඒ නිසා මේ විදියට සතුන් මැරීම, සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය ආදී දේවල් මට ගැලපෙන්නේ නැහැ කියලා එයිනුත් ඉබේටම වැළැක්මක් වෙනවා. ඊළඟට ඒ විදියට දවසක් දෙකක් කිරීම පමණක් නොවෙයි සම්‍යක් ආජීවය - තමාගේ ජීවිකාවක් ජීවන රටාවත් ඒ අනුව හැඩගස්ස ගන්නවා, යම්කිසි පරිත්‍යාගයක් කරන්ට සිද්ධ වුනත්. ‘මේවා ඉදහිටලා පෝය දවසට චිතරක් රැකිය යුතු දේවල් නොවෙයි. මගේ ජීවිකාවම, මුළු ජීවන රටාවම හරිගස්සගන්න ඕන, මේ කියාපු ප්‍රතිපදාව අනුව’, කියලා ඒ තැනැත්තා උත්සාහවත් වෙලා, සම්‍යක් ආජීවය සකස් කර ගන්නවා. හරි දිවි පැවැත්ම. අන්න හරි දිවි පැවැත්ම ඇතිවුන පුද්ගලයා තමා දරණ උත්සාහය තුළින් ඊළඟට සම්මා වායාම කියලා කියන හරි වෙර දැරුම දරනවා. නියම වෙර දැරුම කියන එක හොඳට දාඩිය දානකල් යම්කිසි වැඩක යෙදීම නොවෙයි. නියම වීර්යය කියලා කියන්නේ මොකක් ද? අර හිත පිළිබදව හොඳට සැළකිල්ලෙන් සිටිමින් සිතට ගලාගෙන එන්න සුදානම් වන අකුසල් වළක්වාලීමත්, හිත තුළ ඇති අකුසල් නෙරපා ඈරීමත්, කුසල් ධර්ම ලංකර ගැනීමත්. තමා තුළ තිබෙන ඒ හොඳ කුසල් ධර්ම තහවුරු කර ගැනීමත් කියන හතර ආකාර වීර්යයයි. තමාගේ දිවිපැවැත්ම සඳහා යම්කිසි පරිත්‍යාගයක් කරලා ධාර්මික දිවි පැවැත්මක් සකස් කරගන්නා පුද්ගලයා තුළ ඇතිවන ඒ වීර්ය ඕකයි. එතකොට මේ තැනැත්තා ඒ වීර්ය තුළින්ම, ඔන්න ඊළඟට ඒ වීර්ය යෙදීමේදී අර කියාපු සතිපට්ඨානයට ඉබේටම වැටෙනවා. සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. මොකද, ඒ තැනැත්තා නිතරම සැවිල්ලෙන් ඉන්නේ තමාගේ සිත ගැන. ඒ හිත අනුව ක්‍රියා කරන කය ගැන. කයත් සිතත් එකිනෙකකට සම්බන්ධවයි ක්‍රියා කරන්නේ. සාමාන්‍ය පුද්ගලයා කයට යටවෙලා හිත ගැන තොතකා හරිනවා. බුදුපියාණන් වහන්සේ ‘මනෝ පුබ්බංගමා ධම්මා’ කියන ඒ ධර්මයට අනුව සිතම මූල් වෙනවා කියලා පෙන්වනවා. දැන් ධම්ම පදය කියන පොතේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාථා රාශියකටම මුල හැටියට දක්වලා තිබෙන්නෙ, ඒ රුවන් ගබඩාවේ දොර හැටියට තිබෙන්නෙ - ‘මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා’ මේ හැම දෙයකටම සිතම පෙරටු වෙනවා. සිතම ශ්‍රේෂ්ඨයි. සිතෙන්මයි මේ හැම දෙයක්ම හැදෙන්නේ කියලා. කිසිකෙනෙකුට මේක බොරුය කියලා බොරු කරන්න බැහැ. මේක ලෞකික විද්‍යාඥයෙකුටවත් බොරු කරන්න බැහැ. අන්න ඒ විදියේ පුදුම දේශනාවක්. ඒක නිසා බුදුපියාණන් වහන්සේ හිතටයි මුල්තැන දුන්නේ. ‘චිත්තෙන නීයති ලෝකො’ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මුළු ලෝකයම ඇදගෙන යන්නේ හිතෙන්. දැන් සාමාන්‍යයෙන් හිතෙන් නේ මේ දේවල් ලෝකයා කල්පනා කරන්නේ. ඒ විද්‍යාඥයා විද්‍යාගාරයේදී ඒවා කරන්නෙ හිතෙන්. එතකොට හිතෙනුයි මේ ඔක්කොම ඇදගෙන යන්නේ. හඳට යන්නෙත් හිතෙන්. මේ හැම එකක්ම කරන්නේ හිතෙන්. මේවා සාමාන්‍යයෙන් වැරදියට වටහා ගෙන විපරීත විදියට තේරුම් කරන්නත් පුළුවන් සමහර කෙනෙක්. නමුත් මෙතන තිබෙන්නෙ හැම එකකටම හිත ප්‍රධාන බව. බුදුපියාණන් වහන්සේ ඒ කළ ප්‍රකාශය කවදත් සත්‍යයක්.
‘චිත්තෙන නීයති ලෝකො’, ඒකනිසා තමයි බුදුපියාණන් වහන්සේ මෙතන සිතටම මුල්තැන දෙන්නේ.
අර සම්‍යක් දෘෂ්ටිය කියලා කියන හරි දැක්ම කෙතෙකුත් තුළ පහළ වුනා නම්, එතන ඉදලා ඇතිවන ධර්ම පරම්පරාවයි ආර්ය අෂ්ටාංශික මාර්ගය කියලා කියන්නේ. මේ ප්‍රතිපදාව මේ මුළු ලෝකයේම ඇති හැම මාර්ගයකටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. නොයෙකුත් විදියේ පලල් මාර්ග, හොඳ සැප පහසු වාහනවලට යන්ට පුළුවන් මාර්ග, තොයෙකුත්, විදියේ මාර්ග ලෝකයේ තිබෙනවා. නමුත්, ‘මග්ගානට්ඨංගිකො සෙට්ඨො’ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා කියනවා. මේ අංග අටකින් යුක්ත මාර්ගය තමයි ශ්‍රේෂ්ඨ කියලා. අන්න ඒ විදියට, එතකොට සතර සතිපට්ඨානයෙන් මේ සතිය සම්පූර් වුනා නම් එබඳු පුද්ගලයා තුළ ඉබේම සමාධියත් වැඩෙනවා. එක අරමුණකට හිත යෙදීම තුළින්ම, අර මුර හටයා එක එක දේට හොඳට සතිය යොදන කොට ඒ තැනැත්තා තුළ සමාධියක් ඒ සුළු වේලාවේ නමුත් ඇතිවෙනවා. ඒ තැනැත්තාට පුළුවන් ඊට පස්සේ එක දීර්ඝ කාලයක් පවත්වන්න. ඔන්න ඔය ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ කර ගැනීම තුළිනුයි කෙනෙකුට මේ උතුම් නිර්වාණ ධර්මය ප්රත්යක්ෂ කරගෙන සියලු සංසාර දුකින් අත් මිදිලා ඒ අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලබාගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අද දින මේ වටිනා පෝය දවසක්. බුදුපියාණන් වහන්සේ ධර්ම චක්‍රය පෙරළූ දවසක්. එතකොට මෙන්න මේ ධර්ම චක්‍රය තම තමන්ගේ විත්ත සන්තානය තුළ පෙරලලා මේ කියාපු දුක් කඳෙන් මිදීමට උත්සාහ ගතයුතුව තිබෙනවා. අද එතකොට මේ වටිනා දවසේ තමන්ට අයිති ශීලයෙන් හෝ එහෙම නැත්නම් වටිනා ශීලයක් හෝ පිහිටලා මේ විදියට මේ ධර්ම ශ්‍රවණය කළා, පැයක් පමණ වේලාවක් තුළ. මේ අවස්ථාව තුළ අර කියාපු ධර්මයන් යම් යම් ප්‍රමාණයකට මේ පින්වතුන්ගේ පුණ්‍ය ශක්තිය, ඥාන ශක්තිය, අනුව සමහර විට ප්රත්යක්ෂ කරගන්න පුළුවන් වෙන්නට ඇති. කොටින්ම කියනවා නම් මේ අවස්ථාව වෙන දේවල් වලට, ලෞකික දේවල් වලට, යොදලා හිටියා නම් මෙබඳු සැනසිලිදායක පිරිසිදු සිතුවිලි සමූහයක් ඇතිවෙන්නේ නැහැ. අන්න සන්දිට්ඨීක අකාලික වශයෙන් ධර්මයෙහි වටිනාකමත් ඒ අනුව තේරුම් ගන්නට ඕන.
දැන් එතකොට මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ පින්වතුන් රැස්කරගත්ත පුණ්‍ය සම්භාරයක්. ආනිසංස වශයෙන් අර බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමට ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා කියන ධර්ම මේ පින්වතුන්ට මේ අවස්ථාවෙම ප්රත්යක්ෂකර ගන්න පුළුවන්. යම්කිසි ප්‍රමාණයක ශ්‍රද්ධාවක් ඇතුව ඊළඟට එක අනුව ගිය වීර්යයක් ඇතිව මේ කාලය තුළ මේ ඉරියව්වේ ඉඳගෙන ඊළඟට ඒ අනුව සතිය පිහිටුවා ගෙන ධර්ම ශ්‍රවණය කරලා යම්කිසි සමාධියකුත් අත්දැක්කා. ඊළඟට යම්කිසි ධර්ම වැටහීමක් ඇති වුනා නම් ඒකෙන් ප්‍රඥාව දියුණු වෙනවා. ඔය විදියට කල්පනා කරලා බලනකොට ක්‍රම ක්‍රමයෙන් ටිකෙන් ටික හෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා මේ මනුෂ්‍ය ජීවිතයෙන් ගතහැකි උපරිම ප්‍රයෝජනය, අර ක්ෂණ සම්පත්තියෙන් ගතහැකි උපරිම ප්‍රයෝජනය, ගැනීමට හොඳට අධිෂ්ඨාන කරගන්නට ඕන. එහෙම අධිෂ්ඨාන කරගෙන මෙතෙක් මේ ධර්ම ශ්‍රවණ වශයෙන් රැස්කරගත්තු කුසල් රාශියේ ආනිසංස වශයෙන් මොලොවදීම, හැකිතාක් ඉක්මනින්, සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාඟී ඵල තුළින් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය, බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඒ වගේම දැන් මෙතෙක් රැස්කරගත්තු කුශල සම්භාරය - අපි දෙගොල්ලම මේ ධර්ම ශ්‍රවණමය. ධර්ම දේශනාමය වශයෙන් රැස්කර ගත්තු කුශල සම්භාරය - ශාසනාරක්ෂක දිව්‍ය මණ්ඩලයත්, ඒ වගේම මේ පූජනීය ස්ථානයට අරක් ගත් යම් දෙවි දේවතා පිරිසක් ඇත්නම් ඒ හැම දෙනාමත් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! හැමදෙනෙක්ම තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා! අපටත්, ශාසනයටත් ආරක්ෂා සලසත්වා! කියලා දෙවියන්ටත් අනුමෝදන් කරන්නට ඕන. ඒ වගේම තම තමන්ගේ ඤාතීන් නැසී මිය පරලොව ගිය ඥාතීන් ඇතුළව අවීචියේ පටන් අකනිටා දක්වා වූ යම්තාක් සත්ත්ව කෙනෙක් පින් කැමති, නිවන් කැමති සිටින් නම් ඒ හැම දෙනෙක්මත්, අපේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී සියලු දුඃඛි තත්ත්වවලින් අත්මිදී, සුඛි තත්ත්වවලට පත්වී, හැකිතාක් ඉක්මනින් බණ භාවනා කරලා උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ ගාථා කියලා පින් පමුණුවන්න.
යෝගා වේ ජායතේ භූරි
අයෝගා භූරිසංඛයෝ
ඒතං ද්වේධාපථං ඤත්වා
භවාය
විභවාය ච
තථාත්තානං නිවේසෙය්‍ය
යථා භූරි පවඩ්ඪති
සැදැහැවත් පින්වතුනි,
අප තිලෝගුරු ගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය - ඒ බුද්ධ දේශනාව - ඇත්ත වශයෙන්ම කියනවා නම්, සසර දුකින් මිදීමට උපකාරවන, නිර්වාණය ප්රත්යක්ෂ කරගැනීමට උපකාරවන, ප්‍රතිපත්ති මාර්ගයක්. එතකොට, බුද්ධ දේශනාව කොයිතරම් සවිස්තරව, අටුවා ටීකා සහිතව, හැදෑරුවත්, කටපාඩම් කරගත්තත්, සීල-සමාධි-ප්‍රඥා කියල කියන ඒ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම්, ඒ බුද්ධ දේශනාවේ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නෑ. නිවන් ප්රත්යක්ෂ කරගන්නට පුළුවන් කමක් නෑ. නිවන් ප්රත්යක්ෂ කරගැනීමට විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා භාවනාව. භාවනාවෙන් තොරව නිවනක් ලබාගන්නට බෑ, කිසිම කෙනෙකුට. මේ භාවනාවේ යෙදීම කියන අර්ථය කියන වචනයක් තමයි ‘යෝග’ කියල කියන්නේ. වෙන නොයෙකුත් ආගම්වල, වෙන වෙන අර්ථවල යෙදෙන්න පුළුවන් ‘යෝග’ කියන වචනය. නමුත් අපේ ධර්මයෙහි ‘යෝග’ කියල කියන්නේ භාවනා මනසිකාරයයි. භාවනානුකූල මෙනෙහි කිරීමයි. ‘අයෝග’ කියල කියන්නේ භාවනාවේ නොයෙදීමයි. එතකොට, ‘යෝග’ කියන්නේ භාවනාවේ යෙදීම, ‘අයෝග’ කියන්නේ භාවනාවේ නොයෙදීම. මෙන්න මේ දෙක අතර ඇති වෙනස පෙන්නුම් කිරීමට බුදුපියාණන් වහන්සේ වදාළ ගාථා ධර්මයත් තමයි අපි මාතෘකා හැටියට අද තබාගන්නේ.
මේ ගාථාවට අදාළ නිදාන කථාව බොහොම ආදර්ශවත් කථාන්තරයක්. බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලයේ, එක මහතෙර නමක් හිටිය පෝඨිල කියන නමින්. මේ පෝඨිල හාමුදුරුවෝ ත්‍රිපිටකය පිළිබඳ විශාරද, එහෙම පිටින්ම ඒවා කටපාඩම් කරගෙන පන්සියයක් ගෝලයන්ට ධර්මය උගන්වන ආචාර්ය කෙනෙක්. මේ කාලයේ හැටියට බලනවා නම් මේ පින්වතුන් දන්නවානේ ඔය නොයෙකුත් විදියේ උපාධි කියනවානේ ත්රිපිටකාචාර්යි, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ආදි ලොකු සම්මාන වලින් පුදන්න තරම් වටින ස්වාමීන් වහන්සේ කෙනෙක්. නමුත් එහෙම වුනාට මොකද, මේ පෝඨිල හාමුදුරුවෝ උගත්කමින් පිරුනට මොකද, භාවනාව ගැන සිත් යොමු කරන්නේ නෑ. තමන්ගේ නිවන ගැන, තමන්ගේ සසරින් මිදීම ගැන, සිතන්නේ නෑ, කොයිතරම් ගෝලයන්ට ඉගැන්නුවත්. බුදුපියාණන් වහන්සේට මේ හාමුදුරුවෝ ගැන හිතල සංවේගයක් ඇතිවුනා. ‘අපොයි මේ තරම් දැන උගත්කම් ඇති කෙනෙක් උනත් තාම තමන්ගේ නිවන ගැන හිතුවේ නෑ නේද’ කියල. මේ හාමුදුරුවන්ට සංවේගයක් ඇති කරවන්නට බුදුපියාණන් වහන්සේ යෝදා ගත්තු උපාය මොකක්ද, තමන් වහන්සේ ළහට වඳනා කරන්න එතකොට මේ පෝඨිල හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරන්නේ ‘තුච්ඡ පෝඨිල’ කියලා. ‘තුච්ඡ’ කියන වචනය සමාජයේ කොයි අන්දමට භාවිතා වුනත්, එකේ තේරුම ‘හිස්’ කියන එකයි. එතකොට ‘තුච්ඡ පෝඨිල මෙහෙ එන්න. තුච්ඡ පෝඨිල වඩින්න. තුච්ඡ පෝඨිල ඉඳගන්න. හා! හොඳයි, තුච්ඡ පෝඨිල යන්න. අන්න තුච්ඡ පෝඨිල ගියා’. ඔය විදියට බුදුපියාණන් වහන්සේ මේ පෝඨිල හාමුදුරුවන් එන එන වෙලාවට ඔහොම වචන පාවිච්චි කරනවා. ‘තුච්ඡ’ කියන වචනේ. මේ හාමුදුරුවන්ට ලොකු සංවේගයක් ඇතිවුනා. ‘අනේ අපොයි මේ බුදුපියාණන් වහන්සේ - මේ මගේ ශාස්තෘන් වහන්සේ - මේ තරම් දැන උගත්කම් ඇති, මේ තරම් විශාල ගෝල පිරිසකට උගන්වන මට මේ ’තුච්ඡ’ කියන වචනය යොදනවා නේද? කියල. ඉතින් මේ විදියේ මේ ‘අවනම්බුනාමයක්’ බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් දී වදාළේ මොකටද? අර හාමුදුරුවන්ට මේ සසරින් මිදීම පිළිබඳව සංවේගය ඇතිකිරීමටත්, ඒ වගේම අර උගත්කම නිසා ඇතිවෙච්ච, ගෝල පිරිස නිසා ඇතිවෙච්ච මාන්නය බිඳීමටත්.
මේ ශාසනයේ ගුණධම් පුරන කෙනෙකුට, භාවනා ආදී ඒ කටයුතු කරන කොට, ගුරුවරයකුගේ ඇසුරින් නොයෙකුත් උපදෙස් ගන්න සිද්ද වෙනවා. ඉතින් ඒ විදියේ උපදෙස් ගන්නා නම්, නිහතමානිත්වය තියෙන්ට ඕන. මේ හාමුදුරුවෝ හිතාගෙන ඉන්න ඇති, දැන් ඉතින් මං ඔක්කොම දන්නවා කියලා. පිරිච්ච කලේකට ආයි පුරවන්නට බෑ. එක හිස්කරලා ඕන පුරවන්ට. අන්න ඒ හිස්කිරීමේ අදහසිනුත්, මාන්නය බිඳීමේ අදහසිනුත්, තමයි බුදුපියාණන් වහන්සේ මේ හාමුදුරුවන්ට ‘තුච්ඡ’ කියල ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තේ. ඉතින් මේ හාමුදුරුවෝ ඒකෙන් තරහ ගත්තේ නෑ. ‘මට අගෞරව කරනවා’ කියල බුදුපියාණන් වහන්සේ එක්ක ද්වේෂයක් වෛරයක් ඇතිකරගත්තේ නෑ. තමන්ගේ තත්ත්වය තේරුම් අරගෙන ඊළඟට තීරණය කළා, ‘දැන් ඉතින් මේ ඔක්කොම ගෝල පිරිස අත හැරල මම යන්න ඕන. ගිහිල්ල - කොහේ හරි ආරණ්‍යයකට ගිහිල්ල, දුර බැහැර කැළේකට ගිහිල්ල භාවනා කරන්න ඕන’ කියල. එහෙම අධිෂ්ඨාන කරගෙන, පස්සෙන්ද උදෑසන තමන්ගේ ගෝල පිරිසට අවසාන වශයෙන් උගන්වලා, ඒ ගෝලයින්ගෙන් අවසාන ගෝලය නික්මෙනවත් එක්කම, කාටවත් නොපෙනෙන නොතේරෙන ආකාරයෙන් - වෙස්වළාගෙන වගේ - වෙස් වළාගෙනම නොවෙයි කාටවත් නොපෙනෙන ආකාරයට, හරියට එළිය වැටෙන්නත් කලින්ම වගේ පිටවුනා. පිටවෙලා, යොදුන් සියගණන් ඈතට ගිහිල්ල යම්කිසි ආරණ්‍යයකට වැඩම කළා. ඒ ආරණ්‍යයේ සිටිනවා තිස් නමක්. තිස් නමක් රහතන්වහන්සේලා සිටින ආරණ්‍යයක්. මේ ස්වාමීන්වහන්සේ එතන නායක ස්වාමීන්වහන්සේ ළහට ගිහිල්ල ඉල්ලා සිටියා ‘අනේ ස්වාමීන්වහන්ස. මට පිහිට වෙන්න’ කියල. ඒ කියන්නේ, නිවනට පිහිට වෙන්න කියන එකයි. මේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම කිව්වා, ‘අපොයි ඔබවහන්සේ මේ තරම් දැන උගත්කම් ඇති කෙනෙක් නේද? අපටත් යමක් ඉගෙන ගන්න තියෙන්නෙ ඔබ වහන්සේ වැනි අයගෙන් නේද’ කියලා, ‘අපොයි, එහෙම කියන්න එපා ස්වාමීනි, මම මේ ආවේ පිහිටක් බලාපොරොත්තුවෙනුයි, මට නිවනට කමටහන් දෙන්න’. නිවන් දැකීමට උපකාර වන භාවනා කර්මස්ථාන දෙන්න’ කියලා. අර මානය බිඳින්න දෙවැනි ස්වාමීන් වහන්සේ ළහට ඇරියා. ඒ ස්වාමීන්වහන්සේ, ඊළහ ස්වාමීන්වහන්සේ ළහට යැව්වා. ඔහොම ඔහොම ගිහිල්ල අර මුළු සඟපිරිසෙම කෙළවර සිටින අළුතෙන් පැවිදිවෙච්ච හත් හැවිරිදි සාමණේරයන් වහන්සේ කෙනෙක් ළහට යැව්වා. ඒ සාමණේරයන් වහන්සේත් සුළුපටු කෙනෙක් නොවෙයි. රහත් කෙනෙක්. ඉතින් අර පෝඨිල ස්වාමීන්වහන්සේ වඩින අවස්ථාවේ මේ කුඩා සාමණේර නමුත් මහරහතන් වහන්සේ සිවුරක් මහමින් සිටිනවා, විවේක ස්ථානයක. පෝඨිල හාමුදුරුවෝ මේ සාමණේරයන් වහන්සේ ළහට ඇවිත් වැඳගෙන ඉල්ලා සිටියා, ‘සත්පුරුෂයාණන් වහන්ස, මට පිහිට වෙන්න, මට උපකාර කරන්න’ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේත්, ‘අපොයි, ඔබවහන්සේ බොහොම මහළු දැන උගත්, බහුශ්‍රැත ස්වාමීන්වහන්සේ කෙනෙක් නේ. අපිත් ඔබවහන්සේලාගෙන් යමක් ඉගෙන ගන්න ඕන එකේ ඇයි මෙහෙම කියන්නේ? කියලා. ’නෑ, නෑ, එහෙම කියන්න එපා. මා ආවේ නිවන් දැකීමේ බලාපොරොත්තුවෙනුයි. මට පිහිට වෙන්න. මම ඕන නම්, කියනවා නම්, ගින්නට වුනත් පනින්න සුදානම්’ කියලා තමන්ගේ කීකරු කමත් ප්‍රකාශ කළා. මේ පොඩි ස්වාමීන්වහන්සේ එතකොට මාන්නය නැතිකිරීමටත් කීකරුබව මැනීමටත් ඒ ළහ තිබුන විලක් පෙන්නලා කියනවා ‘එහෙම නම් ස්වාමීන්වහන්ස අන්ත අර විලට බහින්න’. හොඳ වටින සිවුරු එහෙම පොරවාගෙන හිටපු පෝඨිල හාමුදුරුවෝ ඒ සිවුරු පිටින්ම අර විලට බැස්සා. බහිනවත් එක්කම, යන්තම් සිවුරු කොන තෙමෙනවත් එක්කම, ආයෙත් අර කුඩා රහත් සාමණේරයන් වහන්සේ ‘වඩින්න, ස්වාමීනි’ කියලා කතා කරලා ඔන්න ඊළහට ඉතින් පාඩම් දෙනවා.
ටිකක් හිතන්න පුළුවන් මේ පින්වතුන්ටත්, කොයි විදියට ඇද්ද කියලා. හත් අවුරුදු සාමණේරයන්වහන්සේ කෙනෙක් - හුරුබුහුටී සාමණේරයන් වහන්සේ කෙනෙක් කොහොමද - හැබැයි රහත් කෙනෙක්. අර හාමුදුරුවෝ මහ උගත්, හිස පැහුණු, බොහොම බරපතල විදියේ පෙනුමක් ඇති හාමුදුරුවෝ. නමුත් ඒ හාමුදුරුවෝ උක්කුටිකයෙන් ඉඳගෙන දැන් මේ පාඩම ඉගෙන ගන්නවා. නිවන් දකින්න. මෙච්චර කාලයක් ඉගෙනගන්න බැරිවුන පාඩමක් මේ හත් හැවිරිදි සාමණේරයන් වහන්සේගෙන් ඉගෙන ගන්න සුදානම. මේ රහත් සාමණේරයන් වහන්සේ දෙන පාඩම මොකක්ද? ඕනම කෙනෙකුට හිතට ගැඹුරින් ගන්නත් පුළුවන්, සරලව ගන්නත් පුළුවන්, විදියේ උපමාවක් දෙනවා. ‘එහෙනම් ස්වාමීනි ඔන්න අපි හිතමු, හුඹහක් තියෙනවා, ඒ හුඹහෙ සිදුරු හයක් තියෙනවා. ඔය සිදුරු හයෙන් එක සිදුරකින් තලගොයෙක් ඇතුල්වුනා. මේ තලගොයා අල්ලගන්න ඕන නම් මොකක්ද කරන්න ඕන? අර සිදුරු පහක් වහලා ඒ තලගොයා ඇතුල්වුනු සිදුර ළහම රැක සිටින්න ඕන. රැක සිටින කොට එතැනින් පුළුවන් ඒ තලගොයා අල්ල ගන්න. අන්න ඒ වගේ, ස්වාමීනි, මේ ඉන්ද්රිය හයක් අපට තියෙනවා - හුඹහ වගේ අපේ මේ ශරීරයේ. මේ ඉන්ද්රිය දොරටු හයෙන් නොයෙකුත් අරමුණු, ඇතුල්වෙනවා. ඒ ඇතුල්වෙච්ච අරමුණු ’අල්ලගන්න’ ඕන නම් - මෙතන ‘අල්ලගන්න’ ඕනෙයි කියල කියන්නේ, ගැඹුරු අර්ථයෙන් අවබෝධ කරගන්න. ‘අල්ලගන්නවා’ කියන එක. මේ කාලෙක් පාවිච්චි වෙනවානේ - ‘මට ඒ කියන දේ අල්ලගන්න බැරිවුනා’ කියල එහෙම කියන්නේ. අන්න ඒ විදියේ අල්ලගැනීමක් මෙතන කියන්නේ. තලගොයා අල්ලගන්නවා කියල කියන්නේ අර අරමුණ - නොයෙකුත් අරමුණු, අපි යම් යම් දේවල් ගැන හිතන කොට ඒවට කියන්නේ ‘අරමුණ’ කියල. අරමුණේ නියම ස්වභාවය හරියාකාර අවබෝධ කරගැනීමයි අරමුණ අල්ලා ගැනීමයි කියල කියන්නේ. තලගොයා අල්ලගන්න අර සිදුරු පහ වහන්න වගේ, මේ ඉන්ද්රිය හය අතුරින් බාහිර ඉන්ද්රිය හැටියට සලකන ඇස, කණ, නාසය, දිව, කය කියල කියන මෙන්න මේ ඉන්ද්රිය දොරටු පහ වහල, ‘මන’ කියල කියන - ‘සිත’ කියල කියන මෙන්න මේ දොරටුවේ රැක්මේ යෙදෙන්ට ඕන. ඒකයි අදහස. එච්චර විස්තර කරන්ට අවශ්‍ය වුනේ නෑ. අර කුඩා ස්වාමීන්වහන්සේ මේ උපමාව කියනවාත් එක්කම, අර පෝඨිල ස්වාමීන්වහන්සේගේ පින මතුවෙලා, ඒක ගැඹුරින් අවබෝධවුනා. ඊළහට ඒ අවබෝධ වෙනවාත් එක්කම, බුදුපියාණන් වහන්සේ යොදුන් සිය ගණනක් ඈත ඉඳලා මේ සිද්ධිය බලාගෙන ඉඳලා, තමන්වහන්සේගේ බුද්ධ ඤාණයෙන් ඒ අවසානේ පෝඨිල ස්වාමීන්වහන්සේ තවත් උත්සාහවත් කිරීමට - අර කමටහනේ යෙදීමට උත්සාහවත් කිරීමට - අපි කලින් මාතෘකා කළ ගාථා ධර්මය වදාළා.
යෝගා වේ ජායතේ භූරි
අයෝගා භූරිසංඛයෝ
ඒතං ද්වේධාපථං ඤත්වා
භවාය
විභවාය ච
තථාත්තානං නිවේසෙය්‍ය
යථා භූරි පවඩ්ඪති
‘යෝගා වේ ජායතේ භූරි’ - යෝගය කියල කියන්නේ භාවනාවේ යෙදීමයි. භාවනා මනසිකාරයයි. ඒ භාවනා මනසිකාරයෙන් පොළොව තරම් මහා ප්‍රඥාවක් කෙනෙකුට ලබාගන්න පුළුවන්. ලොකු ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්. ‘අයෝගා භූරි සංඛයෝ’ - නමුත් ඒ විදියේ භාවනා මනසිකාරයක් නැත්තම්, යෙදීමක් නැත්තම්, එතැනදී වෙන්නේ ප්‍රඥාවේ පරිහානියයි. ප්‍රඥාව විනාශවෙලා යනවා. නුවණ නැතිවෙලා යනවා. ‘ඒතං ද්වේධාපථං ඤත්වා - භවාය විභවාය ච’ මෙන්න මේ මාර්ග දෙක - මේ මං සන්ධිය - තේරුම් අරගෙන, මේ දෙපැත්කට විහිදුනු පාරවල් දෙක හරියට තේරුම් අරගෙන, ‘තථාත්තානං නිවේසෙය්‍ය - යථා භූරි පවඩ්ඪති’ - ‘යම් ආකාරයකින් ප්‍රඥාව වැඩෙනවා නම්, අන්න ඒ ආකාරයට පිළිපදින්න, ඒ මාර්ගයේ ගමන් කරන්න, ඒ මාර්ගයට හැරෙන්න’, කියන එකයි බුදුපියාණන් වහන්සේ මේ ගාථාවෙන් පෝඨිල ස්වාමීන්වහන්සේට අනුශාසනා කළේ. ඒ වගේම, ඒ අනුශාසනාවටත් අනුව එයිනුත් ධෛර්යවත් වෙලා, අර පෝඨිල ස්වාමීන්වහන්සේ ඉතාම ශීඝ්‍රයෙන් භාවනා මනසිකාරය යොදලා රහත්වුනු බව සඳහන් වෙනවා. එතනින් අපට හිතාගන්න පුළුවන්, අර ගාථාව තුළ තිබෙනවා රහත්වීමට තරම් උපකාරවන ගැඹුරක්. මොකද ඒ? තමන් ප්රත්යක්ෂ කරගත්තු ධර්මයත් අර සාමණේරයන් වහන්සේ ඒ පොඩි උපමාවෙන්-තලගොයාගෙයි හුඹහෙයි උපමාවෙන්-කමටහනක් හැටියට ඉදිරිපත් කළ නිසා.
දැන් එතකොට අපට මේ කථාන්තරයෙනුත් හුඟක් ආදර්ශ ගන්න පුළුවනි. අපි ඉස්සෙල්ල ඒක ගැන ටිකක් බලමු. පළමුවෙන්ම, මේ කථාන්තරයෙන් අපට පෙනෙනවා දැනුමත් ප්‍රඥාවත් අතර වෙනස, දැන් මේ කාලේ බොහෝ දෙනා කවලම් කරගන්න දෙයක් මේක. දැනුම කියන එක ඉහවහා යන යුගයක් මේ කාලය. විද්යාවෙයි කියාගෙන තව නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර - පුස්තකාලයක් බැලුවාම පිරිලා පොතපත. ඒ විදියේ දැනුම් සම්භාරයක් ඉහවහා යන තරමට තියෙනවා ලෝකේ. නමුත් ප්‍රඥාව කියල කියන්නේ ඒක නොවෙයි. ප්‍රඥාව කියල කියන්නේ සියුම් වැටහීම. ඒක බොහෝදෙනාට අඩුයි. විශේෂයෙන්ම මෙතන ප්‍රඥාව කියල කියන්නේ නිවන් දැකීමට උපකාරවන ගැඹුරු වැටහීම - චතුරාර්ය සත්‍යය පිළිබඳ ගැඹුරු වැටහීම. ඒක බොහෝදෙනාට නෑ. ප්‍රඥාව සඳහා වෙහෙසෙන්නෙත් නෑ. ඒ වෙනුවට දැනුම් සම්භාරයක් කරගහගෙන, ඒකෙ බරින් මිරිකිල ජීවිතය ගෙවල, අන්තිමට මිය ගිහිල්ල, සමහරවිට නරක, තිරිසන්, ප්‍රේත ආදී ලෝකවල උපදිනවා. මොකද? අර දැනුම් සම්භාරයෙන් කෙනෙකුට සසරින් මිදෙන්න බෑ. ප්‍රඥාව සඳහා, ශීල-සමාධි-ප්‍රඥා කියන ඒ මාර්ගයේ ගමන් කරල, ඒකේ ශික්ෂණයක් ලබන්නට ඕන. එහෙම නැත්නම් තවත් විදියකින් කියනවා නම් - යම්කිසි භාවනා කර්මස්ථානයකින් සිත එකඟ කරගෙන, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්රිලක්ෂණය වඩල, මාර්ග ඵල අවබෝධ කිරීමටයි මේ ප්‍රඥාව කියල කියන්නේ. මෙන්න මේ දෙකේ වෙනස හොඳට පෙන්නුම් කරනවා එතකොට අර මහතෙරුන්වහන්සේ හැටියට සිටිය පෝඨිල ස්වාමීන්වහන්සේ, නොයෙකුත් උපාධි වශයෙන් තත්ත්ව ලබාගන්ට තරම් සුදුසුකම් තිබුණත්, බුද්ධ දේශනාවේ නියම පරමාර්ථය වන නිවන ප්රත්යක්ෂ කරගත්තේ නෑ. යටත් පිරිසෙයින් සෝවාන් වෙලාවත් නෑ. නමුත් අර සත්හැවිරිදි සාමණේරයන්වහන්සේ, ඒ ළහදී පැවිදිවුන නවක හාමුදුරුවෝ - ‘පොඩි හාමුදුරුවෝ’ කියල අපි කියන්නේ - නමුත් පොඩි කෙනෙක් නෙවෙයි මහරහතන්වහන්සේ කෙනෙක්. ඔන්න ඔය විදියේ විශාල පරතරයක් තියෙනවා දැනුමත් ප්‍රඥාවත් අතර.
ඊළහට, ඒ වගේම, අර බුදුපියාණන්වහන්සේ කළ නිග්‍රහයක් වගේ පෙනෙන ‘තුච්ඡ’ කියන වචනය ගැන හිතන කොට අපට තේරුම් ගන්න පුළුවන්, මේ භාවනා කර්මස්ථානයක් පරිහරණය කරන්න, ඒකට අනුව හික්මෙන්න, ඕන කරන මූලික දේ තමයි නිහතමානිත්වය. දැන් අර පෝඨිල ස්වාමීන්වහන්සේ, මුලදී ඒ විදියේ අඩු පාඩුකම් තිබුණත් කොයිතරම් නිහතමානීවද අර අවස්ථාවේ සාමණේරයන් වහන්සේගෙන් පිහිට ඉල්ලා සිටියේ. ඒක කාටත් ආදර්ශවත්. විනයක් අදින්න තරම් වටින අවස්ථාවක්. ඉතින් ඒ විදියට නිහතමානී ගුණයක් පෙන්නුම් කරනවා. ඒක ආදර්ශයක් ලෝකයාට. මහ දැන උගත්කම් තිබුණත් ලෝකෝත්තර ප්රත්යක්ෂය ඇති තැනැත්තා ළහ ඒ විදියට යටහත් පහත්ව, ගෞරව පූර්වකව උපදෙස් ලබාගත්තා. හොඳ ආදර්ශයක් පෝඨිල ස්වාමීන්වහන්සේ දුන්නා.
අනික් අතට බලනකොට, අර දුන්න උපමාව, ඒ වගේම අර සාමණේරයන්වහන්සේගේ තේජස පෙන්නුම් කරන විදියේ ශික්ෂණය. පෝඨිල ස්වාමීන්වහන්සේට කිව්වා විලට බහින්න කියල. ඒ තේජසට කීකරු වුනා. ඊළහට කුඩා ස්වාමීන්වහන්සේ දුන්න උපමාව, හුඹහට ඇතුල්වුන තලගොයෙකු පිළිබඳ උපමාව. මේ හුඹහ කියන එක ගැඹුරු අදහසක්. ධර්මයේම පෙන්නුම් කරල තියෙනවා මේ හුඹහෙ උපමාව. මවුපියන් නිසා ඇතිවෙලා ආහාරපානවලින් පෝෂණය වන, පඨවි, අපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතු හතරෙන් නිර්මාණය වූ - පොළොව, දිය, ගින්න, හුළඟ කියන මේ ධාතු හතරෙන් ඇතිවුනු - මේ ශරීර කුඩුව උපමා කරල තියෙනවා හුඹහකට. මේ ශරීර කුඩුවේ කියන සිදුරු හයක් තමයි ඔය කිව්වේ. බාහිර සිදුරු පහ වගේ තමයි ඒ බාහිර ඉන්ද්‍රියන් - ඇස, කණ, නාසය, දිව, කය කියන ඒව. මේවාට ‘සිදුරු’ කියල කියන්නේ මොකද - ‘දොරටු’. මේ දොරටුවලින් යම් යම් අරමුණු අපි ගන්නවා. ඇහැට රූප පෙනෙනවා. කණට සද්ද ඇහෙනවා. නාහයට ඝ්‍රාණ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. ඒවගේම සිතට සිතිවිලි එනවා. ඉතින් මේ විදියට අරමුණ ගලාගෙන එනවා මේ දොරටු හයෙන්, නමුත් මෙතනත් විශේෂත්වයක් තියෙනවා. අර බාහිර ඉන්ද්රිය පහ කියල කියන ඇස, කණ, නාසය, දිව, කය කියන ඒවායින් ගන්නා අරමුණු - ඒ ගලාගෙන එන අරමුණු - භුක්ති විඳින්නේ, ඒවා අනුභව කරන්නේ, සිතයි. මේක හරියට චිත්‍රයක් වගේ සලකනවා නම්, අර බාහිර ඉන්ද්රිය පහ වටේට තියෙනවා. මැදින් සිත තියෙනවා. අර පහෙන් ඒත ඔක්කොම පණිවිඩ - සංඥා පණිවිඩ - සිතේ තැන්පත් කෙරෙනවා. දැන් අර හුඹහ ගැන හිතුවත් අපට හිතාගන්න පුළුවන්, හුඹහෙ උඩින්ම තියෙන හිල වගෙයි මේ මනස. ඒකයි ප්‍රධාන. වට්ටේට තිබෙන සිදුරු පහ වගෙයි අර බාහිර ඉන්ද්රිය පහ. ඔය විදියටත් අපට හිතාගන්න පුළුවන් ටිකකට. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඇසින් අරමුණ ගත්තා කියලා. කණින් අරමුණ ගත්තා කියලා. නමුත් මේ කොහෙන් ගත්තක් මේවා ගිහිල්ල තැන්පත් වෙන්නේ සිතේ.
සිත ප්‍රධානයි. බුද්ධ දේශනාවේ විශේෂම, ශ්‍රේෂ්ඨම, කියමනක් තමයි ඒක. සමහරවිට නවීන විද්‍යාවේ ඒක එතරම් සැලකිල්ලට ගත්තේ නැතත් බුද්ධ දේශනාවේ මනසට ප්‍රධාන තැන දීලා තිබෙනවා. ‘මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා’ කියන පද දෙකෙන් ධම්ම පදයේ මුල් ගාථා දෙකක් ආරම්භ වෙන්නේ. ඒ බුද්ධ දේශනාවේ මූලික සිද්ධාන්තයක් වගෙයි. ‘මනෝ පුබ්බංගමා ධම්මා’ - ධම්මා කියල කියන්නේ එතන, සිතට අරමුණු වන දේවල්. අපිට ‘දේවල්’ කියල කියන්න පුළුවන්. අපි දේවල් කියල සලකන හැම දෙයකටම මනස පෙරටු වෙනවා. සිත තමයි මේවාට ප්‍රධාන වෙන්නේ. ‘මනෝ සෙට්ඨා’ - මනස ශ්‍රේෂ්ඨයි. ‘මනෝමයා’ - සිතින්මයි, ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනකොට, සිතින්මයි මේවා සකස් වෙලා තියෙන්නේ. ‘රූපයක්’ ‘ශබ්දයක්’ ආදී වශයෙන් ගන්නා දේවල්වල මේ සිත හා සම්බන්ධ කොටසයි බුදුපියාණන්වහන්සේ වැඩියෙන් මතුකරල දක්වන්නේ. මේවා හිතින්ම වගේ සකස්වෙලා තියෙන්නෙ. ඒක නිසා මනසින්මයි මේ ප්රශ්නය විසඳගන්න ඕන. මේ මනසින්ම ප්රශ්නය විසඳගන්නවා කියල කියන්නේ මොකක්ද? මේ එන අරමුණු මෙනෙහි කිරීමෙන්. මේ අරමුණු මෙනෙහි කිරීම තුළින් ඒවායේ නියම ස්වභාවය - ධර්මානුකුලව නියම ස්වභාවය - වටහා ගැනීමයි. සාමාන්‍ය ලෝකයා කරන්නේ මොකක්ද? ඇහැට එන රූපය වඩාත් හොඳින් බලන්න ඒ ඔස්සේ දුවනවා. කණට එන ශබ්දය ඔස්සේ දුවනවා. මේවා සංඥාවල්. ‘සංඥා’ කියන එක බුදුපියාණන් වහන්සේ උපමා කරල තියෙනවා මිරිඟුවකට. මේ මිරිඟුව කියල කියන්නේ මොකක්ද? පායන කාලේ මුවා දේශගුණික, කාලගුණික හේතුන් නිසා පොළොවේ උඩීන් පොපියන නලියන ස්වභාවයක් දැකලා වතුරෙයි කියල රැවටිලා ඒක ඔස්සේ දුවනවා. දුවන්න දුවන්න ඒක ඈත් වෙනවා. ඒක නිසා ඒකට මිරිඟුව කියල කියනවා. ‘මෘගතෘෂ්ණිකා’ කියල කියනවා. පිපාසය ඇති මුවා ඒක ඔස්සේ දුවනවා. ඉතින් බුදුපියාණන්වහන්සේ සංඥාවල් උපමා කරල කියන්නේ ඔන්න ඔය මිරිඟුවට. එහෙම ගත්තොත්, අපට දැන් ඇහැට පෙනෙන රූපයක් හරියට දකින්න කියල අපි වෙහෙසෙන ප්‍රමාණය කොයි තරම්ද කියතොත් අන්තිමට අණු දක්නත් මදි, දුර දක්නත් මදි. ඒ තරමට මේවා විග්රහ කරගෙන, විග්‍රහකරගෙන යනවා. නමුත් එයින් ධර්මයට ළං වෙන්නේ නෑ. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ යථා තත්ත්වය දැකීමට ළං වෙන්නේ නෑ එයින්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්රිලක්ෂණය අවබෝධ කරගත්ත එක ඒකාන්තයෙන්ම උපකාර වන්නේ නෑ.
ඒ වගේම තමයි ශබ්දය ආදියත්. මේවා ඔස්සේ බොහෝ දුරට දුවනවා. මේ දිවීමේ ආදීනවය මොකක්ද? දුවන්නේ මක්නිසාද? මේවා පිළිබඳ ආශාවන් නිසා. ආශාව, වැඩෙන දෙයක්. තෘෂ්ණාව, ආශාව, ලෝභකම ආදී නොයෙකුත් නම්වලින් හඳුන්වන ඒ කෙලෙස වැඩීමට හේතුවන දෙයක් මේ සංඥා ඔස්සේ දිවීම. ඒ වෙනුවට කරන්න කියන්නේ - විශේෂයෙන්ම විදර්ශනා භාවනාවේදී - මේ හැම දෙයක්ම කෙටියෙන් මෙනෙහි කිරීමයි. ඒ යෝගියා, යෝගාවචරයා, යන්නේ නිවත්මග, නිවන් ගමනක්. දැන් අපි උනත් යම් කිසි දුර ගමනක් යනවා නම්, ඒ ගමන ඉලක්කය කරගෙන යනව නම්, ඒ අතරතුරේදී තමන් යන වාහනේ හැම තැනම නවත්ත, නවත්ත මෙන්න හොඳ දර්ශනයක් තියෙනවා, හොඳ සින්දුවක් තියෙනවා කියල ඒවා දැකල අහල එහෙම යන්න හිටියොත්, ගමන යන්න බැරි වෙනවා. ඒක ප්‍රමාදයට හේතුවක්. ඒක නිසා අප්‍රමාදීව නිවන බලාපොරොත්තුවන තැනැත්තා, ඒ යෝග කර්මයේ, භාවනාවේ, භාවනා මානසිකාරයේ, යෙදෙන කොට, දකින රූපයක් පිළිබඳව එළවලා යන්නේ නෑ. ඒක ඔස්සේ දුවන්නේ නෑ. ඒ වෙනුවට කරන්නේ, සිතට දෙනවා ‘රූපයක්’ ‘රූපයක්’, ‘මේක රූපයක් පමණයි’ කියල දෙවරක් ඒ විදියට මෙනෙහි කරනවා. ඒකයි අර මෙනෙහි කිරීම කියල කියන්නේ. භාවනා මනසිකාරය. ‘රූපයක්, රූපයක්’, ඊළහට ශබ්දයක් පිළිබඳවත් - සිංදුවක් නම්, මේක කවුරු කියාපු සින්දුවක්ද, කොහොම සින්දුවක්ද කියල විග්රහ කරන්නේ නැතුව, භාවනාවට ඉඳගත්තු තැනැත්තා. ‘ශබ්දයක්. ශබ්දයක්’ කියල ඒක එතනින්ම කෙළවර කරනවා. ‘ශබ්දයක්, ශබ්දයක්’. ඒ විදියටම ගඳ සුවඳ පිළිබඳවත්. ඒකත් යම්කිසි දැනීමක් - ගඳක් හෝ සුවඳක්. ඒක කෙටියෙන් මෙනෙහි කරල එතනින් කෙළවර කරනවා, ඔන්න ඔය විදියට. එහෙම නැත්තම්, සිතිවිල්ලක් ආවත් ඒ සිතිවිල්ල වැවෙන්න නොදී, වැඩෙන්න නොදී, සිතිවිල්ලක් හැටියට මෙනෙහි කරනවා. සිතිවිල්ලක් පමණයි මෙතන කියන්නේ. ඒමගින් තමයි අර මිරිඟුව පස්සේ දිවීම වෙනුවට සිත නතර කරගන්න පුළුවන් වෙන්නේ. මේ දුවන සිත නතර කරගැනීම තමයි මෙතනින් කෙරෙන විශේෂ අභ්‍යාසය.
මේ සංසාරයේ දීර්ඝ කාලයක් අපි කළේ මොකක්ද? අර මුවා මිරිඟුව ඔස්සේ දුවන්නා වාගේ මේ අපේ ඉන්ද්රියයන්ගෙන් ලැබෙන සංඥා ඔස්සේ දිව්වා. කවදාවත් තෘප්තියක් නෑ. මුවා පිපාසය සන්සිඳුවා ගන්නයි දුවන්නේ, නමුත් පිපාසය වැඩිවෙනවා මිසක් ඒක කෙළවර කරගන්න වතුර හොයාගන්න බෑ. මොකද, මෙතන වතුරක් නැති නිසා. ඒ වගේම, අපි සාමාන්‍යයෙන් මේ අපේ ආශාවන් සන්සිඳුවා ගැනීමට හිතෙන් මවාගත්තු ‘දෙයක්’ ඔස්සේ දුවනවා. ‘දේවල්’ කියලා හිතාගන්න දේවල්, ඒ ‘දේවල්’ කියල කියන්නේ ඔන්න ඔය අරමුණු. නමුත් ඒවා එකක්වත් අපට අහුවෙන්නේ නෑ. ඒවායේ යථා ස්වභාවය අල්ලගන්න බෑ. ඇහෙන් බලලා, කණින් අහල, මේවායින් සැහීමකට පත්වන්න බෑ. ඒ වෙනුවට බුදුපියාණන් වහන්සේ කියන්නේ අර දොරටු පහ වහලා, සිතට එන දේවල් අර කියාපු විදියට මෙනෙහි කරන්න. ඒ එන සිතිවිල්ල පවා සිතිවිල්ලක් හැටියට මෙනෙහි කරනවා - ඒ සිතිවිල්ලට යටවෙන්නේ නැතුව, ඒක වැඩෙන්න ඉඩ නොදී. ‘සිතිවිල්ලක්’, ‘සිතිවිල්ලක්’ කියල එක හඳුනාගෙන එතනින්ම කෙළවර කරනවා. ඔන්න ඔය විදියට අර ‘ලත් තැන ලොප් කරනවා’ වගේ ඒ විදර්ශනා මනසිකාරයයි මෙතන මේ කියන්නේ, ‘තලගොයා අල්ලාගන්නවා’ කියලා, මේ අරමුණේ යථා ස්වභාවය වටහා ගැනීමයි. මේ ‘තලගොයා’ - ‘තලගොයා’ කියල කියන මේ අරමුණු - දීර්ඝ කාලයක් තිස්සේ දීර්ඝ සංසාරයේදී සිතේ තැන්පත් වෙලා ඉන්නවා ඉතා සියුම් ආකාරයට. අතීත සංසාරයේ අපි මේ සිතට එන සංඥාවන් නිසා ඇතිකරගත්තු අරමුණු සිත තුළ නිදාගෙන වගේ ඉන්නවා. ඒවා අවදිවෙලා පැනල යන්න බලනවා අර බාහිර ඉන්ද්රිය පහෙන්. ඇහැට එන රූපය පිළිබඳ අතීතයේ ඇති කරගත්තු යම්කිසි සංඥාවක් මතුවෙලා - සිත තුළින් මතුවෙලා - ඒකට බාහිර රූපයත් අල්ලගෙන, ‘අන්න ලස්සන රූපයක්’ කියල ඒක ඔස්සේ දුවනවා. ‘අන්න හොඳ සිංදුවක්’, ‘හොඳ මිහිරි නාදයක්’ කියල ඒක ඔස්සේ දුවනවා. සිතිනුත් මේව මතුවෙනවා. මතුවෙලා අර බාහිර ඉන්ද්රිය පහ ඔස්සේ දුවන්න පටන්ගත්තට පස්සේ ආයි නවත්ත ගන්න බෑ. ඒ වෙනුවට කරන්නේ මොකක්ද? අර දොරටු පහ වහල, භාවනායෝගිය, ඒවට ඉඩ නොදී, ඒව කෙටියෙන් සළකලා, ලත් තැන ලොප් කරල, සිත පිළිබඳව සෙවිල්ලෙන් සිටිනවා. මෙන්න මේ සෙවිල්ලෙන් සිටීමට උපකාර කරගන්නේ මොකක්ද? ඒකට තමයි සති සම්පජඤ්ඤය කියල කියන්නේ. සතිය කියල කියන්නේ සිහියයි. සම්පජඤ්ඤයට ‘මනා නුවණ’, කියල කියන්න පුළුවන් ‘දැනුවත් බව’. යමක් පිළිබඳව තේරුම් ගැනීමේ ශක්තිය, ඒ කියන්නේ අවබෝධ ශක්තියක්. එතකොට අපිට කියන්න පුළුවන් සිහියයි, නුවණයි කියල. සිහි නුවණින් යුක්තව යමක් පිළිබඳව තමාම - අනුන් දැනුවත් කිරීම නොවෙයි - තමාම දැනුවත් වෙනවා. ‘මේකෙ ස්වභාවය මෙහෙමයි’ රූපයක් නම් ඒකත් මිරිඟුවක්. ඒකත් සංඥාවක්. ඒක නිසා ඒක ඔස්සේ දුවන්නේ නැතුව ඒක රූපයක් පමණයි, ඒක ශබ්දයක් පමණයි, කියලා එතනින්ම නතරවෙනවා.
ඔය විදියට මෙනෙහි කිරීම තුළින් තමයි ක්‍රමක්‍රමයෙන් සංඥාවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට. සංඥාවෙන් මිදිලා තමයි ප්‍රඥාව මතුකරගන්න පුළුවන් වෙන්නේ. අර ගැඹුරු වැටහීම. ඒ ගැඹුරු වැටහීම කියල කියන්නේ මොකක්ද? බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට, මේ ලෝකේ හැම දේකම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. මේ අනිත්‍යතාව කෙනෙක් ප්රත්යක්ෂ කරගන්ට ඕන. මේ මෙනෙහි කිරීම තුළින් කෙනෙකුට ඒක ප්රත්යක්ෂ කරගැනීමේ ශක්තිය ඇති වෙනවා. අනිත්‍යතාව කියන එක අපි තව ටිකක් සවිස්තරව හිතුවොත්, හැම දේකම තිබෙනවා ඇතිවීමක් සහ නැතිවීමක්. ඇතිවීම-නැතිවීම දෙක තමයි මේ අනිත්‍යතාව කියලා කියන්නේ. රූපය ගත්තත්, වේදනාව ගත්තත්, සංඥාව ගත්තත්, සංස්කාර, විඤ්ඤාණ කියල කියන මෙන්න මේ පඤ්චස්කන්ධයම අනිත්‍යයි. මෙන්න මේ පඤ්චස්කන්ධය කියන ගොඩවල් පහයි ‘මමය’ ‘මාගේය’ කියල අපි ව්‍යවහාර කරන්නේ. මේ රූප ගොඩක්. අපි සමහරවිට ඡායාරූපයක් අරගෙන ‘මගේ රූපය’ කියල ආඩම්බරයෙන් කියනවා. එතන සටහන්වුනේ මොකක්ද? ඉතාම ශීඝ්‍රයෙන් වෙනස්වෙන රූප සමූහයක් - සන්තතියක්. මේක මිරිඟුවක් වගේ අර සංඥාවෙන් එකක් හැටියට පෙන්නුම් කරලා දෙනවා. එහෙම පෙන්නුම් කරන ස්වභාවයක් ලෝකේ තියෙනවා. මේ ඉන්ද්රියයන්ගේ පිහිටීමේ දුර්වලකම නිසා අපට අර ශීඝ්‍රයෙන් වෙනස්වීම පෙනෙන්නේ නෑ. ඒකට කියයනවා ඝන සංඥාවය කියලා. ලෝකේ හැම දෙයක්ම ‘ඝන දෙයක්’ ‘හැබෑ දෙයක්’ ‘ඇත්ත දෙයක්’ ‘නිත්‍ය දෙයක්’ හැටියට පෙනෙන ස්වභාවයක් තියෙනවා. අර ඇතින් පෙනෙන මිරිඟුව වතුරය කියල හිතන්නේ. නමුත් එතන මහ පොපියන වලන ගොඩක් තියෙන්නෙ. ඒ වගේම තමයි ඒ ඈත කියන දේ පමණක් නොවෙයි, මේ අපේ ළහ තිබෙන ශරීරයත් ඉතාම ශීඝ්‍රයෙන් මොහොතක් පාසා වෙනස්වෙනවා. ඒ රූපය. ඊළඟට වේදනාවත් එහෙමයි. ‘අපොයි වේදනාව’ කියලා කියන්නේ ඒක එකක් හැටියට හිතාගෙන. නමුත් එතනත්, අර මනසිකාරය කියල කියන මෙනෙහි කිරීමේ විදියට සිහි නුවණින් යුක්තව මෙනෙහි කරනකොට පේනවා. එතනත් තියෙන්නෙ වේදනා රාශියක්-ගොඩක්. ඒ වගේම සංඥාව කියන එකත් තට්ටු ගොඩක්. සංඥා තට්ටු ගොඩකින් තමයි අපි මේ කෙනෙක් හඳුනගන්නෙත්. ඉතාම ශීඝ්‍රයෙන් ඒ තට්ටු ගොඩ එකක් හැටියට අපි ගන්නවා ඝන සංඥාවෙන් - ඒක රූපයක් හැටියට. ඒ වගේම සංස්කාර කියල කියන අපේ චේතනාවල්. ඒවත් ඉතාම ශීඝ්‍රයෙන් ඇතිව, නැතිවෙනවා. විඤ්ඤාණය කියන එකත් ‘සිතය’ කියල කිව්වට. ‘මගේ සිතය’ කියල කිව්වට, ඉතාම ශීඝ්‍රයෙන් ‘සිතා ගන්න බැරි තරම්’ වේගයෙන් ඇතිව නැතිවෙනවා. අන්න ඔය විදියේ තත්ත්වයක් ලෝකයේ තිබෙද්දී අපි සාමාන්‍යයෙන් මේවා ඝන සංඥාවෙන් එකක් හැටියට අරගෙන ‘මමය’ ‘මාගේය’ කියල ව්‍යවහාර කරගන්නවා. ‘මමය’ කියල කියන කොට, ‘මමෙක්’ ඉන්නවා නම්, මට අයිති දේකුත් තියෙන්න ඕන. ඉතින් ඔය දෙක බෙදාගන්න ගිහිල්ලයි මේ සංසාර ගැටළුව ඇතිකරගන්නේ. ‘මමයි’ ‘මගේ දේයි’. ඔය විදියට ඒ ඝන සංඥාව නිසා ඇතිවෙනව මෝහයක්.
යම් කිසි කෙනෙක් අර භාවනා මානසිකාරයේ යෙදෙන කොට යම්කිසි සමාධි සිතක් ඇතිව සිත තැන්පත් කරගෙන, අර විදියට දුවන සිත නවත්ත ගන්නවා, පළමුවෙන්ම දුවන්න නොදී-සිත ගැන සැළකිල්ලෙන් සිටීමෙන්. ඊළහට තවත් ගැඹුරින් මෙනෙහි කරගෙන යනකොට පේනවා මෙතන මේ ඇතිවීම නැතිවීම ගොඩක් පමණයි තියෙන්නෙ. ඇතිවෙන දේකුත් නැතිවෙන දේකුත් නෑ. අන්තිමට මේ ‘දෙයක්’ කියල ගත්තු දේ පවා - ඒකත් නෑ. මෙතන තියෙන්නෙ වලන රාශියක් පමණයි කියන හැඟීම එනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ‘දෙයක්’ කියල කිව්වට මොකද, මේ අරමුණ-මේ ‘දෙයක්’ කියල කියන අරමුණ පවා-මේවායේ අමුතුවෙන් එල්ලෙන්න තරම් ‘දෙයක්’ නැතිබව පෙනී යනව. මොකද, අර ඝන සංඥාව ඉවත්වෙලා රාශියක් හැටියට පේනව-හැම තැනම, බලන බලන තැන. යෝගාවචරයාකුට ඒ ප්රත්යක්ෂය ලං වෙන කොට තමාගේ ශරීරයක්, වේදනා සංඥා ආදි හැම දෙයක්මත් වලන ගොඩක් හැටියට වැටහෙනවා. ඒක වෙන කෙනෙකුට පෙන්නන්න බෑ. තමාටයි ඒක වැටහෙන්නේ. ඒක තමයි ‘ප්රත්යක්ෂය’ කියල කියන්නේ. එහෙම වැටහීම තුළින් තමයි ඊළඟට, මේ විදියේ ඇතිවීම-නැතිවීම දෙකක් කියන දෙයක් නේද මම මේ ‘මමය’ ‘මාගේය’ කියල බදාගෙන ඉන්නේ, ආසා කරන්නේ, කියල කලකිරීමක් ඇතිවෙනවා. ඒවගේම, මේවා නැවත ඇති කරගැනීමට උත්සාහය නැතිවෙනකොට, වැඩියෙන් පේන්නෙ නැතිවත, බිඳියන, ස්වභාවයයි. ඒ බිඳීම නිසා භයක් ඇතිවෙනවා. දැන් අපි යමක් අල්ලාගෙන ඉන්නවා නම්, පිහිට සොයාගෙන යමක් බදාගෙන ඉන්නවා නම්, ඒ අල්ලාගෙන ඉන්න දේ, බදාගෙන ඉන්න දේ, බිඳෙන කොට අපට යම්කිසි භයක් සංවේගයක් ඇතිවෙනවා. අන්න ඒ වගේ අර යෝගාවචරයාට මේ පඤ්චස්කන්ධය පිළිබඳව මේ විදියට මෙනෙහි කරගෙන යනකොට, ‘මෙතන ගන්න දෙයක් නෑ. අල්ලගන්න දෙයක් නෑ. මේක මහ භයානක තත්ත්වයක්. මේ මුළු මහත් සංසාරයේ බිඳෙන පදනම් ගොඩක් උඩ ඉඳගෙනයි අපි මේ සතුටින් හී ගයන්නේ’ කියල ඒ අවබෝධය එනවා. ඒක නිසා, ඇත්තවශයෙන්ම මෝහය නිසයි, අවිද්‍යාව නිසයි, සංසාරයේ අපි දීර්ඝ කාලයක් ගමන් කරන්නේ, මිරිඟුව ඔස්සේ දුවන මුවා වගේ. ඒ වෙනුවට මෙතන අර අවබෝධය මතුවෙන කොට, ප්‍රඥාව මතුවෙන කොට, පේනවා ‘මමය’, ‘මාගේය’. කියල ගත්තු මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ කියන මේ හැම එකක්ම ඉතාම ශීඝ්‍රයෙන් වෙනස්වෙන බව, බිඳී යන බව. මේවා ඇතිවෙමින් නැතිවෙමින් යනවා. ඔය විදියට තමයි විදර්ශනා ඥාන මෝරලා යන්නේ.
එතකොට, මෙන්න මේ මනසිකාරය කියන එකේ ඇති වටිනාකම අපි කල්පනා කරන්න ඕන. මනසිකාරය කියන්නේ හිත ඇතුළෙම කෙරෙන දෙයක්. භාවනායෝගියා සාමාන්‍යයෙන් අර බිත්තර රකින කිකිළියක් වගේ අමුතු වැඩක් කරන්නේ නෑ ලෝකයෙ. පෙනෙන්නේ නෑ කරන දේ. නමුත් හිත ඇතුළේ කෙරෙන මේ මනසිකාරය තුළින් තමයි ඒ තැනැත්තාගේ ප්‍රඥාව වැඩෙන්නේ. සාමාන්‍ය ලෝකයාට මේක අවබෝධ කරගන්න අමාරුයි. මෙන්න මේ භාවනා මනසිකාරය තුළින් යම්කිසි කෙනෙකුට යම්කිසි අවස්ථාවක ක්‍රමක්‍රමයෙන් වැටහීගෙන යනවා, ‘මුළු මහත් සංසාරයේ මා මේ නිෂ්ඵල ගමනකයි යෙදිල තිබෙන්නෙ, අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා. මේ බිඳෙන දෙයක්, ඉතාම ශීඝ්‍රයෙන් වෙනස්වෙන දෙයක්, ’මමය’ ‘මාගේය’ කියල අරගෙන, ඒ නිසා ඇතිකරගත්තු කෙලෙස්ධාරාවකට, කෙලෙස් ගොඩකට යටවෙලයි මේ සංසාරය ගෙවන්නේ. නොයෙකුත් විදියේ ජාති අපි කර්මානුරූපව ලබන්නේ. මේ අවබෝධය ගැඹුරුවෙන්ත ගැඹුරුවෙන්න කෙනෙකුට මේක අතහරින්න පුළුවන් ශක්තියක් එනවා. දැන් අතහරිනවා කියල කියන කොට, අල්ලගෙන කියන දෙයක් අතින් ගිලිහිලා යනව කියන හැඟීමයි කෙනෙකුට එන්නේ. නමුත් එහෙම බලනවා නම් කොහොමද මේ පඤ්චස්කන්ධය අතහරින්නේ කියල කෙනකුට ප්‍රශ්නයක් එනවා. අපි මේ අතහරිනවා කියල වචනෙන් කිව්වට මෙතන සිද්ධවෙන්නේ අමුතුම දෙයක්. ඒ යෝගාවචරයා අර විදියට මෙනෙහි කරගෙන යනකොට මේ ඇතිවීම නැතිවීම දෙකයි ඊළඟට මේක බිඳෙනවා පේනවා. ඇතිවෙනවාටත් වඩා ශීඝ්‍රයෙන් බිඳෙනවා වගේ වැටහෙන්ට පටන් ගන්නවා. ඊළඟට මේක නිසාම යම්කිසි භයක් ඇතිවෙනවා, සංවේගයක් ඇතිවෙනවා. ඒවගේම මේකෙ ඇති ආදීනව පෂය, මේකෙ අල්ලගන්න දෙයක් නෑ කියන වැටහීම එනවා. ඊළඟට මෙයින් මිදෙන්නට ඕන කියන අවබෝධයක් එනවා. මේයින් මිදෙන්න ඕන කියන එක. ඒ මිදීමට මාර්ගය තමයි අර කලකිරීම. දැන් අපි දන්නවා හොඳට හැඩවැඩ ඇතිව ඉන්න කැමති කෙනෙක්, තරුණයෙක් හරි තරුණියක් හරි, ඔක්කොම ඇඳුම් ඇඳගෙන හොඳ උත්සවයකට යන්න ලෑස්තිවෙල ඉන්න අවස්ථාවක, කවුරුවත් බලුකුණක් හරි සර්ප කුණක් හරි මිනී කුණක් හරි ඇඟේ දැම්මොත් කොයිතරම් ඉක්මනින් උරහිස් හොලවලා ඒක අහක් කරනවාද? අන්න ඒ වගේ, අර වැටහීම එන්නට, මේවායේ භයානක ස්වභාවය ගැන, හිත තුළින් යම්කිසි එපාවීමක් එනවා. කලකිරීමක් එනවා. ඒ කලකිරීම වෙන අයට කියන දෙයක් නොවෙයි. තමා තුළින්ම එන ඒ කලකිරීම උපකාර කරගන්නේ මේ සසරින් මිදීමටයි. මොකද, සසරේ බැඳීම කියන්නේ තණ්හාව උඩයි, ආශාව උඩයි, ඇල්ම උපාදාන කියලා කියන හිතින් අල්ලා ගැනීම උඩයි. මෙතන තියෙන්නෙ හිතෙන් අල්ලාගැනීමක්. දැන් අපි මේ අවස්ථාවේ මොකක්වත් අතින් අල්ලගෙන නෑ. නමුත් සිතින් කොයිතරම් දේවල් අල්ලගෙන කියනවාද කියන එක මේ පින්වතුන් හොඳට දන්නවා. මේ මුළු මහත් ලෝකය අයිති කරගත්තවා කියල කියන්නේ මොකක්ද? හිතින් අල්ලගැනීම. මුළු ලෝකය ජයගත්තු රජවරු ලෝකය අයිති කරගත්තෙ කොහොමද? හිතින් අල්ලගත්ත, තණ්හාවෙන්. මේක මගෙයි කියල හිතාගත්ත. මේ අපේ ශරීර කුඩුවත් අපිට අයිති නෑ, ඇත්ත වශයෙන්. මොකද, මේක ඇතුළේ පණුවෝ අසූකුලයක් ඉන්නවා කියල කියනවා. හිසේ උකුණෝ. ඒ හැම දෙනාටම අයිතියි. ඒකට කියන්නේ ‘බහු සාධාරණ’ කියල. මේ ශරීරය කාටත් අයිති දෙයක්. ඒ වගේම අපේ වතුපිටි ඉඩකඩම් සොර සතුරන්ටත් අයිතියි. වඳුරන්, රිලවුන් ආදී සතුන්ටත් අයිතියි. නමුත් ‘අපේ’ - හැම දෙයක්ම අපේ. රටත් අපේ, ගමත් අපේ, ලෝකයත් අපේ, මේ හැම එකක්ම අපේ කියල අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා. නමුත් මේකෙ යථා තත්ත්වය බලනකොට මේ එකක්වත් අපේ නොවෙයි. බුදුපියාණන්වහන්සේ ඔන්න ඔය සාමාන්‍යයෙන් තිත්ත හැටියට සැළකෙන සත්‍යයයි ප්‍රකාශ කළේ. තිත්ත නමුත් සත්‍යය නම් අපි පිළිගන්නට ඕන.
ඔය විදියේ සත්‍ය දර්ශනයක් තුළින් තමයි, යම්කිසි කෙනෙකුට මේ සංසාරයෙන් මිදෙන්ට පුළුවන් වෙන්නේ. ඒකට උපකාරවන මාර්ගය තමයි මේ භාවනා මනසිකාරය. එතකොට මේ පින්වතුන් අද දවසේ කල්පනා කරන්ට ඕන. මේ අපි උපමා හැටියට දක්වන කථාන්තර සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ක්‍රියාවට තගන්න බැරි දේවල් හැටියට කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් අර හත් අවුරුදු සාමණේරයන් වහන්සේ අර තරම් උතුම් තත්ත්වයක්, රහත් තත්ත්වයක් ලබාගත්තේ කොහොමද? පොතපත කියවලද? ලොකු දැනුමක් ලබාගෙනද? නෑහැ. භාවනා මනසිකාරය තුළින්. අර හුඹහෙ ඉන්න තලගොයා හරියට අල්ලාගත්ත ඒ පොඩි හාමුදුරුවෝ. බාහිර ඉන්ද්රිය පහ කියන සිදුරු පහ වහල, ‘සිත’ කියන ඒ සිදුරෙන් තලගොයා හරියට අල්ලගත්ත නිසා තමයි රහත් උනේ. එතකොට එදිනෙදා ජීවිතයේ ඉතාමත්ම ප්‍රායෝගික පාඩමක් මෙතන මේ හත් අවුරුදු සාමණේරයන්වහන්සේ අර පෝඨිල ස්වාමීන්වහන්සේට ඉගැන්නුවේ. ඒක අපිත් ප්‍රයෝජනයට ගන්න ඕන. ප්‍රායෝගික එකක් කරගන්නට ඕන, එදිනෙදා ජීවිතයේදී. මේ කාලේ බැහැයි කියල අපි බොහෝවිට කියනවා. නමුත් මේ උපමාව තුළින් අපට පේනවා අපේ එදිනෙදා ජීවිතයේ පවා මේ භාවනා මානසිකාරයට තැනක් ඇතිකරගන්නට පුළුවන් බව. සමහරෙකුට හිතෙන්න පුළුවන් අර කියාපු විදියට කොහොමද මේවා මෙනෙහි කිරීම් පමණකින් නතර වෙන්නේ කියලා. මේව ඔස්සේ දුවන්න ඕන තේද කියලා හිතෙන්න පුළුවන්, එදිනෙදා ජීවිතයේදී. නමුත් භාවනායෝගියා කල්පනා කරන්නේ ඒ විදියේ පටු දෘෂ්ටි කෝණයකින් නොවෙයි. මේ දීර්ඝ කාලයක් අපි මේ මහා රැවටිල්ලකයි හිටියේ. අවිද්‍යාව, මෝහය, කියල කියන මහා රැවටිල්ලක් මේ ඉන්ද්රිය පහ නිසා ඇතිවෙල තිබෙනවා. මේවායේ සත්‍ය ස්වභාවය වටහාගන්න නම්, මේ බුදුපියාණන්වහන්සේ ප්‍රකාශකළ ආකාරයට යම්කිසි ශික්ෂණයක් අවශ්‍යයි. දැන් මේ අවස්ථාවේ සමාදන්වුනා වගේ යම්කිසි ශීලයක් සමාදන්වෙලා කය වචනය හික්මවා ගන්ට ඕන, පළමුවෙන්ම. ඒ ශීලය මත පිහිටලා සිත සමාධිමත් කරගන්නවා කියල කියන්නේ සිත එකඟ කරගන්නවා. එකඟවුන සිතටයි මේ යථාතත්ත්වය පේන්නේ. විසුරුණු සිතකට ලෝකයේ යථාතත්ත්වය වැටහෙන්නේ නෑ. ඒක නිසා සිත වික්ෂිප්ත වන හේතුන් ඉවත් කරල සිත තැන්පත්කර ගන්ට ඕන, යම්කිසි කමටහන් අරමුණක.
ඒ විදියට සිත එකඟ කරගත්තට පස්සේ අන්න ඊළහට මේ මෙනෙහි කිරීම හරියාකාරව කෙරෙනවා නම් කෙනෙකුට ක්‍රම ක්‍රමයෙන් වැටහෙන්නට පටන්ගන්නවා, මේ අපි එකක් හැටියට ගත්තු - ඝන සංඥාවෙන් ගත්තු - දෙය පිළිබඳව, මෙතන රාශියක් තියෙන්නෙ, ගොඩක් තියෙන්නෙ. මේ ගොඩක් කියල කියන්නේ මොකද? ගොඩක්ය කියල වැටහෙන්නේ එක එකක් වෙන් ව වැටහෙන නිසයි. දැන් ඉදලක් දිහා බලල අපි මේක ඉදලක්ද කියල සැළකිල්ලෙන් බලනකොට පේනව මෙතන තියෙන්නෙ ඉරටුගොඩක් කියලා. එතකොට ඒ එක එක ඉරටුවක් වෙන් වෙන්ව පේනව. ඒ වෙන් වෙන්ට පෙනීම තුළ තිබෙනවා අර නාම රූප ධර්ම. නාම රූප ධර්ම කියල කියන යම්කිසි ගැඹුරු ධර්ම කාරණයක් වැටහෙන අවස්ථාවක් ඒක. දැන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මයට අනුව, ඇත්ත වශයෙන්ම තිබෙන්නෙ මෙතන නාමරූප දෙකක් පමණයි. ‘මමය’ කියල කෙනෙක් නෑ මෙතන. ඒකයි බුද්ධ දේශනාව. නාමය කියල කියන්නේ, අපි සාමාන්‍යයෙන් නමයි කියල හිතාගත්තට මොකද, වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය, මනසිකාරය කියල කියන මේ ධර්ම පහයි. අපි එදිනෙදා ජීවිතයේදී උනත් යම්කිසි විඳීමක් - වේදනාවක් ආශ්රයෙන් යම්කිසි හැඳිනීමක් ඇතිකරගන්නවා. ඒ හැඳිනීම උඩ සිතනවා - චේතනා. ඒ සිතීම් තුළින් අපි යම්කිසි ස්පර්ශයක්, යම්කිසි ස්ථානයක් කෙරෙහි මෙනෙහි කිරීමක් කරනවා. ඔය ටික තමයි නාමධර්ම කියල කියන්නේ.
ඊළහට මේකෙ රූප කොටස මොකක්ද? රූප හැටියට සලකන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර. මේ ධාතු හතර ඉතාම සියුම් අන්දමින් මිශ්රවෙලා. අපි මේ වතුරය කියල කියන එකේ අනෙකුත් ධාතුත් අඩංගුයි. නමුත් අර ආපෝ ධාතුව එකේ වැඩියෙන් ප්රකටව තිබෙනවා. ඒක නිසා අපි වතුරය කියල කියනවා. ඒ විදියට මහා පුදුම අන්දමින් සම්මිශ්‍රණය වෙච්ච, අල්ලගන්න බැරි භූතයෝ හතර දෙනෙක් වගෙයි මේ මහාභූතධර්ම කියන ධාතු හතර. ඔය ධාතු හතරෙන් තමයි අපේ මේ ශරීර නිර්මාණය වෙලා තියෙන්නෙ. දැන් අපි මේ ‘මමය’ ‘මාගේය’ කියල අනිත් අයගේ ශරීරවලට කිට්ටුවෙන්න නොදී, ඈත බලාගන්න, පිරිසිදු කරගන්න, මේ ශරීර කුඩුව මියගියාට පස්සේ සොහොනක කනත්තක දැම්මට පස්සේ, අනිත් අය අඳුනගන්නේ කොහොමද? ඔක්කොම අන්තිමට පොළවට පස්වෙනවා. මේ පස්වල සාරය ආහාරය හැටියට අරගෙන තමයි අපේ මේ ශරීරය ගොඩනැගුනේ. දීර්ඝ කාලයක් තිස්සේ, අවුරුදු විස්සක්, තිහක්, සියයක්, පමණ කාලයක් තිස්සේ මේ ශරීර කුඩුව ගොඩනැගුනා. ඊළඟට මේක දිරාපත් වුනාමත් පස්වෙනවා. පස්වලින්ම ඇතිවෙල පස් බවට පත්වෙනවා. අන්න එතන තියෙන්නෙ. එතකොට ධාතු හතර පමණයි. නමුත් අපට මේක එදිනෙදා ජීවිතේදී වැටහෙන්නේ නෑ. සිතට වැටහෙන්නේ නෑ. මේක භාවනානුයෝගියාට ඉතාම සියුම් අන්දමින් වැටහෙනවා. ඉතින් ඕක තමයි රූපය කියල කියන්නෙ. භාවනානුයෝගියගෙ බාසාවෙන් ‘රූපය’ කියල කියල කියන කොට වැටහෙන්නෙ මොකක්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරයි. අනිත් අය කොයි විදියට මේක ‘ලස්සන රූපයක්’ ‘අලංකාර රූපයක්’ ‘කොයිතරම් ලස්සන රූපයක්ද’ කියන කොට අර ඒ ගැඹුරු ප්‍රඥාව ඇති තැනැත්තාට ‘මොකක්ද මෙතන තියෙන්නෙ, ධාතු හතරයි,’ කියන වැටහීම එනවා.
ඒ වගේම තමයි අර සිත කියල කියන. එහෙම නැත්නම් ‘නාමධර්ම’, කියල කියන කොටස. එතනත්, මෙන්න මේ තමන්ට ප්රත්යක්ෂවන වේදනාවක් තියෙනවා. ඒ තුළින් ගන්නා සංඥාවක් තියෙනවා. දැන් මේ ඉඳගෙන ඉන්න කොටත් යම් කිසි වේදනාවක් තියෙනවා අන්න අතන අහවල් තැන රිදෙනවයි කියන්නට පුළුවන් විදියට. ඊළහට හැඳිනීමක් තියෙනවා, මදුරුවෙක් කෑවද කියලා. වේදනාවක් එනවා. ඊළහට ස්පර්ශය පිළිබඳ - හැපෙන තැන පිළිබඳ - වැටහීමක් එනවා. ඒ ඔක්කොම කරන්නේ මානසිකාර කියල කියන මෙනෙහි කිරීමෙන්. අවසාන වශයෙන් බලනකොට මෙනෙහි කිරීමයි. මෙනෙහි කිරීම තුළින්මයි, එතකොට, අරමුණක ඇති හිස් බව තේරුම් ගන්නේ. අපි පටන්ගත්තෙත් අර තුච්ඡ පෝඨිල කියල කතාවකින් - හිස්බව පිළිබඳව. ඒක වෙන අර්ථයකින්. දැන් මෙතන අන්තිමට එන්නෙ ශූන්‍යත්වය කියල කියන හිස්බවක්. මේ කියන්නෙ, අරමුණ විනිවිද දැක්මක්. සාමාන්‍ය ලෝකයා කරන්නේ අරමුණක් ඔස්සේ දිවීමයි. අර මිරිඟුව ඔස්සේ මුවා දුවන්න වගේ. යෝගාවචරයා කරන්නේ අරමුණ දිහා නැවතිලා බලලා අරමුණ විනිවිද දැකීමක්. අරමුණ විනිවිද දැකීම කියලා කියන්නේ අරමුණේ අනිත්‍යතාව දැකීමයි. ඒ අරමුණ හැටියට ගත්තු එක ඉතාම ශීඝ්‍රයෙන් ඇතිවන නැතිවන දෙයක්. දැන් අපි හිතමු පහන් දැල්ලක් දිහා බලාගෙන හිටියා කියල. ඒ ලොකු පහන් දැල්ල බොහොම ලස්සනට කහපාටට, එහෙම නැත්නම් රතුපාට යන්තම් ඇතිව, ලස්සන ආකාරයකින් පේනවා. මේක අර භාවනා මනසිකාරය දියුණුවෙනකොට පේන්නේ කොහොමද? ඉතාම ශීඝ්‍රයෙන් ඇතිවන නැතිවන පහත් දැල්ලවල් ගොඩක් වගේ. එක දැල්ලක් නොවේ. ඒ වගේම අපි හිතමු දැන් වතුර ගලාගෙන යන දොළ පාරක්. එහෙම නැත්තම් වතුර වැක්කෙරනවා මොකකින් හරි. දැන් ඔය දිය පීල්ලක, දිය ඇල්ලක ජලධාරාවක් ඈතට පේන්නේ හරියට රිදී බිත්තියක් වගේ. කිට්ටු වෙලා බලනකොට අන්තිමට මෙතන තියෙන්නේ ඉතාම ශීඝ්‍රයෙන් වැටිල බිඳිල යන, එක මොහොතක් එක ආකාරයෙන් නොපවතින, ජලධාරාවක්. ඒ වගේම එක විසිරිලා යනවා පේනවා. ඒක ඝන සංඥාවෙන් ගැනීම තුළිනුයි එකක් හැටියට වැටහෙන්නේ. නමුත් අර නුවණට, ප්‍රඥාවට වැටහෙනවා අවසානයේදී මෙතන එකක් කියල ගන්න දෙයක් නෑ. ‘දෙයක් නෑ’. මෙතන කියන මේ අරමුණ අන්තිමට විනිවිද දකිනවා. මේක මහ පුදුම දෙයක්. පටන් ගන්නේ අරමුණෙන්. පටන් ගන්නේ අරමුණ මෙනෙහි කිරීමෙන්. නමුත් අවසාන වන්නේ අරමුණේ හිස්බව දැකීමෙන්. අරමුණ විනිවිද දැකීමෙන්.
ඔන්න ඔය විනිවිද දැකීම තුළින් තමයි අවසානයේදී තමන්ටම ප්රත්යක්ෂ වන්නේ ‘මමය’, ‘මාගේය’ කියල මෙතන අල්ලගන්න දෙයක් නෑ කියල. මමෙක් ඉන්නවා නම් තමයි මට අයිති දෙයක් තියෙන්නේ, මමෙක් නැත්නම් මට අයිති දෙකුත් නෑ. ඒ වගේම මෙතන අර ‘මම’ කියන සංඥාව අවිද්‍යාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිතේ තැන්පත්වුනු, සමාජය විසින් උසිගන්වලා එහිම රඳවාගන්න බලන එක්තරා අවිද්‍යාවක්, මෝහයක් බව කෙනෙකුට වැටහෙනවා. ඉතින් මේ ප්රත්යක්ෂය සමාජයට කෑ ගහල කෙනෙකුට බෑ අවබෝධ කරවන්න. කාටවත් කියල දීල බෑ මේක කරවන්න. අර පෝඨිල ස්වාමීන්වහන්සේට අර තරම් පොත් ඉගෙනගෙනත් මේක අවබෝධ කරගන්න බැරිවුනේ මොකද? බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා මේ ධර්මය,ස්වක්ඛාතවූ මේ ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි. ඒහිපස්සිකයි, ඔපනයිකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ආදී නොයෙකුත් වචනවලින්. ඒ මොකද? මේක නුවණැත්තන් විසින් තම තමන්ම ප්රත්යක්ෂ කරගතයුතු දෙයක්. වෙන කෙනෙකුට මේක ප්රත්යක්ෂ කරවන්න බෑ. ඒ සඳහා යෙදිය යුතු මාර්ගයි අර යෝග කියල කිව්වේ - භාවනා මනසිකාරය, නිසි ආකාර භාවනා මනසිකාරය.
යම්කිසි කමටහනක් අරගෙන - අපි හිතමු, ආනාපානය - අප සමග උත්පත්තියේ සිට මරණය දක්වාම සිටින මෙන්න මේ ආශ්වාස - ප්‍රශ්වාස ක්‍රියාවලිය තුළින්මත් ඇතැම් කෙනෙකුට මේ කියාපු ඥානය මතුකරගන්න පුළුවන්. ඒක ඉතාමත් ප්‍රකට කාරණයක්. දැන් අපි මේ හුස්මක් ගන්නවා කියල කිව්වට මොකද, මෙතන තියෙන්නෙ හුස්ම රැළි ගොඩක්. හුස්මක් හෙළනව කියන්නේ එතනත් රැළි - වලන ගොඩක්. නමුත් මේ රැළි ස්වභාවය, සාමාන්‍යයෙන් වැටහෙන්නේ නෑ. මොකද වැටහෙන්නේ නැත්තේ? ‘මම හුස්ම ගන්නවා’. මේ ගත්තෙ ‘මගේ හුස්මයි’. අපි හිතමු හොඳ මල්වල සුවඳ සහිත හුස්මක් ගත්ත බොහොම ආසාවෙන්. එක්කො හදුන්කුරු සුවඳ වාගේ දෙයක් එක්ක හුස්මක් ගත්ත. ‘මම’ හුස්මක් ගත්ත නමුත් ඒක තියාගන්න බෑ. අන්න ලෝක ධර්මතාව. එහෙම කොයිතරම් ආසාවෙන් ගත්තත් හුස්මක් අපට රදවාගන්න බෑ. පපුව හිරවෙනව. ඒ නිසා ඒ හුස්ම හෙලන්න වෙනවා. ඒ හෙළීම තුළ තිබෙන්නේ අර වගේම වලන ගොඩක්. ඉතින් මෙතන අන්තිමට බලනකොට ඇතිවෙන්නෙත් වලන ගොඩක්, නැතිවෙන්නෙත් වලන ගොඩක් කියල කියන්න වෙනව. එකත් අන්තිමට නැතිවෙල ගිහිල්ල ඒ වලනමත් ඉතාම සියුම් ආකාරයන් කෙනෙකුට වැටහෙනව. මේක මේ බාහිර යන්ත්‍ර සූත්‍රවලින්, කොයිතරම් සියුම් අන්දමේ යන්ත්‍ර සූත්‍රවලින් නමුත් කෙනෙකුට අවබෝධ කරගන්න බෑ. තමා තුළින් ඇතිකරගන්න ප්රඥාවෙන්මයි මේක කෙනෙකුට වැටහෙන්නේ. මේ වැටහීම තුළිනුයි යම්කිසි කෙනෙකුට මේ පඤ්චස්කන්ධය අතහරින්න පුළුවන් වන්නේ. මේ ශරීර කුඩුවෙන් මිදෙන්න ඕන කියල දිවි නසා ගත්තට ඒ ප්‍රශ්නෙන් මිදෙන්නෙ නෑ. ඒ ප්රශ්නය උග්රවෙනව මිසක්. ඊළහට කර්මානුරූපව නැවත කොහේහරි උපදිනව. දැන් බොහෝ දෙනෙක් ජීවිත පූජාව හරි ජීවිත පරිත්‍යාගය හරි කියල තමන් ඇලුම් කරන දෙයක්, ඇලුම් කරන කෙනෙක්, වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා - ඒක ලොකු දෙයක් හැටියට. එහෙම බේරෙන්න බෑ මේ සංසාරයෙන්. විඤ්ඤාණයෙ ගැබ්වෙච්ච ඒ තරම් කාර්ම රාශියක් තිබෙන නිසා. නමුත් ඒ වෙනුවට කරන්නේ කියන්නේ ප්‍රඥාවෙන් අර කියාපු ලෝකෝත්තර තත්ත්වයන් ප්රත්යක්ෂ කරගැනීමයි.
සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියලා කියන, මේ සංසාරයෙන් මිදෙන මට්ටම් හතරක් තිබෙනවා. අපේ සිත් තුළ තිබෙනවා සතර අපායට අදින ශක්තීන්, පාප ශක්තීන්. ඒ අකුසල ශක්තීන් විනාශ කරන ශක්තියක් සෝවාන් පුද්ගලයාගේ ලෝකෝත්තර ප්‍රඥාවේ තිබෙනවා. සෝවාන් පුද්ගලයා නැවත සංසාරයේ හත්වරකට වඩා උපදින්නේ නෑ. ඒ වගේම සතර අපායට යන්නේ නෑ. ඒක තමයි සෝවාන් බවින්ම ලැබෙන විශාලම සහතික. ඒක නිසයි බුදුපියාණන් වහන්සේ මුළු මහත් ලෝකයේ අධිපතිකමට වඩා, චක්රවර්තිරාජ්යයට වඩා, දෙව්ලොව යාමට වඩා, සෝවාන් එළය උතුම්ය කියල දේශනා කළේ. මොකද චක්‍රවර්ති රජකෙනෙක් නම් ධාර්මික රජකෙනෙක්. නමුත් සාමාන්‍ය ලෝකයේ රජකමක් කියල කියන්නේ පවි නොකර බැරි තත්ත්වයක්. ඒ කරන පව්වලට විපාක වශයෙන් ඊළඟට භයානක අපායවල උපදිනව, ප්‍රේත තත්ත්වවල, යක්ෂ තත්ත්වවල. නමුත් සෝවාන් පුද්ගලයා සතර අපායෙන් මිදෙනවා. ඒ පළමුවෙනි ලෝකෝත්තර තත්ත්වයයි. ඊළඟට සකදාගාමී කියල කියන්නේ, තැවත එක්වරක් පමණයි මෙලොවට එන්නේ. සමහරවිට දිව්‍යලෝකෙ ඉපදිලා ආයි තව එක්වරයි මනුෂ්‍ය ලෝකෙ තැවත ඉපදෙන්නෙ. ඒ හැම එකක්ම සංසාරය කෙටිකරන ආකාරය අනුවයි නම් කරල තියෙන්නෙ. අනාගාමී කියල කියන්නේ තුන්වෙනි තත්ත්වය. තැවත මෙලොවට එන්නේ නෑ. බ්‍රහ්ම ලෝකයේදීම සසර දුක් කෙළවර කරල උතුම් අරහත් බවින් පිරිනිවන් පානවා. ඒ අනාගාමී තත්ත්වය. රහතන් වහන්සේගේ මේ අවසාන ජීවිතයයි. මේ ජීවිතයෙන් පස්සේ තැවත උත්පත්තියක් නෑ. ජාති දුක්ඛය-සාමාන්‍ය ලෝකයා උපන්නාය කියල, උපන් දිනේය කියල, ලොකුවට උත්සව පැවැත්වුවට මොකද. උපත කියන එක මොන තරම් දුකක්ද? ඒත් දරුවටත් මතක නෑ, සමහරවිට මවටත් මතක නෑ. එපමණක් නොවෙයි, අපි හොඳට ඇස් ඇරල බලනව නම්. ලෝක තත්ත්වය අනුව, ඉපදීම නිසා නේද මේ හැම ගැහැටක්ම ඇතිවෙන්නේ. අපේ මේ ශරීර කුඩුවත් මේ උත්පත්තිය නිසයි. අපි අතීතයේ ඇතිකරගත්තු තෘෂ්ණාවෙන්, හිතින් අල්ලා ගැනීම නිසා කර්මානුරූපව අපට යම්කිසි ශරීරයක් ලැබුනා. සමහරවිට අන්ධ හැටියට උපන්න වෙන්න පුළුවන්, ගොළු හැටියට, බීරි හැටියට, ඒ නිසා කොයිතරම් දුක් විඳින්න සිද්ධ වෙනවාද? හොදයි අපි හිතමු, ඒ මොකක්වත් නැතිව හොදට අඟපසඟ සහිතව උපන්නා කියල. ඒ වුනත් මේ ශරීරය පෝෂණය කිරීම සඳහා, බඩවියත රැකගැනීම සඳහා, උපන්දා සිටම කවුරුත් මවුපියෝ එහෙම-කවනව පොවනව නම්, අපට පුළුවන් ජීවත් වෙන්ට. එහෙම ඒ අයගේ කරේ එල්ලිල ඉන්න බැරි අවස්ථාව උනාම ඊළඟට දහඩිය මහන්සියෙන්, මඩගාගෙන, නොයෙකුත් දුක් විඳගෙන උපයා සපයා ගන්න ඕන. ඔන්න ඔය විදියේ තත්ත්වයක් මේ ජීවිතය ආරක්ෂා කරගැනීම - මේ ශරීර කුඩුව රැක ගැනීම - සඳහා. ඉතින් ඒ විදියට ඒ උත්පත්තිය නිසා ඇතිවන දුක. ඊළඟට උපතක් එකකම එන එක තමයි ජරාව කියල කියන්නේ. උපන්දා ඉදලම දිරනවා. අපි සාමාන්‍යයෙන් වයසට ගියා කියල කියන්නේ, මහළු වයසට පත්වුනා කියන්නේ,යම්කිසි සීමාවක් දාලා - අවුරුදු 40න්, 35 න් පස්සෙයි කියල හෙම කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ දිරීම උපතේ ඉදලම පටන් ගන්නවා. උපන් ඉසකෙස් හරි මොනවා හරි දිර දිරා යනවා. මේ දිරීම ශීඝ්රවෙන කොට ආබාධය, ව්‍යාධිය එනවා. ක්‍රමක්‍රමයෙන් රෝගයත් එකතුවෙල මේ ප්රශ්නය තව උග්‍ර කරනව. අවසානයේ මේක කෙළවර වෙන්නේ මරණයෙන්.
ඔන්න ඔය ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන හතර නිසයි බුදුපියාණන්වහන්සේ අර තරම් රජ සම්පත් අතහැරල හියේ. වෙන ලෝකයේ තියෙන දුක් අප්රධානයි. ඒව අඩු-වැඩි වෙන්න පුළුවන්. මේව කාටත් පොදුයි. අන්න ඒක නිසා මේ සංසාරික තත්ත්වය ගැන යම්කිසි කෙනෙක් නුවණින් කල්පනා කරනවා නම්, අර ලෝකයා කොයි විදියට සම්මුති හැටියට අල්ලගත්කු දැනුම් රාශියක් තිබුනත් ඒව ඔස්සේ දුවනවා වෙනුවට කරන්න තියෙන්නෙ, අර පෝඨිල ස්වාමීන්වහන්සේ කළා වගේ, අවසානයේදී ඒ ‘පාඩම’ ඉගෙන ගත්ත වගේ, මෙන්න මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මාර්ගයේ - යෝගයේ - යෙදෙන්නට ඕන. අයෝගයෙන් ඉවත්වෙලා යෝගයේ යෙදෙන්නට ඕන. යෝගය කියල කියන්නේ භාවනා මානසිකාරයයි. ඒ විදියට යම්කිසි කමටහනක්, ඒවාට උපදෙස් දෙන්න පුළුවන් අය ළහට කිට්ටුවෙලා ඒ අයගේ උපදෙස් අනුව ලබාගෙන - අර පෝඨිල ස්වාමීන්වහන්සේ වගේ නිහතමානීව - ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ දීර්ඝ කාලයක් සංසාරයේ නිර්ථක දිවිල්ලක් මේ දුවල තියෙන්නෙ. අර මුවා මිරිඟුව පස්සේ දුවන්න වගේ, මේ ජිවිතේ අපි යම් යම් ඉලක්කයන් ඇතිකරගන්නවා කුඩා අවදියේ. කුඩා දරුවා වැඩිහිටියන්ගෙ ජීවිත දිහා බලල ඒ අයගේ වතුපිටි, ඒ අය පාවිච්චි කරන යාන වාහන, ඒව ඔස්සේ ඇතිකරගන්නවා ආශාවන්. ඒවම තමයි කුඩා දරුවට සෙල්ලම් බඩු හැටියට දෙන්නේ, බත් කවන දවසේ ඉදිරියෙන් තබන්නේ. ඒ අර තමාගේ මවුපියන්ගේ ආසාවන්වල ඉලක්ක අරමුණු. ඒ අරමුණු තමයි අර පොඩි දරුවා බත් කවන දවසේ ගිහිල්ල බදාගන්නේ. ඊළඟට ඒ බදාගත්ත දේ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරනවා ඒ දරුවා. ඒ පොඩි දරුවන්ගේ සෙල්ලම් බඩු. ලොකු දරුවන්ගේ සෙල්ලම් බඩු ගැන අමුතුවෙන් කියන්නෙ නෑ. ඒව ඔස්සේ මුළු ජීවිතයම ගෙවා දමනවා. සමහරවිට ජීවිත පරිත්‍යාග කරනවා. නමුත් ඒව අන්තිමට හිස් දේවල්. ඒ විදියේ දේවල්වලින් කවදාවත් සංසාරයෙන් මිදෙන්න බෑ.
ඒ වෙනුවට කරන්න තියෙන්නෙ, අර දිවිල්ල නතර කරල හිත නතර කරගන්නට උත්සාහ කරන එකයි, භාවනා කර්මස්ථාන අරමුණක් මගින්. බුදුපියාණන් වහන්සේ අර අංගුලිමාල කියන සොරාට, ඒ දාමරිකයාට, කිව්වෙත් ‘මා නැවතුනා ඔබත් නවතින්න’ කියලයි. අන්න ඒ වගේ. මේ නැවතිල්ලයි ලෝකෙට ඕන වෙල තියෙන්නෙ-දිවිල්ල නොවෙයි. හැමෝම දිවිල්ලටයි ආරාධනා කරන්නේ. මේ දිවිල්ල නතරකරල නැවතිල්ලටයි භාවනා මනසිකාරය කියල කියන්නෙ. මේකට උපකාරවෙන ආකාරයට අර භාවනා කර්මස්ථානයක් මගින් ඉන්ද්රිය දොරටුවලට එන අරමුණු ලත් තැන ලොප් කරමින් ඉතාම සියුම් ආකාරයකින් මෙනෙහි කිරීමෙන් - සති සම්පජඤ්ඤයෙන් යුක්තව - යම් කිසි කෙනෙකුට පුළුවන් වෙනවා මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්රිලක්ෂණය තම තමන් තුළින්ම ප්රත්යක්ෂ කරගන්න. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා නම්, ඇතිව-නැතිවන ස්වභාවයෙන් යුක්ත නම්, ඒවායින් පෙළෙනවා නම්, ඉතාම ශීඝ්‍රයෙන් බිඳී බිඳී යනව නම්, මේක මහ භයානක දෙයක් - මේක දුකක්. කෑලි කඩා හැලෙන වාහනයක් අපි වාත්තු කරකර පාවිච්චි කරනවා නම් ඒක කොයිතරම් කරදරයක්ද? දුකක්ද? ඒ වගේම තමයි අපේ මේ ශරීරය. ආහාර පාන ගත්තත් ආයි පැය ගණනකින් මේක පෝෂණය කරන්ට ඕන. මේ ආශ්වාසයක් අපි ගන්නවා බොහොම ආශාවෙන්, හොඳ මල් සුවඳක් කියල, නමුත් ඒක හෙළන්න සිද්ද වෙනවා. අනිත් දේවල් පිළිබඳවත් එහෙමයි. ඔය විදියට බිඳී බිඳී යන ස්වභාවය-වෙනස්වන ස්වභාවය-නිසා, විපරිතාමය නිසා, මේක දුඃඛයක්, දුකක්, හැටියට බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළා. ලකුණු තුනක් හඳුනා ගැනීමයි ජීවිතයේ ඉලක්කය විය යුත්තේ හැමදෙනාගෙම. අනිත්‍ය කියන ලක්ෂණය. ඊළඟට දුඃබලක්ෂණය, ඊළඟට අනාත්ම ලක්ෂණය. මේක දුකක් නම්, දුක් සහිත දෙයක් නම්, සැපයක් මෙතන ඇත්ත වශයෙන්ම නැත්නම්, ඒක ‘මමය’ ‘මාගේය’ කියල ආඩම්බරයෙන් කියන්නේ කොහොමද? මගේ වශයෙහි පවත්වාගන්න බැරිනිසා තමයි මේක බිඳිල යන්නෙ. මාගේය කියල කියන්න පුළුවන් නම් මට ඕන හැටියට පවතින්න ඕන. නමුත් මේක ඒ විදියේ දෙයක් නොවෙයි. අපි නොහිතූ ආකාරයට, නොහිතූ මොහොතක, අපි පතන දේවල්, අපි අල්ලගෙන සිටින දේවල්, අයත් කරගෙන සිටින දේවල්, වෙනස්වෙලා, බිඳිලා විනාශ වෙලා යනවා-වෙන්වෙලා යනවා. අන්න ඒ විදියේ ස්වභාවයක් මේ සංසාරයෙ තිබෙන්නෙ.
මේ ස්වභාවය නුවණින් ප්රත්යක්ෂ කරගත් තැනැත්තා තමයි අර බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ‘සබ්බසංඛාර සමථ’ කියල කියන - සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කියල කියන - ඒ උතුම් නිවන් සැපත ලබන්නෙ. නිවීම,නිබ්බාන කියල කියන්නෙ නිවීමයි. මේ මුළු මහත් ලෝකයේම, මුළු මහත් සංසාරයේම, තියෙන්නෙ දැවීමක්. ඉතාම පුදුම අන්දමින් ඇතුළතත් පිටතත් දැවෙනවා ලෝකයේ. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා ‘මහණෙනි, මේ හැම එකක්ම ගිනිගෙන දැවෙනවා’ කියල. ඇස, කණ, නාසය ආදී මේ හැම එකක්ම ගිනිගෙන දැවෙනවා කියල. ඒ විදියේ දැවීම් රාශියක් තුළයි ලෝකයා සිටින්නේ. බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළ ධර්මය තුළින් උන්වහන්සේ මේ දැවීම්වලින් මිදිල උතුම් වූ ඒ ‘නිබ්බාන’ කියල කියන නිවීමට මාර්ය පෙන්නුම්කරල තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාර්ගයයි බුද්ධ දේශනාව කියල කියන්නේ. එහි හරය තමයි ඒ ප්‍රතිපත්තියේ යෙදීම. අන්න ඒක නිසා මේ පින්වතුන් අද මේ වටිනා පෝය දවසේ ආර්ය අෂ්ටාංගික ශීලය කියන වටිනා ශීලයක් සමාදන්වෙල - ඊටත් වඩා වටින ශීල සමාදන්වුනු පින්වතුන් ඉන්නවා මෙතන - ඒ කොයි ආකාරයෙන් නමුත් කය, වචනය හික්මවා ගෙන මේ අවස්ථාවේ බුද්ධ දේශනාවට අදාළ ධර්ම කාරණා කීපයකට දැන් කන් දුන්නා. මේ තුළින් - මේ අපි ඉදිරිපත් කළ උපමා හෝ අනිකුත් ඒ නිදර්ශන ආශ්රයෙන් - මේ පින්වතුන් තම තමන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික ටික පමණක් ළංකර ගත්තත් ඇති, මේ හැම එකක්ම නැතත්. ඊළඟට වැදගත් දේ තමයි එදිනෙදා ජීවිතයේ - මේක අත්හදා බැලීම කරන දෙයක් හැටියට නොවෙයි - තමන්ගේ ජීවිත රටාවට එක්කරගෙන, දිනචරියාවට එක්කරගෙන, දවසේ සුළුවෙලාවක් හරි මේ භාවනා මානසිකාරයට වෙන් කරගෙන, විනාඩි කීපයක් හරි, ඊළඟට පුළුවන් නම් නිවාඩු ඇති අවස්ථාවක, එහෙම නැත්නම් නිවාඩු දාල හරි, මේවාට යොමුවෙල, මේ දීර්ඝ කාලයක් සංසාරයේ ප්‍රමාදයට වැටීම නිසා අතහැරුණු ඉතාම වැදගත් කාර්යය වන සංසාර විමුක්තිය - නිර්වාණාවබෝධය කියන ඒ උතුම් කාර්යයට, කෘත්‍යයට, පරමාර්ථයට තමන්ගේ ජීවිතය යොදනව ඇති කියල මම බලාපොරොත්තු වෙනව.
එතකොට මේ වේලාවේ, මේ ධර්ම දේශනා අවස්ථාව තුළ මේ පින්වතුන්ගේ සිත් තුළ නිවනට උපකාරවන වටිනා ධර්ම කීපයක් තැන්පත් වුනා කියලා අපි හිතනවා. ශ්‍රද්ධාවෙන් තමයි මේකට සවන් දුන්නේ. ශ්‍රද්ධාව ඉතාම වටිනා ගුණයක්. කොයිතරම්ද කියතොත් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල කියනවා නිවනට උපකාර වන ඉන්ද්රිය ධර්මයත් හැටියටත් මේ ශ්‍රද්ධාව, ඒ වගේම බලයක් හැටියටත්. සතිය කියල කියන සිහිය, සමාධිය, ප්‍රඥාව මේවා යම්කිසි ප්‍රමාණයකට ඇතිකරගන්න මේ ධර්මදේශනාව පිළිබඳ මෙනෙහිකරමින් කන්දීමෙන් මේ පින්වතුන්ට ශක්තිය ලැබුනා කියලා අපි හිතනවා. ඒ නිසා අද දවසේ ධර්ම ශ්‍රවණය ආනිසංස හැටියට සලකන තමන්ට ලැබුන මේ ශක්තියෙන් මේවාට පිරිසිදු සිත යෙදීමෙන්, කය වචනය යොමුකිරීමෙන් යම් කුසල වේදනා රාශියක් ඇතිවුනා නම් ඒ හැම කුසලයක්ම අපි දැන් ඒ පින් බලාපොරොත්තුවන, පින් කැමති අයට බෙදා දෙමු.
ධර්ම දේශනාමය, ධම්ශ්රවණමය වශයෙන් අපි යම් ප්‍රණීත කුශල සම්භාරයක් රැස්කරගත්තා නම් මේ අවස්ථාව තුළ, ඒ කුසල සම්භාරය ශාසනාරක්ෂක දිව්‍යබ්‍රහ්ම මණ්ඩලයත්, විශේෂයෙන්ම මේ ස්ථානයට අධිගෘහිත දෙවිදේවතාවුන් හැමදෙනෙක්මත් අනුමෝදන් වෙත්වා! තම තමන්ගේ ප්‍රාර්ථනා පරිදි යම්කිසි බෝධියකින් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා! ශාසනයටත් අපටත් ආරක්ෂාව සලසත්වා! කියන ප්‍රාර්ථනාව ඇතිකරගන්නට ඕන. ඒ වගේම, තම තමන්ගේ ඥාතීනුත් ඇතුළුව අවීචියේ සිට අකනිටා දක්වාවූ යම්තාක් සත්ත්ව සමූහයක් පින්කැමතිව, නිවන් කැමතිව සිටිත් නම් ඒ හැම දෙනෙක්මත් මේ උතුම්වූ කුසලය අනුමෝදන්වී හැකිතාක් ඉක්මණින් ප්රාර්ථනීයබෝධියකින් උතුම් අමාමහනිවන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථා කියා පින්දෙන්න.
සීල දස්සන සම්පන්නං - ධම්මට්ඨං සච්චවේදිනං
අත්තනො කම්ම කුබ්බානං - තං ජනො කුරුතේ
පියං
සැදැහැවත් පින්වතුනි,
සම්බුද්ධ ශාසනයේ නියම පරමාර්ථ, නියම වටිනාකම්, ගැන හරි අවබෝධයක් ගිහි පැවිදි දෙපක්ෂය තුළම ඇතිවීම ශාසනය බොහොම කාලයක් පවතින්න හේතුවන කාරණයක්. ඒක නිසා බුදුපියාණන් වහන්සේ ඒ පරමාර්ථ, ඒ වටිනාකම්, ඉස්මතුකර දෙන්න නොයෙකුත් විදියේ අවස්ථා යොදාගත්තා. ප්‍රතිපත්තිගරුක ශ්‍රාවකයන් වහන්සේලාට විශේෂ ප්‍රශංසා කළා. විශේෂ සැලකිලි දැක්වුවා. මොකද, ප්‍රතිපත්තිය තමයි ශාසනයේ ජීවය. ප්‍රතිපත්තිය නැති තැන ප්‍රතිවේධය කියල කියන මාර්ග ඵල ප්රත්යක්ෂකරගැනීමක්, නිවන් දැකීමක්, සසර දුක් කෙළවර කර ගැනීමක්, කරගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒක නිසා බුදුපියාණන් වහන්සේ මේ ගිහි පැවිදි දෙපක්ෂය තුළම ලෝකෝත්තර ගුණධම් වැඩෙන විදියේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිකර ගැනීමේ වටිනාකම බොහොම අවස්ථාවල්වල වර්ණනා කළා.
දැන් අපි මේ මතක්කළ ගාථාවත්, ඒකට අදාළ නිදාන කථාවත් මේකට හොඳ නිදර්ශනයක්.
බුදුපියාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ එක් දවසක උදෑසන අසූමහ ශ්‍රාවකයන් වහන්සේලාත් ඇතුළු පන්සියයක් සංඝයාවහන්සේලා පිරිවරාගෙන රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩියා. එදා රජගහ නුවර සැණකෙළි දවසක්. උත්සව දවසක්. සමහරවිට දැන් මේ කියන අලුත් අවුරුදු උත්සවය වගේ යම්කිසි උත්සවයක් වෙන්ට ඇති. එතකොට හරියටම ඒ අවස්ථාවේම ඒ නගරයෙන් පිටත්වෙල එනවා පන්සියයක ළමයි කණ්ඩායමක් කැවුම් මලු උස්සගෙන. ඒ ළමයින්ට බුදුපියාණන් වහන්සේ මුණගැසුනහම කැවුම් මලු පැත්තකින් තියල බුදුපියාණන්වහන්සේටත් ඒ සංඝයා වහන්සේලාටත් වන්දනා කරල, ඒ කැවුම් මලු අරගෙන නික්ම ගියා. එතන ඉක්මවලා ගියා. ඒ ගියාට පස්සේ බුදුපියාණන් වහන්සේ සංඝයාවහන්සේලාගෙන් අහනවා,
“මහණෙනි කැවුම් වළදනවද?”
“කොහේද ස්වාමීනි කැවුම්”
“ඇයි දැක්කේ නැද්ද අර ළමයි කණ්ඩායමක් කැවුම් මුළු උස්සගෙන මෙතනින් යමං වෙනවා.”
“ස්වාමීනි ඒ වගේ ළමයි කාටද කැවුම් දෙන්නේ”
“මහණෙනි එහෙම කියන්න එපා. ඒ ළමයි මටවත් තුඹලටවත් කැවුම් පිළිගැන්දුවේ නැත්තේ මොකද අන්න කැවුම් වල නියම අයිතිකාර භික්ෂුව පිටිපස්සෙන් වඩිනවා.” එහෙම කියල, “අපි කැවුම් වළදලාම යන්න ඕන මහණෙනි”.
කියල බුදු පියාණන්වහන්සේ ඒ ළහ තිබුණ ගහක් යට සහ පිරිසත් එක්ක වැඩ හුන්නා. කවුද මේ කැවුම් අයිතිකාර භික්ෂුන්වහන්සේ. මේ පන්සියයක පිරිස පිටිපස්සෙන් වෙනම වඩිනවා, බුදුපියාණන් වහන්සේගෙන් නිතර ප්‍රශංසා ලැබූ, බුදු පියාණන්වහන්සේගේ සිවුරු පවා පූජා වශයෙන් ලැබූ - හුවමාරු කරගත්තු - ඒ වගේම ධුතාංගධාරීන් අතර අග්‍රස්ථානය බුදුපියාණන්වහන්සේගෙන් ලබාගත්තු මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ. තපෝ ගුණයෙන් අග්‍ර ස්වාමීන්වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ පළමුවුරුදු ආකාරයට, විවේකයටම කැමති නිසා ඒ අවස්ථාවේ අර පිරිසෙන් වෙන්ව හෙමිහිට පිටිපස්සෙන් වැඩම කරනවා. එතකොට අර කැවුම් මලු ඔසවාගෙන ගිය ළමයි මේ ස්වාමීන් වහන්සේ දැකල, පුදුම විදියේ ශ්‍රද්ධාවක්, පැහැදීමක්, ප්‍රසාදයක් ඇතිකරගෙන පසඟ පිහිටුවල වැදල, කැවුම් මුළුපිටින්ම ස්වාමීන් වහන්සේට පිළිගැන්දුවා, “පිළිගන්න ස්වාමීනි” කියල. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ළමයින්ට කියනවා “ළමයිනේ, අන්න අපේ ශාස්තෘන් වහන්සේත් සංඝයාවහන්සේලාත් අතන ගහ මුල වඩ හිඳිනවා, ගිහිල්ල ඒ හැමදෙනාටම යමක් පූජාකරන්න කියනවා නම් පූජාකරන්න” කියල. එහෙම ප්රකාශකරල මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ අර ළමයි කණ්ඩායමත් එක්ක බුදුපියාණන් වහන්සේ වැඩහිටි ගහ යටට වැඩම කළා. ඊළඟට අර ළමයි ඒ සියලුම සහපිරිසට බුදුපියාණන්වහන්සේ ප්‍රධාන සඟ පිරිසට - කැවුම් පිළිගැන්දුවා. වළඳනකන්, බලං ඉඳල පැන් හිට, පිළිගැන්දුවා. ඒ පැන් පිළිගන්වලා අවසන් උනාට පස්සේ, කැවුම් එහෙම වළඳලා ඉවරඋනාට පස්සේ, සංඝයාවහන්සේලා අතර යම්කිසි කසුකුසුවක් වගේ විවේචනයක් - විවේචනාත්මක වචන කීපයක් - ඇහෙනවා. ’මේ ළමයි මුණ බලල පිණ්ඩපාතේ බෙදන්න වගේ වැඩක් කරල තියෙන්නෙ. මේ තරම් මේ බුදුපියාණන් වහන්සේත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වගේ ඒ ශ්‍රේෂ්ඨ ස්වාමීන්වහන්සේලාත් ඉද්දී, මේ පිටිපස්සෙන් වඩින මහාකාශ්‍යප මහරහතන් වහන්සේට කැවුම් සියල්ලම පිළිගැන්දුවා” කියල.
මේක ඇහිල බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කරනවා, “මහණෙනි එහෙම කියන්න එපා. මගේ පුත්‍ර මහාකාශ්‍යප දෙවි මිනිසුන්ට ප්‍රියයි. ඒ නිසා දෙවි මිනිසුන් - මනුෂ්‍යයින් පමණක් නොවේ දෙවියන් පවා - මහා කාශ්‍යපට පිණ්ඩපාතයෙන් සිවුපසයෙන් සංග්‍රහ කරනවා. පූජා කරනවා” කියල එහෙම ප්‍රකාශ කරල තමයි අර අපි කලින් මාතෘකා හැටියට තබාගත්කු ගාථාව වදාළේ.
සීල දස්සන සම්පන්නං - ධම්මට්ඨං සච්චවේදිනං
අත්තනො කම්ම කුබ්බානං - තං ජනො කුරුතේ
පියං
ඒකෙ අදහස අපි බලමු. ‘සීල දස්සන සම්පන්නං’ - සංඝයාවහන්සේලාට අයිති හතරාකාර ශීලයක් තියෙනවා. සිවු පිරිසිදු ශීලය කියල කියනවා. කෙටියෙන් සඳහන් කරනවා නම්, බුදු පියාණන් වහන්සේ පණවා වදාළ විනය ශික්ෂාපද අයිති ප්රාතිමෝක්ෂ සංවර ශීලය. ඒ පිළිබඳ හික්මීම. ඒක එකක්. ඊළඟට මේ ඇස කත් නාසාදී ඉන්ද්‍රියන් කෙලෙසුන්ගෙන් සංවර කර ගැනීම, ආරක්ෂාකර ගැනීම, කියල කියන ඉන්ද්රිය සංවර ශීලය - දෙවැනි එක. ඊළඟට සිවුපසය සේවීම පිළිබඳව අනියම් ක්‍රම නැතිව ධාර්මිකව, නිසි ආකාරයෙන් සිවුපසය ලබාගැනීම පිළිබඳ හරි ආජීවය, ජීවිකාව පිළිබඳ පිරිසුද්ධි ශීලය - ජීවිකාව පිළිබඳ පිරිසිදුබව රැකීම. හතරවෙනුව, ඒ ලබාගත් සිවුපසය ‘ප්රත්යවේක්ෂා’ කියල කියන නුවණින් සලකා - සිවුපසය පරිභෝග කිරීමේ නියම අර්ථය සලකාගෙන - ඒක භාවනාවට නඟමින් පාවිච්චි කිරීම කියල කියන ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය. නම්න් හැඳින්වෙන සිවුපසය පිළිබඳ ශීලය.
ඔය විදියට හතරාකාර ශීලයක් සංඝයාවහන්සේලාට තිබෙනවා. ඔය සිවු පිරිසිදු ශීලයෙන්ම සම්පූර්ණයි මේ තපෝගුණයෙන් අග්‍ර මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ. එතකොට, ඒ ශීලය.
ඊළඟට ‘දස්සන’ කියල කියන්නේ සම්‍යක් දෘෂ්ටිය. මාර්ගඵල ප්‍රතිවේධයෙන් - දැන් මෙතන මේ රහතන් වහන්සේ කෙනෙක් - ඒ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තයි. එතකොට “සීල දස්සන සම්පන්නං” - “ධම්මට්ඨං” කියල කියන්නේ - ධර්මයෙහි පිහිටියාවූ. ධර්මයෙහි හරිහැටි පිහිටලා තිබෙනවා. ඒ ලෝකෝත්තරමාඟීඵල ප්රත්යක්ෂකරගැනීමෙන් හරියාකාර ධර්මයෙහි පිහිටලා සිටිනවා. ‘ධම්මට්ඨං’.
ඊළඟට ‘සච්චවේදිනං’ චතුරාර්යී සත්‍යය තේරුම් අරගෙන තියෙනවා හරි ආකාරයට - ‘සච්චවේදිනං’. ඒ වගේම ‘අත්තනො කම්ම කුබ්බානං’.
‘අත්තනො කම්ම කුබ්බානං’ - කියල කියන්නේ පින්වතුනි ‘තමාගේ වැඩය කරන්නාවූ’. තමාගේ වැඩය කරන්නාවූ. මෙතන තමාගේ වැඩය කියල කියන්නේ බුදුපියාණන්වහන්සේ වදාළ සංඝයා වහන්සේලාට අයිති වැඩේ මොකක්ද, ශීල - සමාධි - ප්‍රඥා කියල කියන නිවනට උපකාර වන ඒ ත්‍රිවිධ ශික්ෂාව. ඒක වැඩීමයි. අන්න ඒ ශීල - සමාධි - ප්‍රඥා කියන තමන්ට අයිති වැඩේ කරන්නාවූ.
එතකොට මේ ගාථාවෙ අදහස ශීලයෙන් හා සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, ධර්මයෙහි හරියාකාරව පිහිටියා වූ, චතුරාර්යී සත්‍යය තේරුම් ගත්තා වූ, ඒ වගේම තමන්ට අයිති වැඩය කරන්නාවූ, එබඳු ඒ භික්ෂුවට ‘තං ජනො කුරුතේ පියං’ එබඳු ඒ භික්ෂුවට ජනයා ප්‍රිය කරයි. ඒ භික්ෂුව ජනප්‍රිය වෙයි, කියල ඒ විදියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගාථාවත් එක්කම වදාළ දේශනාව අහල අර පන්සියක් දරුවන්ම සෝවාන්දුනා. උතුම්වූ සෝවාන් එළයට පැමිණියා.
එතකොට, දැන් අපි මේ ගාථාවත් කතාවත් බැලුවහම අවුරුද්දට කියාපු කැවුම් බණක් වගෙයි. නමුත් මේක නිකම්ම කැවුම් බණක් නොවෙයි. මේකේ බොහොම වටිනා ගුණ දූවඳක් තිබෙනවා. දහම් රසයක් තිබෙනවා. අපි ඒක උරාගන්න බලමු.
එතකොට පළමුවෙන්ම අපි කල්පනා කරල බලමු, දැන් මෙතන මේ මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ - මේ විශේෂ කෙනෙක්. මේ ශාසනයේ විශේෂ කෙනෙක්. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සිටියට මොකද උන්වහන්සේලාගේ ගුණ සම්පත්තිය වෙනමයි. ඒ වගේම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විශේෂ වෙන්නේ අර තපෝ ගුණ - ධුතාංග කියල කියන ශීලයට උපකාරවන. ශීලය වඩාත් හොඳින් රැකීමට උපකාර වන අග්‍ර ප්‍රතිපත්ති සමූහයක්, - 13ක් තිබෙනවා - ඒ දහතුනම හරියාකාරව රැක්ක ස්වාමීන් වහන්සේ නමක්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඒය පිණ්ඩපාතයෙන් යැපීම, ඊළඟට ආරණ්‍ය වාසය, පාංශුකූල සිවුරු දැරීම, තුන් සිවුරකින් පමණක් සෑහීමකට පත්වීම, ආදී ඒ උග්‍ර ප්‍රතිපත්ති රාශියක්ම රැක්ක.
ඒ වගේම විවේකයට ප්‍රිය කළ නිසයි අර විදියට පිරිසගෙන් වෙන්ව වැඩම කළේ. උන්වහන්සේ පිළිබඳව බුදු පියාණන්වහන්සේ ඇතැම් අවස්ථාවල්වල උන්වහන්සේ ආදර්ශයට ගන්නා හැටියට සංඝයා වහන්සේලාට විශේෂ දේශනා පැවැත්වූවා. උන්වහන්සේගේ ජීවන රටාවේ විශේෂ ලක්ෂණ හුවා දක්වමින් හොඳ ලස්සන උපමා දෙකකින් උන්වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පැවැත්ම, ගිහියන් හා තිබෙන සම්බන්ධතාව, පෙන්වා වදාළා. දැන් අර ගාථාවේ හැටියට නම් ප්‍රකාශ වෙන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහොම ජනප්‍රිය කෙනෙක් කියල. කුඩා දරුවන් අතර පවා ජනප්‍රිය කෙනෙක්. දැන් අපි දන්නවා මේ කාලේ හැටියට සංඝයාවහන්සේ කෙනෙක් ජනප්‍රිය වෙන්න නම් ගිහියන් සමග ඇලී ගැලී කටයුතු කරන්න ඕන, ගිහියන්ගේ වැඩවලට සම්බන්ධවෙලා. ඒවාට උර දෙමින් කටයුතු කරන්ට ඕන. නමුත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවන රටාව පිළිබඳව බුදු පියාණන්වහන්සේ වදාළ උපමා දෙකෙන් අපට වෙන දෙයක් තේරුම්යන්නේ.
මොනවද දීපු උපමා -
‘චන්දූපමා’ කියල හඳ පිළිබඳ උපමාවක් දීල තිබෙනවා, බුදු පියාණන් වහන්සේ. මේ මහා කාශ්‍යප හඳ වගේ පවුල් අතර හැසිරෙනවාය කියල. ගෙන් ගෙට පිඬු සිහා වඩිනකොට හරියට මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හඳ වගේ. මොකද, හඳ කියල එකට උපමාවට ගත්තේ. ‘නිච්ච නවකා - කුලෙසු අප්රගල්භා’ හඳ හැමදාම අලුත්. හඳ හැමදාම අලුත් වෙනවා. අව පක්ෂය හරි, පුර පක්ෂය හරි, හැමදාම අලුත් දෙයක්. අන්න ඒ වගේ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ, ගෙන් ගෙට පිඬුසිහා වැඩීයට මොකද, ඒ ගිහියන්ට හැමදාම අලුත් කෙනෙක්. කොහොමද අලුත්වෙන්නේ? අර ගිහියන් සමග පමණට වැඩිය සම්බන්ධකම් නැති නිසා. අපි දන්නවා දැන් ගමේ ගොඩේ කථාවක් තිබෙනවා “දෙවේලේ දකින කුකුළගෙ කරමලේ” ගැන. අන්න ඒ වගේ තත්ත්වයක් එනවා පමණට වඩා ඇලීගැලී කටයුතු කළොත්. එහෙම එකක් නෑ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගෙ - හඳ වගේ. දැන්, හඳ කිව්වහම අපේ ළිඳෙත් පේනවා. පොකුණේත් පේනවා. හැමතැනම පේනවා. හැබැයි අල්ලගන්න බෑ. අල්ලගන්න බෑ හඳ, කාටවත්. අන්න ඒ වගේ තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේත් කාටවත් අල්ලගන්න බෑ, ගිහි ගෙවල්වල එහෙම ගියාට මොකද. ඒක නිසා ‘කුලෙසු අප්රගල්භා’ කියල කියනවා. ඒ පවුල් සමග පමණට වැඩි සම්බන්ධකාවක් නෑ. අනියම් සම්බන්ධතාවල් නෑ. අන්න ඒ ගුණ දෙක, ඒ විදියට අර හඳේ උපමාවෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරල එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආදර්ශයට අරගෙන ජීවත්වෙන්නෝයි කියල වදාළා. තවත් උපමාවක් බුදු පියාණන් වහන්තසේ දැක්වූවා. “ජරූදපාන” උපමාව. ඒ කියන්නේ “පාළු ළිඳක්”.
මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ උපමා කළා පාළු ළිඳකට එබී බලන කෙනෙකුට. හරියට දැන් පාළු ළිඳකට කෙනෙක් එබී බලනකොට එබී බලන්නේ, ඒකට වැටෙන්න හිතාගෙන නොවෙයි. කයයි සිතයි මැත්කරගෙන. කයයි සිතයි මැත් කරගෙන පාළු ළිඳකට එබී බලන්න වගේ ගිහියන් අතර පිඬුසිහා වඩිනවා කියල මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ප්‍රශංසා කර වදාළා, බුදු පියාණන් වහන්සේ. ඔය උපමා දෙකෙන් පේනවා, එතකොට, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අපි මේ කාලේ හිතන විදියට නම් ‘ජනප්‍රිය’ කියන වචනයට ගැලපෙන්නේ නෑ. ජනප්‍රිය කෙනෙක් වෙන්ට බෑ. නමුත් පින්වතුනි ජනප්‍රියත්වයේ මට්ටම් දෙකක් තිබෙනවා. ධනය, තිලය, බලකල ආදී දේවල් නිසා ජනප්‍රිය වීමක් තිබෙනවා. ඒක බොහොම මතුපිටින් යන ජනප්‍රියත්වයක්. බොහොම ඉක්මණින් නැතිවෙලා යනවා. ගුණ ගරුකත්වය නිසා ඇතිවන ජනප්‍රියත්වය රීටත් වඩා ගැඹුරු දෙයක්. දැන් මෙතනින් අපට පේනවා, අර කුඩා දරුවන් කියල කිව්වහම, අපි දන්නවා කුඩා දරුවන්ට සමහර දේවල් ඉවෙන් වගේ දැනෙනවා. වැඩිහිටියන්ගේ නොයෙකුත් විතර්කවලින්, විචේවන ආදී ඒ හිතිවිලි වලින්, කලවම් වෙච්ච, ව්‍යාකූල වෙච්ච, සිත්වලට වඩා පිරිසුද සිතක් කුඩා දරුවන් තුළ තිබෙනවා. ඔවුන්ට මේ ගුණ සම්පත්තිය කියන එක සමහරවිට ඉවෙන් වගේ දැනෙනවා. අන්න ඒක නිසා වෙන්න ඇති අර පන්සියයක් දරුවන් අර බුදු පියාණන් වහන්සේලාටත් - ඒ ගෞරව නැතිව නොවෙයි - වන්දනා කළාට මොකද අර තනිව වඩින මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ තපෝ ගුණයට විශේෂයෙන් වශීවුනේ. වශීවෙලා අර විදියට කැවුම් මලු පූජා කළේ. එයින් පේනවා ඒ දරුවන් තුළ යම්කිසි සහජ පුණ්‍ය ශක්තියකුත් තිබෙන්ට ඇති. “හැදෙන ගහ දෙපත්තෙන් දැනේ” කියල කථාවක් තිබෙනවා. ඒ වගේ මේ දරුවන් තුළත් හැදෙන ගසක් වගේ ඇකුළත කිබිල කියනවා යම්කිසි ගුණ ශක්තියක්. ඒක නිසාමයි අර බණ අහලා අවිවර ඉක්මණින්ම ඒ සෝවාන් එළය සියලා කියන උතුම් තත්ත්වයට පත් වුනේ. බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා ශ්‍රේෂ්ඨවූ තත්ත්වයක් සෝවාන් තත්ත්වය පවා - පළමුවෙනි මාර්ගඵලය වුනාත්. මොකද, තව ජීවිත හතයි සංසාරයේ ගෙවන්න වෙන්නේ. ඒ වගේම සතර අපායෙන් නිදහස්. එබඳු තත්ත්වයක් ලබාගත්තා.
ඒ වගේම එතනදී මේ දරුවන්ගේ සිත සකස්වුනෙ කොහොමද කියන එකත් අපිට හිතාගන්න පුළුවන්. පළමුවෙන්ම ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙ ගුණ සම්පත්තිය අනුව සිත පහදවා ගත්තා. ඒ ගුණ සම්පත්තිය හැඳිනගත්තා. බුදු පියාණන්වහන්සේ වදාළ කෙටිගාථාවෙන්. දැන් අපි අර පළමුවෙන්ම විග්රහකළේ ඒ ගාථාවෙ අදහසයි. එයින් තේරුම් ගත්ත මේ මහාකාශ්‍යප මහ රහතන්වහන්සේගේ තුළ මේ ගුණ සම්පත්තිය තියෙන නිසයි අපේ සිත පැහැදුනෙ කියල. යමක් පිළිබඳව මුදිතාවෙන් සතුටු වෙනවා නම් ඒ එක්කම තමන් ඒ ගුණයත් එක්කම වැඩෙනවා. ඒ වගේම ඒ දරුවන් තුළ තිබුණු පැහැදුනු සිත වඩාත් පිරිසිදු උනා. ඊළඟට ඒ වගේම අපට හිතාගන්න පුළුවන් ඒ පිරිසිදු සිත තවත් පිරිසිදු වෙන්ට උපකාර උනා අර පරිත්‍යාගය. මෙතන කැවුම් පමණක් නොවෙයි පරිත්‍යාග උනේ. කැවුම් එක්ක බැඳුණු චිත්තෝදයත් පරිත්‍යාග උනා. උයනට ගිහිල්ල මේ කැවුම් කකා කෙළි සෙල්ලම් කරන අදහසින් මේ ළමයි පිටත්වුනේ. නමුත් මේ පන්සිය දෙනාම එක් සිතින් අර සියලුම කැවුම් ටික බුදු ප්රමුඛ සංඝයා වහන්සේලාට පූජා කළා. එයින් ඒ පරිත්‍යාගය සම්පූර්ණ උනා. සිත වඩාත් ප්‍රසන්න උනා, පැහැදුනා. එබඳු ඒ ප්‍රසන්න සිත තමයි ඊළඟට අර මාඟීඵල අවබෝධයෙන් ඒ සෝවාන් තත්ත්වය ලබාගත්තේ. අන්න ඒ අනුව අපිට මෙතෙකින් පේනවා, මේකෙ වටිනා දහම් රසයක් තිබෙනවා, ගුණ සුවඳක් මේක තුළ තිබෙනවා.
ඊළඟට තවදුරටත් කල්පනා කරල බලනවා නම්, දැන් මේ බුදුපියාණන් වහන්සේ වදාළ කාරණා අනුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ජනප්‍රියත්වය, දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් ඒ ගුණ සම්පත්තිය නිසා ඇතිවූ ජනප්රියත්වයයි. දැන් සාමාන්‍ය සංකල්පයක් තිබෙනවා - විශේෂයෙන්ම මේ කාලයේ - සංඝයා වහන්සේලා කියල කියන්නේ ගිහි පින්වතුන්ගේ සිවුපසයෙන් යැපෙන අය. ඒක නිසා ඒ සඳහා යම්කිසි ණයක් ගෙවන්ට ඕන. මේක හුවමාරුවක්. මේක ගනුදෙනුවක්. කාරණේත් ඇත්තයි. යම්කිසි ගනුදෙනුවක් මෙතන තියෙන්නෙ. ඒ ණය ගෙවන ආකාරය තමයි ටිකක් වෙනස් වෙන්නේ. සාමාන්‍ය ලෞකික ණය ගෙවීම් වාගේ දෙයක් නොවෙයි. ලෞකික දේ වෙනුවට ලෝකෝත්තර අර්ථයක් සිද්ධ කිරීමෙන් තමයි මේ ණය ගෙවෙන්නේ. ඒක නිසා තමයි දැන් ‘අත්තනො කම්ම කුබ්බානං’ කියල අර ගාථාවෙ කිව්වේ - ‘තමාගේ වැඩය කරන’, තමාගේ වැඩය කරන කෙනාට සමාජයේ යොදන වචනයක් තිබෙනවා ‘ආත්මාර්ථකාමී’ කියලා. ‘ආත්මාර්ථකාමී පුද්ගලයා’. එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හඳුන්වන්නේ බුදු පියාණන්වහන්සේ ආත්මාර්ථකාමී කෙනෙක් හැටියට. නමුත් මේ ආත්මාර්ථය සිද්ධවෙනවත් එක්කම - මොකක්ද ආත්මාර්ථය, ශීල සමාධි ප්‍රඥා කියල කියන නිවනට උපකාරීවන ධර්ම පිරීම - ඒවා සම්පූර්ණ වෙනකොට පරාර්ථය සිද්ධවෙලා ඉවරයි. ඒක නිසා එතන ආත්මාර්ථයම පරාර්ථය බවට පත් වෙනවා. දැන් මේ ශිෂ්‍යන් විසින් සංඝයා වහන්සේලාට පූජාකරන සිවුපසය ගැන කල්පනා කරල බලනකොට, මේවා පූජාකිරීම අර යාවකයින්ට - දුගී මගී යාවකාදීන්ට - දීමට වඩා වෙනස් දෙයක්. දුගී මගී යාවකාදීන්ට දෙන්නේ, පින්වතුනි කරුණාව මූලික කරගෙන. සංඝයා වහන්සේලාට පූජාකරන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන. ඒක නිසා බුදු පියාණන්වහන්සේ බොහෝ අවස්ථාවල සංඝයා වහන්සේලාට තමන්ට අයිති වැඩේ සිහිපත් කරදීම සඳහා ප්‍රකාශ කළා, “මහණෙනි නුඹලා ‘සද්ධාදෙය්ය’ භෝජනය වළදනවා” කියල. ශ්‍රද්ධාවෙන් දෙන ආහාරය වළදලයි නුඹලා මේ ජීවත්වෙන්නේ කියල. ඒකට ණය ගෙවන්ට ඕන. ඒකට ණය ගෙවන්ට ඕන. කොහොමද ණය ගෙවන්නේ? මේ සිවුපසය පරිභෝග කරන ක්‍රම හතරක් ධර්මයෙහි දක්වල තිබෙනවා. මොනවද ඒ හතර?
පළමුවෙනි එක,
ථෙය්‍ය පරිභෝගය - ථෙය්‍ය පරිභෝගය කියල කියන්නේ. අපි සාමාන්‍ය වචනයක් ගත්තොත්, ‘හොරාකනවා’ වගේ. හොරාට අරගෙන පාවිච්චි කරනවා වගේ. ථෙය්‍ය පරිභෝගය.
දෙවෙනි එක,
ණය පරිභෝගය - ණයට අරගෙන පාවිච්චි කරනවා වගේ
තුන්වෙනි එක,
දායජ්ජ පරිභෝගය - දායාද වශයෙන් ලබාගෙන පාවිච්චි කරනවා කියන එක.
හතරවෙනි එක,
සාමි පරිභෝගය - සිවුපසයට අයිතිකාරයෙක් හැටියට පාවිච්චි කිරීම
ඔන්න ඔය විදියේ සංකල්ප හතරක් ධර්මයෙහි දක්වෙනවා. අපි මේ එක එකක් ටිකක් දුරට විග්රහ කරන්න බලමු.
ථෙය්‍ය පරිභෝගය කියල කියන්නේ කිසිම ගුණ සම්පත්තියක් නැතිව ශීලාදී ගුණයක් නැතිව, සිවුපසය පරිභෝග කිරීම. එයින් ඒ පරිභෝග කරන තැනැත්තා - භික්ෂුව - ණය කාරයෙක් වෙනවා ගිහියන්ට. වෙන කොයි විදියේ ලෞකික මට්ටමින් ණය ගෙවන්ට උත්සාහ කළත්, ධර්මානුකුලව ණයකාරයෙක් වෙනවා. ඒකට ණය ගෙවන්ට ඕන දීර්ඝ කාලයක් සංසාරයේ, සමහරවිට. ඉතින් අන්න ඒ විදියේ තත්ත්වයක්. ඒක ථෙය්‍ය පරිභෝගය - ‘හොරාට කනවා’ වගේ.
ඊළඟට, දෙවෙනි කාරණය - ණය පරිභෝගය. ණයට අරගෙන පාවිච්චි කරන එක. හොරාට අරගෙන පාවිච්චි කරනවාට වැඩිය දෙවෙනි තත්ත්වය ඊට වඩා ටිකක් හරි හොඳයි - ණයට ගන්න එක. ඒක තොගෙන බෑ. මේ සංඝයා වහන්සේලාට ජීවත්වීම සඳහා සිවුපසය අත්‍යවශයි. ජීවත්වීමට යම්කිසි ප්‍රත්‍යයක් අවශයි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය කියන මේ, අදින්න දෙයක්, ආහාරයක්, ඊළඟට වැසෙන්ට තැනක්, ආවාසයක්. බෙහෙත් සේත් ආදිය. මෙක සිවුපසයයි. නමුත් මේ ප්‍රත්‍යය මේ සංඝයා වහන්සේලා ගත්තේ ණයක් හැටියටයි. දැන් අපි දන්නවා මේ ණය - ණයක් අරගත්කු කෙනෙක්, ඒක අපි හිතමු යම්කිසි ව්‍යාපාරයක් සඳහා හෝ ගොවිතැන් සඳහා හෝ ණයකරයක් ගත්තා. ඒ ණය ආයි ගෙවන්ට කිසිවෙක් අදහසක් නැතිව ඒක කාබාසිනියා කරනවා නම්, එයා ඇත්ත වශයෙන්ම ණය කාරයෙක් නොවෙයි, හොරෙක්. ඒ වෙනුවට යම්කිසි කෙනෙක් ඒක හරියාකාර, නිසියාකාර, ඒ අර්ථය සිද්ධකර ගැනීම සඳහා ව්‍යාපාරයේ හෝ ගොවිතැනේ හෝ යොදමින්, අවස්ථානුකූලව පොලී ගෙවනවා නම්, අන්න ඒ තැනැත්තා නියම ණය කාරයෙක්. ණය කාරයෙකුට අයිති යුතුකම ඉෂ්ටකරන කෙනෙක්. අන්න ඒ වගේ බුදුපියාණන්වහන්සේ මේ ණය පරිභෝගය කියල කියන, ‘ණයට අරගෙන පරිභෝග කිරීම’ කියන එක තෝරල තියෙන්නෙ කොහොමද? යම්කිසි භික්ෂුවක් අර සිවුපසය එක එකක්ම, චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය කියන ඒ එක එක ප්රත්යයක්ම, ප්රත්යවේක්ෂා කරල, නුවණින් සලකල බලල, පරිභෝග කරනවා නම්, ඒක හරියට ණය කාරයෙක් හැටියට පරිභෝග කිරීම වගේ. මේ ප්රත්යවේක්ෂාව කියන එකේ දෙපැත්තක් තියෙනවා. දැන් අපි හිතමු, ඒකට නිදසුනක් ගත්තොත්, පිණ්ඩපාතය - ආහාරය. ආහාරය සාමාන්‍යයෙන් ගිහි පින්වතුන් පාවිච්චි කරන්නේ කුසයින්න නිවාගැනීමට පමණක් නොවෙයි. රස තෘෂ්ණාව, තව, ඇහපත හොදට වඩවා ගැනීම, රූප සම්පන්න කර ගැනීම. ඔය විදියේ පරමාර්ථ අනුවයි. ඒ විදියේ එකක් සංඝයාවහන්සේලාට සුදුසු නැති නිසා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා මේ ගන්න ආහාරයේ - පිණ්ඩපාතයේ, - නියම පරමාර්ථය මෙන්තැන්නොයි කියල. “මේ කය පවත්වාගෙන මේ සංසාරයෙන් එතරවීම සඳහා, මේ උතුම් ජීවිතය, බ්‍රහ්මචරියාව ගෙනයාම සඳහායි මම මේ ආහාරය ගන්නේ” කියල, ආහාරයේ - පිණ්ඩපාතයේ - නියම අර්ථය නුවණින් සලකල බැලීම එක පැත්තක්. ඒ වගේම, එපමණක් නොවෙයි. ඒ පිණ්ඩපාතය වැළදීමත් එක්තරා භාවනාවක් කරගන්නවා. කොහොමද? මේ පිණ්ඩපාතය කියල මා ගන්න ආහාරය, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතුවලින් සකැස්වුනු එකක්. මගේ ශරීරයත් ඒ වගේම ධාතුවලින් සකැස්වුනු ශරීරයක්. මේ පිණ්ඩපාතය පිරිසිදුව කිබුනාට මොකද මේ පිළිකුල් සහගත ශරීරයට ඇතුල්වෙලා මේක පිළිකුල් බවට පත්වෙනවා. එයින් කෙරෙන්නේ මොකක්ද, ධාතු මනසිකාර, අසුභ මනසිකාර. කියල කියන භාවනා දෙකක් එකෙන් කෙරෙනවා. අන්න ඒකයි. දැන් අපි අර කලින් කිව්ව නේ, අර ණයකරයෙක් ගත්කහම ණය ගැනීමේ පරමාර්ථය සිහිපත් කිරීමත් - ඒ කටයුතු කිරීමත් - ඊළඟට අවස්ථානුකූලව පොලී ගෙවීමත් නියම ණයකාරයකුගේ යුතුකමය කියල. දැන් මෙතනත් කෙරෙන්නේ ඒකයි. අර සිවුපසය එක එකක්ම - දැන් ආහාරය නම් - “මේක මම ගත්තේ ණයට. මොකටද ගත්තේ? මේ සංසාර කාන්තාරයෙන් එතෙරවීම සඳහා මේ ශරීරය පවත්වාගැනීම සඳහයි”, කියල අන්න පරමාර්ථය සැලකුවා. ඊළඟට එකට පොලී ගෙවීම මොකක්ද? අන්න භාවනාවට හැරෙනවා. මේ පිණ්ඩපාතයත් මේ මගේ ශරීරයත් ධාතු හතරෙන් පැහී, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරෙන් නිර්මාණය වෙච්ච දේවල්. එතනින්ම, අනාත්ම ධර්මයත් ඒක තුළ තියෙනවා. අනිත්‍ය දුඃබ, අනාත්ම. ඊළඟට එපමණක් නොවෙයි, අසුභ පැත්කට හරවනවා. මගේ ශරීරයට, මේ කුණු ශරීරයට, එකතුවෙලා මේ පිරිසිදු ආහාරය කිලිටි බවට පත්වෙනවා. මන්න එයින් පොලී ගෙවීමක් කෙරෙනවා. ඇයි? නිවන කරා යන ගමනක්නෙ. නිවන කරා යන ගමනට භාවනාව අත්‍යවශයි. එතකොට සිවුපස පරිභෝගය තුළින් භාවනාවක් කෙරෙනවා. ඒක තමයි පොලී ගෙවීම. මේ විදියට අපි වඩාත් විස්තරකළේ මොකද, ඇතැම් කෙනෙක් මේක කෝරන්නේ වෙන විදියකටයි. සංඝයා වහන්සේලා සිවුපසය ප්රත්යවේක්ෂා කරල වැළදීම පමණකින්ම ණයෙන් නිදහස් වෙනවා කියලත් ඇතැම් කෙනෙක් කෝරනවා. ඒක නිවැරදියි කියල කියන්න බෑ. ඒකේ අඩුපාඩුවක් තියෙනවා. සිවුපසය ප්රත්යවේක්ෂා කරල වැළදීම පමණකින් භික්ෂුවක් ණයෙන් නිදහස් වෙන්නේ නෑ. තව ඈතට වැඩ තියෙනවා. ඊළඟට අනිත් කාරණා ප්‍රකාශ කරනකොට ඒක පැහැදිලි වේවි.
ඒ දෙවෙනි කාරණය අපි කිව්වේ - ණය පරිභෝගය. ඊළඟට තුන්වෙනි කාරණය මොකක්ද? දායජ්ජ පරිභෝගය. දායාදයක් හැටියට සලකල පාවිච්චි කිරීම. ඒක තෝරන්නෙ මෙහෙමයි. අපි හිතමු සෝවාන් තත්ත්වයට ශික්ෂුවක් පත්උනාය කියල. ඒ ශික්ෂුව එදා ඒ පත්වුන අවස්ථාවේ ඉඳල නියම බුදු පුත්‍රයෙක්. ඊළඟට සෝවාන් සකදාගාමී අනාගාමී කියන තත්ත්ව තුනේ සිටින්නේ බුදු පුත්‍රයින්. නමුත් තාම වැඩ ඉවර කරල නෑ. එබදු අයට කියන්නේ ‘සේඛ’ කියල. මේ ශාසනයේ නියම ආකාරයෙන් සික්මෙන අය. වැඩ ඉවර කරල නෑ. අන්න එබදු අය මේ සිවුපසය පරිභෝග කරන්නේ හරියට අර මවුපියන්ගේ දෙයක් දරුවන් පාවිච්චි කරනවා වගේ, දායාදයක් හැටියට සලකල. දැන් මේ කුඩා දරුවන් මවුපියන් ගෙදර නැත්නම් බය නැතිව මවුපියන්ට අයිති දේවල් පාවිච්චි කරනවා. තමන්ගේ දෙයක් නොවන නමුත් මවුපියන්ට අයිති නිසා. අන්න ඒ වගේ, ඒ සෝවාන් සකදාගාමී අනාගාමී කියන මුල් මාර්ගඵල ප්රත්යක්ෂ කරගත්තු සංඝයා වහන්සේලාගේ සිවුපස පරිභෝගය උපමා කරන්නේ අර දරුවන් මවුපියන්ගේ දෙයක් පරිභෝග කිරීමට, පාවිච්චි කිරීමට, දායජ්ජ පරිභෝගය. ඒ තුන්වෙනි කාරණය.
අවසානයේ තියෙන්නෙ සාමි පරිභෝගය. නියම වශයෙන්ම, හැම අර්ථයෙන්ම, සිවුපසයට අයිතිකාරයින් හැටියට පාවිච්චි කිරීම. ඒක කෙරෙන්නේ රහත්වුනාට පස්සෙයි. රහත්වුන අවස්ථාවේදී - රහත්වුන පුද්ගලයා හඳුන්වන්නේ ණයනැති කෙනෙක් හැටියට. ඒක නිසා තමයි - දැන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගැනයි අපි කථා කළේ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ රහත්වුනේ පැවිදිවෙල හත්දිනෙන්. උන්වහන්සේ මේ කාරණය ප්‍රකාශ කරනවා එක් අවස්ථාවක: ‘මම හයදවසක් පමණක් ණයට පිණ්ඩපාතෙ වැළදුවා, හත්වෙනි දවසේ ණය නැතිව වැළදුවා’. එයින් අදහස් කළේ මොකක්ද? හය දවසක් යනතුරු මම රහත්උනෙ නෑ. හත්වෙනි දවසේ රහත්වුනාය කියන එක. එයින් පෙනෙන්නේ රහතන් වහන්සේ ණය නැතිව පිණ්ඩපාතෙ වළදනවා කියන එකයි. අමුතුවෙන් ණයක් ගෙවන්න දෙයක් නෑ. ඉතිරි හරිය කරන්නේ - ලෝකයාට යම් විශේෂ අනුග්‍රහයක් කරනවා නම් ඒක කරන්නේ - ලෝකානුකම්පාවෙන්. ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර පළමු හැට නම් රහත් වෙනකං හිටියේ, ඒ ඒ දිසාවල යවන්න, බහුජන හිත බහුජන සුව සඳහා. ඊට කලින් නොවේ. රහත්වුනාට පස්සේ බුදුපියාණන්වහන්සේ ‘ගිහිල්ල ණය ගෙවන්න’ කියන එක නෙවෙයි වදාළේ - ‘ණය නැතිව හැසිරෙන්න’ කියල. ගිහිල්ල බණදෙසල ණය ගෙවන්නෙයි කියන අදහසින් නොවෙයි අර හැට නමක් යැව්වේ. ඇතැම් කෙනෙක් වැරදි විදියට කෝරන නිසා අපි මේ විශේෂයෙන්ම අවධාරණය කරන්නේ. අර හැට නමට - ‘බහුජන හිතාය. බහුජන සුඛාය’ - බොහෝ දෙනාගේ හිතසුව පිණිස හැසිරෙන්න කිව්වේ, බුදුපියාණන්වහන්සේ වදාළේ, ගිහිල්ල ණය ගෙවන්නෙයි කියන එක තෙවෙයි. ඒක ලෝකානුකම්පාවෙන් කරන දෙයක්, ඒ ඉතිරි ජීවිත කාලයේ රහතන් වහන්සේලා. නමුත් එතන කියවෙනවා : ‘අණන විවර ලෝකෙ’ - ‘ණය නැතිව ලෝකයේ හැසිරෙන්න’ කියලා. එතන ඉඳල ණය නැතිවයි හැසිරෙන්නේ. ඔන්න ඔය විදියේ තත්ත්වයකින් ණය නැතිවීම තමයි, හරියට ණයකරයෙන් නිදහස්වීම. එතන ඉඳල තමයි සාමි පරිභෝගය තියෙන්නෙ. සිවු පසයට නියම අයිතිකාරයින් හැටියට ඒවා පරිභෝග කරනවා. ණය ගෙවන්නේ කොහොමද කියන එකයි මෙයින් පෙන්නුම් කරන්නේ. ඊළඟට, ඒ වගේම, දැන් අපි දන්නවා ඒ ණය ගෙවීම තුළ ඒ ගුණ සම්පත්තිය දියුණුවීම නිසා අර්හත්වය හඳුන්වන්නේ ණයනැති තත්ත්වය හැටියටයි. ණය නැති තත්ත්වයක් හැටියටයි. බුදු පියාණන්වහන්සේත් රහතන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලා එහෙමත්, ණය නැතිව සිවුපසය පරිභෝග කරනවා. මේ ගනුදෙනුව තුළ තිබෙන ලෝකෝත්තර අගය නිසා තමයි දැන් මේ පින්වතුන්ට නිතර අසන්නට ලැබෙනවා ඇති - ඔය දාන පිංකම් ආදියේදී - කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනැය ගිහි පින්වතුන් පිරිණමන දානයක් මහත්ඵල මහානිසංස වෙන්න කියල. මොනවද ඒ කාරණා තුන?
දායක සම්පත්තිය කියල කියන්නේ දායකයාට තිබෙන සම්පත්තිය නොවෙයි. නියම දායකයෙකුට තිබිය යුතු ගුණ සම්පත්තියයි. ගුණාංග සමූහයෙන් සම්පූර්ණ වීමයි. ශ්‍රද්ධාව, පරිත්‍යාග චේතනාව, ශීලය ආදි ඒ කාරණාවලින් සම්පූර්ණ නම් එයා නියම දායකයෙක්. අන්න දායක සම්පත්තිය.
දෙය්ය ධර්ම සම්පත්තිය කියල කියන්නේ දෙන දේ පිළිබඳව ධාර්මිකත්වය. ධාර්මිකව උපයා සපයාගත්කු දේ. හොර මැරකම් වලින් ලබාගත්තු දෙයක් නොවෙයි. ඒක ඒ වගේම ප්රණීතව හොදින් සකස්කරල - ජීසිකරන දෙයක් හැටියට නොවෙයි. ඒ විදියට දෙන දෙයක්. ඒක දෙය ධර්ම සම්පත්තිය.
ප්‍රතිග්‍රාහක සම්පත්තිය කියල කියන්නේ පිළිගැනීම පක්ෂය පිළිබඳව, ඒ කියන කාරණය. එතකොට ප්‍රතිග්‍රාහක සම්පත්තිය ගැන සලකල බලනකොට ඉහළම අර්ථයෙන් දානය ලැබීමට සුදුසු, බුද්ධ, පසේබුද්ධ, මහරහතන් වහන්සේලාය, රහතන් වහන්සේලාය. එහෙම නැත්නම් ඊළඟට අර එතන ඉඳල ගුණ සම්පත්තිය අනුව යන අයි. ඒකයි ප්‍රතිග්‍රාහක සම්පත්තිය. ඒ අනුවයි මහත්ඵල මහානිසංස වන්නේ. මේ කාරණයම ගාථාවක දක්වලා තිබෙනවා. බොහෝවිට උපමාවලින් දක්වල තිබෙනවා ගොවිතැනක් පිළිබඳව.
ඛෙත්තූපමා අරහන්තා
දායකා කස්සකූපමා
බීජූපමං දෙය්යධම්මං
ඒතතො
නිබ්බත්තතේ ඵලං
රහතන් වහන්සේලා කෙත් වගෙයි. සරු කෙත් වගෙයි. ‘දායකා කස්සකූපමා’. අර සියලු අර දායක ගුණාංගවලින් යුක්ත දායකයෝ නියම දක්ෂ ගොවියන් වගෙයි. ‘බීජූපමං දෙය්ය ධම්මං’ - දෙන දානවස්තුව හොඳ බීජ්කර වීය වගෙයි. ‘ඒතතො නිබ්බත්තතේ ඵලං’ - මෙයින් තමයි නියම එළය උපදින්නේ, මහත්ඵල මහානිසංස වන්නේ. මහා පුණ්‍යස්කන්ධයක් ගලාගෙන එන්නේ මේ විදියටයි කියල එහෙම තෝරල තියෙනවා.
ඒ අනුව එතකොට අපට තේරෙනවා බුදු පියාණන් වහන්සේ අර නියම, නිසියාකාර, ධර්මානුකුල, ගිහි පැවිදි සම්බන්ධතාව මේ කථාන්තරය තුළිනුත්, ගාථාව තුළිනුත් අපට දක්වල විදාරල තියෙනවා, අනාගත පරම්පරාව සඳහා, අනාගත ශාසනයේ ප්‍රගතිය සඳහා. ඊළඟට ඊට අමතරව අපි තව ටිකක් කල්පනා කරල බලමු. දැන් මෙතන මේ කථාව අපි ආරම්භ කරගෙන කියාගෙන යනකොට ඇතැම් කෙනෙකුට හිතෙන්ට ඇති මේක ඇත්ත දෙයක්ද කියල. ඇත්ත සිද්ධියක්ද කියල. මෙතන තියෙනවා මහ ගැඹුරු කාරණයක්. බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් පිළිබඳව, බුද්ධචරිතය කියවෙන මිනැම් කෙනෙකුට පිස්සිය ඇතිවෙනවා. පුදුමය ඇතිවෙනවා. බුදු පියාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය පිළිබඳ හරි අවබෝධයක් ඇතිව, හරියට, ඒක අතකින් බලනව නම්, නාට්‍යයක් සිද්ධවෙනවා වගේ බලාගෙන ඉන්නවා. ලෝකයේ මිනිසුන්ගේ සිත් පෙනෙනවා. මිනිසුන් කරන කියන දේ. ඒ අතීතයේ හැකියාවත් සියල්ල පෙනෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන්වහන්සේ අර විදියට වදාළේ. “මහණෙනි කැවුම් වළදන්න කැමතිද” ඊළඟට “අපි කැවුම් වළදලාම යමු”. මේ මොකක්ද මේ බුදු පියාණන්වහන්සේ කළේ. බුදු පියාණන්වහන්සේ පෙරුම්පිරූ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ නොවැළදූ කැවුමක් නැහැ. නොකෑ කැවුමක් නැහැ. අමුතු දෙයක් නෙවෙයි කූඩුම. සංඝයා වහන්සේලාට කැවුම් වළදවන්න වෙනම ආසාවකුත් නැහැ. නමුත් මෙතන තියෙන්නෙ මහ ගැඹුරු කාරණයක්. බුදු පියාණන් වහන්සේ අවස්ථාව සලසාගත්ත, අර පන්සියක් දරු පිරිසට - ඒ දරුවන්ගේ උපනිශ්‍රය සම්පත්තිය දැකල, ඒ දරුවන්ගේ ශ්‍රද්ධාව මතුවෙන අවස්ථාව දැකල, ඒ ශ්‍රද්ධාව අනුව ක්‍රියා කිරීමෙන් මාර්ගඵල ප්‍රතිවේධය කරගන්න පුළුවන් බව දැකල - ඒකට අවස්ථාව සලසා ගන්නයි බුදු පියාණන්වහන්සේ අර “අපි කැවුම් වළදලාම වඩිමු”යි කියල ප්‍රකාශ කළේ. එතන තියෙනවා - අපි කල්පනා කරන්ට ඕන, අර මහා කාරුණාවේ තියෙන උපාය කෞශල්‍යය. මහ පුදුමයි. ඒ එක්කම බුදු පියාණන්වහන්සේගේ ඒ උතුම් ගුණයක්, අපිට, ලෝකයාට, ආදර්ශයට ගතහැකි දෙයක් තමයි තමන්ගේ ශ්රාවකයෙකුගේ උනත් උතුම් ගුණයක් වර්ණනා කිරීම. දැන් වෙන කෙනෙකුගෙ නම් ‘මට නොදුන්න කැවුමක් අර ගොල්ලන්ට දෙනවා’ කියල මුණ නරක් වෙනවා. මුණත් කැවුමක් වගේ වෙනවා, ඇතැම්විට. එබඳු දේවල් සමාජයේ කොතෙකුත් වෙනවා, ‘මා වැනි ගුණ සම්පත්තියෙන් යුක්ත කෙනෙකුට නොදුන්න කැවුමක් මේ මගේ ගෝලයෙකුට දුන්නා’ කියල. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ කළේ මොකක්ද “මහණෙනි නුඹලාටත් මටත් කැවුම් නොදුන්නාට අර දරුවෝ - කැවුමේ නියම අයිතිකාරයා ඔන්න පිටිපස්සෙන් එනවා. අපිත් එතකං ඉදිමු” කියල. එතනින් ලෝකයාට, විශාල ආදර්ශයක් බුදුපියාණන්වහන්සේ දෙනවා. ඒ වගේම ඒ අවස්ථාව සලසාගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සම්පත්තිය ප්‍රකාශ කරන්ට අර විදියේ ගාථාවකින්. ඒ වගේම, ඒ තුළ තිබෙනවා ශාසනයට පණිවිඩයක්; ශාසන පණිවිඩයක් තිබෙනවා. නියමාකාරයෙන්ම ගිහි පැවිදි සම්බන්ධතාව කොයි විදියට පැවැත්විය යුතුද කියන එක.
ඉතින් මේ විදියේ කාරණා රාශියක් අපට මේ කථාන්තරය තුළිනුත් ගාථාව තුළිනුත් නෙළාගන්න පුළුවන්. මේ අවුරුදු කැවුම් බණ තුළ - අපි අර කලින් සඳහන් කළ ආකාරයට - තියෙනවා ගුණ සුවඳක්, ධර්ම රසයක්. මේ පින්වතුන්ට හිතන්න හිතන්න මේවයි රසය උරාගන්න පුළුවන්. මේ එකට හොඳ අවස්ථාවක්.
ඒ වගේම මේ පින්වතුන් දැන් මේ අලුත් අවුරුදු උත්සවයට සූදානම් වෙනවා. ඒක තුළ ඇති ධර්මතාවන් අපි හිතල බලමු. මොකක්ද මේ අවුරුදු උත්සවය කියල කියන්නේ? කාල චක්‍රය කරකැවීගෙන කරකැවීගෙන යනවා. මේක කොතනකවත් නවතින්නේ නෑ. නවත්ත ගන්නත් බෑ. කාලචක්‍රය හරියට අර දැති රෝදයක් වගේ. ඒකට අනුවෙල අපේ ජීවන චක්රයත් ගෙවිල ගෙවිල යනවා, දන්නෙම නැතිව - අපේ වයස ගෙවිල යනවා. ඉතින් මේක නවත්ත ගන්න බෑ. අපි ඉස්සරහට තල්ලු වෙනවා මිසක්, නැවතිලා කල්පනා කරන්ට වේලාවක් නෑ. අන්න ඒක නිසා තමයි මේ යම්කිසි චාරිත්‍රයක් ඇතිවෙල තියෙන්නෙ. අවුරුදු චාරිත්‍රවල සමහර ගැඹුරු අර්ථ බොහෝදෙනා තේරුම් ගන්නේ නෑ. මේක විනෝදවෙන අවස්ථාවක් හැටියට පමණක් සළකනවා. දැන් මේ අවුරුද්ද පිළිබඳව මේ පින්වතුන් දන්නවා ‘නොනැකත’ කියල එකක් තිබෙනවා. නොනැකත. නොනැකත කියල කියන්නේ නැකත නොවන අවස්ථාවක්. මේ ලෝකයා තුළ තිබෙනවා හැඟීමක් හැම එකක්ම - ලෞකික දේවල් හැම එකක්ම - නැකතට කරන්න ඕනැය කියල. එතකොට එහෙම ඒ විදියට ලෞකික දේවල් කරන්න නැකතක් නැත්නම් ඒක නොනැකත. ඉතින් සමහර කෙනෙක් හිතනවා ‘ඉතින් නොනැකතක් නිකං ගෙවන්න බෑ තේ. ඒක නිසා පින්වත් කරමු’ කියල. ඒක වැරදි අදහසක්. මේ නොනැකත කියන එක හඳුන්වලා තිබෙනවා පුණ්‍ය කාලය කියල. අපි ගැඹුරින් සලකල බැලුවොත් ඒක ඇත්ත වශයෙන්ම ‘පුණ්‍ය කාලය’ තමයි. පුණ්‍ය කාලය වෙන්නේ කොහොමද? අර කියාපු අර නොනැකත අවස්ථාව අපේ ජීවිතයේ විරාමයක් කරගන්න ඕන. අපේ කටයුතු මධ්‍යයේ ලබාගත්ත පොඩි විවේකයක්, විරාමයක්, හැටියට සලකන්ට ඕන. පරණ අවුරුද්ද කියල එකක් තිබෙනවා. අලුත් අවුරුද්ද කියලත් එකක් තිබෙනවා. ඔය දෙකට මැදින් නොනැකතක් තිබෙනවා. මේක පුණ්යකාලයක් කරගන්න ඕන අපි. කාල බිලා විනෝදවෙලා නොවෙයි. නැවතිල්ලෙ සංසුන්ව කල්පනා කරන්ට ඕන. “පසුගිය අවුරුද්දෙ මගෙන් වුනු - කයෙන් සිතෙන් වචනයෙන් වුනු - වැරදි මොනවාද? අසල්වාසීන්ට, නෑ සිතවතුන්ට, තුරුණුවන්ට, තවත් නොයෙකුත් දේවල්, මගේ අඩුපාඩු. ගුණධර්ම අතින් මගේ මොනවාද අඩුපාඩු? ශීලය පිළිබඳව මොනවාද අඩුපාඩු” ඒවා සලකල බලනවා. දැන් මේ පින්වතුන් දන්නවා, ඔය ගෙදරවල්වල අවුරුද්ද - අවුරුදු උත්සවය - එතකොට ගෙවල් දොරවල් හොදට සුධ්ධකරල මලකඩ ඉවත්කරල පිරිසිදු කරල වෙන එකක් තබා අලුත් අවුරුද්දට අලුත් ලිපකුත් බැදලයි ආරම්භ කරන්නේ. මේ අලුත්වීම - මේක සිත අලුත්වීමක් කරගන්ට ඕන. සිත අලුත්කර ගැනීමේ අවස්ථාවක් - සිතේ තිබෙන කුණු කන්දල්, මලකඩ, හෝදල ඈරල අනාගතය දිහා බලල ධර්මානුකුලව, තමන්ගේ ජීවිතය මේ භයානක සංසාරයේ නිවනට නැඹුරුව අපායට නොයන ආකාරයට සිතුම් පැතුම් ක්‍රියාපටිපාටිය සකස්කර ගැනීමේ හොඳ පුණ්යකාලයක් කරගන්ට ඕන නොනැකත කියන එක - අර අවස්ථාව. විරාමය.
එබදු අවස්ථාවකට ඔන්න හොඳ සියුම් පැතුම් කීපයක් තමයි අපි මේ ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කළේ. ඒ අනුව කෙනෙකුට සිතාගන්ට පුළුවන්. මෙන්න මේ ගුණ සම්පත්තිය තේරුම් අරගෙන, ශාසනික වටිනාකම් පරමාර්ථ හරියාකාරව තේරුම් අරගෙන, අපි ගිහි පැවිදි සම්බන්ධතාව කොහොමද පැවැත්විය යුත්තේ, ඊළඟට මේ ශාසනයේ වටිනාකම් මොනවාද, ‘ගනුදෙනුව’ හැටියට ශාසනයේ කල්පනා කරන්නේ මොනවාද, බුදු පියාණන් වහන්සේ දක්වල තියෙන්නෙ මොනවාද, ඒ විදියට අපේ ජීවිතත් සකස් කරගන්න ඕන කියල කල්පනා කරන්ට හොඳ අවස්ථාවක් මේ නොනැකත, පුණ්‍යකාලය. ඉතින් මේ අපේ ජීවිතය කියන එක - අර කාලචක්‍රය නම් කොතෙකුත් කරකැවිල යනවා. ඒකෙ මුලක් නෑ. අගක් නෑ. ඒකට අහුවෙන - දැතිරෝදෙට අහුවෙලා ගෙවෙන - අපේ මේ ජීවන චක්‍රය එච්චර ලොකු දෙයක් නොවෙයි. මේක මේ වෙලාවෙම නැතිවෙන්නත් පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙකුගෙ පරමායුෂ කියන එක දැන් කාටවත් කියන්නවත් බැරිතරම්. අවුරුදු සියයයි කියල අපි කිව්වට මොකද ඊට හුඟක් මෙහා දැන්. ඊට අමතරව, තව නොයෙකුත් ආපදා උපද්‍රව නිසා බාහිර අභ්‍යන්තර උපද්‍රව නිසා, අපේ ජීවිතය කොයි වෙලාවෙ යනවද, නැතිවෙනවද, කියන්න බෑ. මේ කථාකර කර ඉන්න අතරෙත් සමහරවිට හදවත තතර උනොත් එතන ඉවරයි ජීවිතයක්. අන්න එබදු ඒ භයානක තත්ත්වයක් තිබෙනවා. ඒක එහෙමයි ජීවිතයෙ කෙටිබව. ඊළඟට සංසාරයෙ දිග බව හිතන්ට ඕන. කොයිතරම් දිසි කාලයක් ඉපදි ඉපදි, මැරි මැරි, මේ සංසාරයෙ දුක් විඳිනවද කියල. මෙන්න මේ දෙක අතරෙයි අපේ මේ නියම තත්ත්වය තිබෙන්නෙ. අපි මේක කල්පනා කරල, ඊළඟට මේකෙන් මිදෙන්ට බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරල කිබෙන්නෙ මොකක්ද? ශීල, සමාධි ප්‍රඥා, එහෙම නැත්නම් දාන, ශීල, භාවනා වශයෙන් බුදු පියාණන්වහන්සේ දක්වන ඒ ගුණ සමුදාය. ඒක තුළ කරුණු රාශියක් තිබෙනවා. ඒ හැම එකක් ගැනම අපි කල්පනා කරල, මෙන්න මේ නොනැකත අවස්ථාව, පුණ්‍යකාලය, මේක නිසි ආකාරයට ප්‍රයෝජනයට ගන්නවා කියල කියන්නේ - දැන් ඔය දන්නවානේ මේ පින්වතුන්, වෙළඳ ශාලාවක් නම්, ඔය මේ කාලේ තිබෙන සාප්පු ආදියේ, කඩ සාප්පුවල, අවුරුද්දක් අන්තිමට ‘සේල්’ කියල නොයෙකුත් විදියට පරණ බඩු ඉවත් කරගෙන කොහොමහරි අඩුමිලට හරි විකුණල ඒවා ඉවත් කරල අලුත් දේවල් ගේනවා. ඒ වගේ අපිත් කරන්න තියෙන්නෙ අර කුණු කන්දල් ටික, මේවා කොහොම හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒව දීල හරි - හිත අලුත්කරගන්නට ඕන. ඒකයි අලුත් අවුරුද්ද කියල කියන්නේ. අලුත් අවුරුද්ද කියන්නේ ඇඳුමෙන්වත්, ගෙවල් දොරවල් පිරිසිදු කිරීමෙන්වත්, සායම් වලින්වත් අලුත් වීමක් නොවෙයි. නියමාකාර අලුත් අවුරුද්ද නම් ඒක ගුණ සම්පත්තියෙන් වැඩෙන අලුත් අවුරුද්දක් වෙන්ට ඕන. උත්සවයක් කියල කියන්නේ අන්න ඒකයි - ඇතුළතින්.
දැන් ඒ අතින් හිතල බලනකොට මේ කථාවෙ තිබෙන අර කුඩා දරුවන්ගේ ආදර්ශයත් අපි හිතල බලන්ට ඕන. මේ කාලෙ විශේෂයෙන්ම ගිහි පින්වතුන්ට හොඳ ආදර්ශයක් දෙනවා අර කුඩා දරුවෝ. මොකද, ඒ උයනට එදා ඒ දරුවන් ගියේ කැවුම් මලු ඔසවාගෙන සංඝයා වහන්සේලාට මේක පූජාකරන අදහසින් නොවෙයි. ගිහිල්ල හොදට කාල බීල විනෝද වෙන්න. නමුත් ඒක පරිත්‍යාග කළා. ඒ අදහස පරිත්‍යාග කළා. ඒ ඉස්තරම් රසවත් ආහාරය කැවුම් . ඒව ඔක්කොම පරිත්‍යාග කළා, බුද්ධ ප්රමුඛ සංඝයා වහන්සේලාට. ඒ කැවුම් වල රසයට වැඩිය උතුම් ලොව්තුරු රසයක් එයින් ඒ දරුවන්ට ලැබුණ, ඒ අවස්ථාවෙම සෝවාන් එළය ලබාගැනීමෙන්. අන්න ඒ විදියට අපි කල්පනා කරන්ට ඕන, මේ ලෝකයේ වටිනාකම්වලට වඩා උතුම් වටිනාකම් සමූහයක් අපිට බුදුපියාණන්වහන්සේ හඳුන්වල දීල තිබෙනවා. බුද්ධ ශාසනය කියල කියන්නේ ඒ වටිනාකම් අනුව ජීවත්වීමයි. අපේ ජීවිතය හැඩගස්සා ගැනීමයි. ඉතින් මෙන්න මේ දරුවත් දුන්න ආදර්ශය අනුව අපි කල්පනා කළොත්, මේ අවුරුද්ද කියන එක අපි කාල බීල විනෝද වෙල - එවයි යම්කිසි විනෝද මට්ටමක් සමහරවිට අවශ්‍ය වෙන්ට පුළුවන් - නමුත් තමන්ගේ අනාගතය පිරිහෙන විදියට, ජීවිතය අනාථ වෙන විදියට, ඒ අලුත් අවුරුදු විනෝදය යොදා ගත්තොත් ඒකට ණය ගෙවන්ට වෙනවා. ඒකට දුක්වෙන්ට වෙනවා දිසි කාලයක් සංසාරයේ. අන්න ඒක නිසා උත්සවයක් කියන එක ඇත්ත වශයෙන්ම තමන්ගේ සිත සතුටුවෙන්ට නම්, සිතේ සැනසීමයි. ඇත්ත වශයෙන් ලෝකයේ තිබෙන ඉහළම සැපත තමයි සැනසීම - ඒක කවුරුත් පිළිගන්නවා ඇති. අන්න ඒ සැනසීමට මාර්ගයයි බුදු පියාණන්වහන්සේ ඒ නිර්වාණ ශාන්තිය නමින් හඳුන්වල දීල තිබෙන්නෙ. ඒකයි - ඒ පරතෙරයි. ඊට මත තිබෙන ඒ ශාන්තිය - එදිනෙදා ජීවිතයේ - ළහාකර ගැනීමට තමන්ගේ ජීවන රටාව පිළිබඳව, කාල සටහන පිළිබඳව, දින චරියාව පිළිබඳව, යම්කිසි සංශෝධනයක් අවශ්‍ය වෙන්ට පුළුවන්. හැම පින්වතෙක්ම ඒ විදියට කල්පනා කරනවා නම් ඊළඟට එන නොනැකත අවස්ථාව නියම නැකතක් වෙනවා. ඇත්ත වශයෙන් අපි කල්පනා කරන්ට ඕන-දැන් සමහර කෙනෙක් හිතන්ට පුළුවන් නොනැකත වෙලාවෙ මොකක් හරි කළොත් ඒකට අපල වෙනවා කියල. නමුත් පින්වතුනි “මිනිස් බව ලත් තැනේ කුසලක් නොකර උන්නොත් අපල වන්නේ”. අපල වන්නේ අර මිනිස් බව ලබාගෙන කුසලයක් තොකර හිටියොත්. නිෂ්ඵල වෙනවා කියන එකයි. අපල කියන්නේ. ඉතින් මේ නියම නැකත තමයි මේ බුද්ධෝත්පාද කාලය. මේ තරම් මේ නියම නැකත ලැබිල තිබෙනවා නම්, මේ නැකැත් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්ට ඕන. අපට ඒක එදිනෙදා හැමදාම කරන්ට බැරි නිසා වෙන්ට ඕන මේ විදියට මේ අවුරුද්දක් ගෙවෙන තැන නොනැකත කියල එකක් හදාගෙන, පුණ්‍යකාලය කියල හදාගෙන, පොඩි විරාමයක් ඇතිකරගෙන තුවණැත්තන් ඒකෙන් ප්‍රයෝජනය ගත්තේ. නමුත් තුවණ නැත්තන් ඒ වෙනුවට කළේ මොකක්ද, අර නොනැකත තවත් නොයෙකුත් අනවශ්‍ය දේවල් එකතු කරගෙන මේක තමන්ගේ පරිහානියට හේතු වන අන්දමට විනෝද මාර්ගවලට පමණක් යොමු කරගත්තා. ඒක නිසා අපි ධර්මානුකුලව කල්පනා කරන්ට ඕන, මේ පුණ්‍යකාලය ඇත්ත වශයෙන්ම පුණ්යකාලයක් කරගෙන, තමන්ගේ සිත් පිරිසිදු කරගෙන අලුත් අවුරුද්දේදී, වඩාත් හොදින් රීළහ අවුරුද්ද ධර්මානුකුලව තමන්ගේ ශීලයෙ අඩුපාඩුකම් තිබෙනවා නම් ඒ එක එකක් ගැන සලකල, ආවර්ජනා කරල, ඒවා සකස් කරගන්නා.
විශේෂයෙන්ම ජීවිකාව පිළිබඳ ප්රශ්නය මේ කාලයේ ගිහි පින්වතුන්ට ලොකු ගැටළුවක්. ලෝකය යන්නේ භයානක අන්දමින් භෞතික දියුණුව සොයාගෙන. ධාර්මිකය ගැන නොතකා ආර්ථිකය ගැන පමණක් හිතන යුගයක් මේක. අන්තිම ප්‍රපාතයට ගිහිල්ලා වැටෙනතුරු දන්නේ නෑ. ඒක නිසා ඉක්මණින් ධනය සපයා ගැනීම, උපයාගැනීම, සඳහා නොයෙකුත් විදියේ ආජීවයන්, මිථ්‍යා ආජීවයන්, පෙරමුණට එන යුගයක්. නුවණැති බෞද්ධ පින්වතුන් කල්පනා කරන්ට ඕන බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මය මුල්තැන කරාගෙන, තමන්ගේ ආජීවය ගැන. සමහරවිට එදිනෙදා ජීවිතයේ අඩුපාඩුකම්, අගහිඟකම්, ඇතිවෙන්ට පුළුවන්. ඉක්මණින් පොහොසත්වෙන්ට බැරිවෙන්නත් පුළුවන්. නමුත් අර දැන් මේ අවස්ථාවේ සමාදන් උනා වගේ මිථ්‍යා ආජීවයෙන් වෙන්වීම කියල කියන ඒ උතුම් ගුණධර්මය වඩන්න විශේෂයෙන් උත්සාහවත් වෙන්ට ඕන. දැන් ඔය බුදුපියාණන්වහන්සේ දක්වන දේවල් මේ කාලයේ කරන්ට බැරි දේවල් හැටියට සමහරවිට හිතන්ට පුළුවන්. සතුන් මසට ඇති කිරීම, මාංශ වෙළදාම් ආදියෙන් වැළකී සිටීම, අවි ආයුධ වෙළදාමෙන්, ඊළඟට වස විස වෙළදාමෙන්, මත්පැන් වෙළදාමෙන් ඔය විදියේ දේවල්වලින් වෙන්වෙලා හිටියොත් අපට කරන්ට රස්සාවක් නැහැයි කියල හිතෙන තරමට. මේ විදියට සමාජය භයානක ප්රපාතයක් කරා යනවා. නමුත් තමන් කල්පනා කරන්ට ඕන. තමන් මේ දිගු සංසාරයේ කවදුරටත් දුක් විඳිනවද, මේකට යම්කිසි පරිත්‍යාගයක් කරල මෙයින් මිදෙන්ට උත්සාහ ගන්නවද, මේ විදියේ මේ ක්ෂණ සම්පත්තියක් ලැබුනහම, කියල එක නුවණින් කල්පනා කරල, සමාජය කොයි විදියට කිව්වත්, වෙන එකක් තබා තමන්ගේ නිවසේ අනිත් අය කොයි විදියට හිතුවත්, පැතුවත්, ජීවත් උනත්, තම තමන් - අපි උපන්නෙත් මැරෙන්නෙත් තනිවයි. ඒක නිසා, ඒ වගේම තමන්ගේ කර්මයට තමන් වගකියන්ට ඕන. බුදුපියාණන් වහන්සේ වදාරල තියෙනවා.
කම්මස්සකා මාණව සත්තා
කම්මදායාදා කම්මයෝනි
කම්මබන්ධූ කම්මප්පටිසරණා
කම්මං සත්තේ විභජ්ජති
යදිදං හීනප්පණීතතාය
ආදී වශයෙන්. මේ කර්මය තමයි අපට අයිති. මේ කර්මය තමයි අපේ දායාදය. කර්මය නිසාමයි අපි උපන්නේ, කර්මය තමයි අපේ උත්පත්තියට හේතුවෙ. ඊළඟට අපේ ඤාතියත් කර්මයයි. කර්මය තමයි අප පිළිසරණ වශයෙන් සිටින්නේ. ඒක නිසා අප කරන කර්මයට අපි වගකියන්ට ඕන. ඒක නිසා අපේ ජීවන රටාව සකස් කර ගැනීම අපේ යුතුකමක්. අර කෙටි මාර්ග බොහෝවිට හයානකයි. කෙටි මාර්ග, ඉක්මන්වීම්, බොහෝවිට හයානකයි. ඒ විදියට ඉක්මණින් ධනය සපයා, උපයා ගැනීමට, ඉක්මණින් ගෙදරදොරේ තිබෙන ගැටළු විසඳා ගැනීමට, කියල අධර්ම මාර්ගය ගත්තොත් ඒ තැනැත්තාට කවදා හෝ ඒ නිසා දුක් විඳින්ට සිද්ධ වෙනවා.
අන්න ඒක නිසා විශේෂයෙන්ම අර කියාපු ගණන් බලන අවස්ථාවේ - නොනැකත ගණන් බලන අවස්ථාවක් හැටියට අරගෙන - පසුගිය අවුරුද්ද තුළ තමන්ගේ ආදායම ගැන සලකල බලන්ට ඕන. ආදායම කියල කියන කොට ලෞකික අර්ථයෙන් බලනවා නම් ඉලක්කම් වලින් දකින්ට පුළුවන් අයවැයක්. ගැඹුරු අර්ථයෙන් බලනවා නම් අයවැය කියල කියන්නේ මොකක්ද, අය පක්ෂය තමයි පින්. වැය පක්ෂය තමයි පව්. අපෙන් කෙරිච්ච පව් මොනවාද? අකුසල් මොනවාද? අප විසින් කළයුතු, කළහැකි, කරන්ට උත්සාහ ගත්තුතු, කුසල් මොනවාද? පින් මොනවාද? අන්න එහෙම සලකල බැලීමයි. දැන් ඒ විදියට තම තමන් පිළිබඳවත් ‘ගණුදෙනුවක්’ කරන්ට ඕන. දැන් මේ අවුරුදු උත්සවයෙම කොටසක් තමයි අසල්වාසීන් එක්ක අර නොහොද නෝක්කඩු ඉවත්කරල, ගණුදෙනු කරල, ඒ විදියට තමයි අලුත් අවුරුද්දක් අරඹන්නේ. ඇතුලතින් කෙරෙන්න ඕන ගණුදෙනුවකුත් තිබෙනවා. තමන් මේ ලබාගත්තු ජීවිතයට, දුර්ලභ මනුෂ්යාත්මයට, අපි ණය නොවී ඉන්න ඕන. කීදෙනෙක් ලබාගත්තු මනුෂ්‍යාත්මභාවයට ණය වෙලා මිය යනවද? උත්පත්තිය ලැබුවෙ මනුෂ්‍යයෙක් හැටියට. නමුත් ජීවිතය ගත කරන්නේ, ඒ වගේම මැරෙන්නේ, හරියට මනුෂ්‍ය ප්‍රේතයෙක් හැටියට. මනුෂ්‍ය යක්ෂයෙක් හැටියට. අන්න ඒ විදියේ තත්ත්වයකට යන්නේ නැති ආකාරයට තමන්ගේ ජීවන රටාව සකස්කරගන්ට උත්සාහවත් වෙන්ට හොඳ අවස්ථාවක්. ඒක නිසා මේ පින්වතුන් තම තමන්ම ඒ ජීවිතයට අදාළ ජීවන රටාවට ළං වෙන්ට ඕන. එදිනෙදා ජීවිතයේ බොහෝ දෙනා මේ කාලේ කියනවා, දැන් හොඳ ජීවිතයක් ගැන කථාකරන අවස්ථාවේ ඇතැම් කෙනෙක් කියනවා - ඒක එස්තරා විදියක මෝස්තරයක් බවට පත්වෙලා තිබෙනවා - “අපි පවි කරන්නේ නැහැ. අපි වරදක් කරන්නේ නැහැ”. ඉතා පහසුවෙන් කියවෙන එකක්. නමුත් මේ වරදක් කරන්නෙ නෑ කියල කිව්වට එපමණකින් වැඩේ සම්පූර්ණ වෙන්නේ නෑ. මේකෙ හොඳ පැත්තක් තිබෙනවා. කුසල් කරන්ට ඕන. සිත සකස් කර ගැනීම - සාමාන්‍ය ප්‍රතිපත්ති, ශීල ප්‍රතිපත්ති. ඒ සිල් සමාදන්වීම් ආදිය කිරීම පමණක් නොවෙයි. ඒවා ආවර්ජනා කරල, තමන්ගේ ජීවිත රටාව ශීලයට අනුරූපව පවත්නවද කියල නිතර එදිනෙදා සලකල බලන්ට ඕන. ඊළඟට එතනින් නවතින්න තරකයි. මේ ශාසනයේ ශීලය කියන එකේ නියම පරමාර්ථය සමාධියි. භාවනාවයි. ශීලය මත සමාධිය ගොඩ නගන්නේ නැතිව සිටිනවා නම් ඒකෙන් වැඩක් නෑ. එතකොට ශීලය අත්‍යාවශයි. පංචශීලය හෝ ආජීව අෂ්ටමක ශීලය හෝ දශශීලය හෝ මේ පොහොය අටසිල් හෝ යම්කිසි ශීලයක් සමාදන්වෙන්නේ ඒ ශීලයෙන් කය වචනය හික්මවා ගෙන ඒ තුළින් සිත තැන්පත් කරගැනීමටයි. සමාධිමත් කරගැනීමටයි. අන්න ඒක නිසා ඒ ගැනත් උනන්දු වෙන්ට ඕන. මේ සමාධිය කියන එක. තැන්පත් බව. මේ සමාධියෙත්, මේකෙත් දෙපැත්තක් තියෙනවා, ශමථ විදර්ශනා වශයෙන්. සිත තැන්පත් කර ගන්නවා යම්කිසි කුසල අරමුණක. මෛත්‍රිය බුද්ධානුස්සතිය, අසුභය. එහෙම නැත්නම් මරණසතිය - ඈවනි යම්කිසි කමටහනක් එදිනෙදා ජීවිතයේ පුරුදු කරලා ඒ විවේක අවස්ථාවල්වල. විශේෂයෙන්ම උදෑසන, රැයේ නින්දට යන්ට පෙර, එහෙම නැත්නම් අනිත් අය නිදාගත් අවස්ථාවේ හෝ, තමන්ට විවේකය කොහොමහරි ලබාගෙන එදිනෙදා දින චරියාවෙ කොටසක් හැටියට සුළු වේලාවක් - විනාඩි පහක් හෝ දහයක් හෝ - මෛත්‍රී භාවනාව ආදී යම්කිසි කමටහනක් වැඩීමෙන් තමන්ගේ සිත පිරිසිදු වෙනවා වගේම සමාධිමත් වෙනවා. එයින් සිත තැන්පත් වෙනවා. ඊළඟට ඒ පමණකින් නවතින්ට තරකයි. සමාධිය පමණක් වඩල ඒ ඉහළ තත්ත්ව අභිඥා ආදිය ලබාගත්තු අය බුද්ධෝත්පාද කාලයේ පමණක් නොවෙයි අබුද්ධෝත්පාද කාලවල සිටත් සිටිය. නමුත් සසර දුක් කෙළවර කර ගන්න බෑ, එපමණකින්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වනවා සමාධිය මත ඉඳල ඊළඟට විදර්ශනා වඩන්ට ඕන. අන්න ඒ සඳහා තමයි ශීලයත් සමාධියත්. ශීල, සමාධි, ප්‍රඥා නමින් හඳුන්වන්නේ ඒ විදර්ශනා ප්රදාවයි. ඒක දියුණුකර ගැනීම සඳහාත් උත්සාහයක් දැරිය යුතුව තිබෙනවා.
ගිහි ගෙවල්වල ඉඳගෙන අපි මේවා කරන්නේ කොහොමද කියල හිතන්ට තරකයි. අතීතයේ බුද්ධකාලයේත් ඊට මැතක - දැන් මේ කිව්ව කුඩා දරුවන් සෝවාන්ඵලය ප්රත්යක්ෂ කර ගත්තයි කියල කියන්නේ. සමාධිය පමණක් නොවෙයි මේක තුළ තියෙනවා විදර්ශනා ඤාන. මේක ඉතා සියුම් දෙයක්. දිගු කාලයක් සංසාරයේ යම් යම් අවස්ථාවල්වල අපි කොතෙකුත් භාවනා වඩන්ට ඇති. ඒවා අපේ හිත්වල තැන්පත් වෙලා තිබෙනවා. විඤ්ඤාණයේ තැන්පත් වෙලා තිබෙනවා. ඒක ධන නිධානයක් වගේ. නමුත් අපි දන්නෙ නෑ මේක. දැන් රත්තරන් පිඟානක් උනත්, අපේ ගෙදරවල්වල ඔය අගුවෙ කුස්සියේ තියෙනවා නම් අපිට අදුනගන්ට බෑ. අල්පෙනෙක්තකින් හරි ඉරක් ඈදල බැලුවහම තමයි මේක අදුනගන්ට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ අපේ විත්ත සන්තානයේ ඇතුළේ ඇති - කෝටින්ම මනුෂ්‍ය ආත්මභාවයක් ලබල තියෙන්නෙ යම්කිසි විශේෂ පුණ්‍ය ශක්තියකින්. ඒ තුළ තිබෙන්ට පුළුවන් අතීතයේ බණ භාවනා වඩපු ඒ ශක්තීන්. ඒවා සැඟවිල තිබෙනවා. ගිහි හෝ පැවිද්දෝ වේවා, පැවිදි හෝ වේවා, ඒවා මතුකර ගැනීම සඳහා අන්න විදර්ශනා භාවනාවක් අරඹන්ට ඕන. ඒට නිසි ඒ කර්මස්ථානාවාදිවරුන් හමුවෙලා. කල්‍යාණ මිත්රයින්ගේ පිහිටෙන් විදර්ශනා භාවනාවට සිත යොමුකරන්ට ඕන, අනිත්‍ය - දුඃබ - අනාත්ම වශයෙන්. එදිනෙදා ජීවිතයේ තමන්ගේ මේ ජීවන රටාව තුළ හමුවෙන හැම දෙයක්ම මේ ධර්මයට සාධක කරගන්ට ඕන. නිදර්ශන කර ගන්ට ඕන. ඒ තුළින් දකින්ට පුරුදුවෙන්ට ඕන. මේ බුදුපියාණන් වහන්සේ වදාළ ත්රිලක්ෂණය. ඒක සිතට හුරු කරගත්තහමයි යම්කිසි අවස්ථාවක අර විදියට ඉතාමත් ක්ෂණිකව, මාඟීඵල ප්‍රතිවේධ කරගන්ට පුළුවන් වෙන්නේ. අතීතයේ කථාන්තරයක් තිබෙනවා එක්කරා රජකුමරියක් ඒ තමන් ගිය වැසිකිළියක හිටිය පණුවන් දැකල පුළුවක සංඥාව ඇතිකරගත්තා. ඒ අවස්ථාවේ, කෙනෙක් මැරුණට පස්සේ මේකෙ පණුවෝ දාන හැටි. අර පොඩි හිතිවිල්ල උපකාරී උනා රහත්වීමට පවා. අන්න ඒ වගේ අපි එදිනෙදා ජීවිතයේ මග තොටේදී දකින්නට ලැබෙන දේවල්, කියවන පුවත්පත් ආදියෙන්, අසන්ට ලැබෙන ප්රවෘත්ති ආදියෙන්, අපේ සිත් කලඹාගන්නේ නැතිව, කිලිටි කරගන්නේ නැතිව - රාග - ද්වේෂ - මෝහ ආදියෙන්, ඒ වෙනුවට කරන්ට ඕන, මේවා තුළින් දකින්නට ඕන බුදු පියාණන්වහන්සේ වදාළ අනිත්‍ය දුඃබ අනාත්ම කියන ත්රිලක්ෂණය. අන්න ඒ විදියේ අමුතු දෘෂ්ටියක් ඒ විදර්ශනාව. දැන් මේ කාලේ ඇතැම් කෙනෙක් කියන්ට පුළුවන්, අතීතයේ කෙසේ වෙතත්, අතීතයේ අපේ පැරණි සිංහලයන්ගේ ජීවන රටාව කෙසේ වෙතත්, මෙකල ඒව කරන්ට බෑ කියල. අතීතයේ නම් ඒ අපේ අතීත මවිවරු - ධර්මයෙහි සඳහත් වෙනවා, පොත පතේ සඳහත් වෙනවා - වී කොටනකොට පවා වී ඇටයක පොත්ත නිකං ගැලවෙන්ට අරින්නේ නෑ ඒකත් භාවනාවට නගනවා. අනිත්‍යතාව, අන්න ඒ වගේ. දැන් මේ පින්වතුන්වත් කොයි කොයි අන්දමේ සුබෝපභෝගී භාණ්ඩ ලෝකයේ බිහිවෙල තිබෙන නමුත්, ඒවා තුළිනුත් අනිත්‍යතාව දකින්ට ඕන. මේ අද විසිත්ත කාමරයේ තිබෙන එක ඊළඟ දවසෙ කුස්සියේ නේද? ඊළඟ දවසෙ අන්තිමට ඒක කුණු ගොඩේ නේද? ඒ හැම දෙයක්ම - මේ නවීන, නූතන, ලස්සන කියල ගන්නා හැම දෙයක්ම - විනාශය කරා විනාශ මුඛය කරා, යන හැටි. ඊළඟට තව නොයෙකුත් මේ තාත්තමාත්ත නොයෙකුත් විලාසිතාවන් සහිත මහා ඉහළින් වැජඹෙන නිලතල සහිත හැම දෙනාටම යන කලදසාව - එකපැයෙන් එක මොහොතකින් විනාශවෙලා යන ආකාරය - මේවා තුළින් දකින්ට ඕන බුදු පියාණන් වහන්සේ වදාළ ත්රිලක්ෂණය. මේ එකක්වත් අමුතු දේවල් නොවෙයි. මේ එකක්වත් අමුතු නෑ. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා ‘මේක හදිසි අනතුරක්’ කියල. හදිසි අනතුරු කියල ජාතියක් තියෙනවා කියල. නමුත් ඇත්ත වශයෙන් ස්වභාවධර්මයේ හදිසි අනතුරු නෑ. අපි හිතමු ගමන්කරන වාහනයක රෝද ගැලවුනා හදිසියේ. එහෙම නැත්නම් මොකක්හරි ඒ විදියේ දෙයක් සිදුවෙල ඔය අනතුරක් කියන දෙයක් සිදුඋනා. මේක ඒ වෙලාවෙ විතරක් උනා තෙවෙයි. මේක හෙමි හෙමිහිට බුරුල්වෙවී තිබිලයි ගැලවුනේ. ඒක අපි නොදැක්ක නිසා අපි ඒකට හදිසි අනතුර කියල කියනවා. අන්න ඒ වගේ තමයි. අපේ මේ හදිසි අනතුරේ ඒ එක පැත්තක්. අපට සිදුවන සිදුවීම්, අපට වෙන ආපදා - මේවා යට තිබෙනවා කර්මය. අර කර්මවක්රය. එකක්වත් හදිසි අනතුරු නොවෙයි. බුදු පියාණන් වහන්සේලා, අභිඥාලාභීන්, මේවා දැකල පොඩි මඳසිනාවක් පහළකරනවා. මොකද? ‘මං දැක්ක මේක වෙන බව - වළක්වන්ට බෑ, හැබැයි’. ඒක නිසයි ඒ මද සිතහවක් පහළ කරන්නේ. දැන් කුඩා දරුවෙක් - නැගිටින්න උත්සාහ කරන කුඩා දරුවෙක් දිහා බලන් ඉන්න මවු කෙනෙක්. කොහොම හරි මෙයා නැගිටින්නක් ඕන තෑ. වැටෙන වැටෙන වාරයක් පාසා පොඩි සිනාවක් දානවා නේ? අන්න ඒ වගේ තමයි බුදුපියාණන් වහන්සේලා මේ ලෝකයේ මනුෂ්‍යයින් මේ හදිසි අනතුරු කියන ජාතිවලින් විනාශවෙලා යනව දැකල කම්පා වෙනකොට හිතනවා “අනේ මේක දැක්කෙ නෑ නෙ මේ අය. මේකට හේතුව මීට කල්ප ගණන් ඈත කරපු යම්කිසි අකුසලයක්. එහි විපාකයයි මේ විඳින්නේ”. එතකොට අන්න ඒ විදියේ තත්ත්වයක් මේ ලෝකයෙ කිබෙන්නෙ. ඇත්ත වශයෙන්ම ස්වභාව ධර්මයෙහි හදිසි අනතුරු නෑ. ඒවා ස්වාභාවික සිද්ධි. ස්වාභාවික කියල කියන එකට එකතු කරන්න ඕන - ලෝකයේ සාමාන්‍ය අජීවී එහෙම නැත්නම් ජීවයක් නැති දේවල් පිළිබඳව තියෙන ටික විතරයි අපි බොහෝවිට ස්වාභාවික කියල කියන්නේ - නමුත් මේ කර්මවිපාකයත් ඊට අයිතියි. කර්මයත් විපාකයක්. හරියට අර දැන් පින්පව් ගැන කියන කොට අපි කිව්වතේ ගොවිතැන් කිරීම ගැන. ඒ වගේම බුදුපියාණන් වහන්සේ වදාරල තියෙනවා.
යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං
යම් යම් ආකාරයකට වපුරනවා නම් ඒ ඒ ආකාරයට එහි අස්වැන්න නෙළාගන්න ලැබෙනවා. හොඳ කරන තැනැත්තා, කුසල් කරන තැනැත්තා, ඒ හොඳ විපාක ලබනවා. පවි කරන තැනැත්තා දුඛ විපාක ලබනවා. අන්න ඔය විදියේ තත්ත්වයක් නිසා අපි එතකොට මේ ඉදිරියට එන නොනැකත කාලය නියම පුණ්යකාලයක් හැටියට තමන්ගේ ජීවිතය පිළිබඳව විශේෂ සමාලෝචනයක් කරල, පුනරීක්ෂණයක්, පුනරාලෝකනයක්, කරල, ඒ තුළින් ඉගෙනගත්කු යම් යම් දේවල් අනුව රීළහ අලුත් අවුරුද්ද හොඳ ජීවන රටාවකින් යුක්තව, හොඳ කාල සටහනකින් යුක්තව, ආරම්භ කරන්ට අධිෂ්ඨාන කරගන්ට ඕන - අද වැනි මේ වටිනා පෝය දවසක.
මේ අවුරුද්දත් පෝයත් එකට ආවේ මේක තුළින් අපේ ධර්මානුකුල ජීවිතය හැඩගස්සවා ගැනීමට අවස්ථාවක් කියල සලකාගෙන මේ පින්වතුන් අද දින පැයක් ඇතුලත ධම්ශ්රවණය කිරීම තුළිනුත් තමන්ගේ සිතේ ඇතිවුනු පිරිසිදු කම ගැන හිතල බලන්ට ඕන. ආජීව අෂ්ටමක ශීලය හෝ ඊට වඩා උසස් පෝය අටසිල් වලින් හෝ යුක්තව මේ පින්වතුන් ධම්ශ්රවණය කරල කය වචනය හික්මවාගෙන, තුනුරුවන් කෙරේ හොඳ ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ ශ්‍රද්ධාව අනුව ඇතිකරගත්තු යම්කිසි වීර්යයක් මූලකරගෙනයි මේ අවස්ථාවේ මේ විදියට බිම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළේ, සිත යොදාගෙන තව නොයෙකුත් බාධක කරදර මධ්‍යයේ. ඒ ආයාසය අනුව යෙදූ සතිය, සිහිය, මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා වචනයක් පාසා ඊට සවන් දීම සඳහා යෙදූ සතිය, සිහිය, ඊළඟට ඒ තුළින් යම්කිසි තැන්පත් බවක් සිතේ ඇතිලනා නම් ඒ ශ්‍රද්ධාදි ගුණධම් වශයෙන්ම සිත යොදාගැනීම නිසා ධම්මානුසසති වශයෙන් හෝ - ඒක සමාධිය හැටියටයි සලකන්ට පුළුවන්. අන්න ඒ විදියට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියල කියන නිවනට උපකාර වන්නාවූ ඒ ඉන්ද්රිය බල ආදිය දියුණුකරගැනීමේ මූලික අභ්‍යාසයක් මේ ධම්ශ්රවණය තුළින් සිදුඋනා. ඒක තුළිනුයි මේ පින්වතුන්ට යම්කිසි දවසක නිර්වාණ ධර්මය ප්රත්යක්ෂ කරගැනීමට පුළුවන් වන්නේ. අන්න ඒ උතුම් නිර්වාණධම්ය කල්නොයාදීම මේ ජීවිතයේදීම, මේ උතුම් බුද්ධෝත්පාද කාලයේ ලබාපු මනුෂ්‍යාත්මභාවය තුළදීම, ප්රත්යක්ෂ කරගැනීමට ශක්තිය බලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරගැනීමට ඕන. ඒ වගේම, අපි මේ ධර්ම ශ්‍රවණය වශයෙන් ධර්ම දේශනාමය වශයෙන් රැස්කරගත්තු යම් කුසල සම්භාරයක් ඇතොත් ඒ සියල්ල ශාසනාරක්ෂක දෙවිදේවතාවුන් වහන්සේලා - දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය - අනුමෝදන් වේත්වා! ඉදිරියටත් ශාසනයටත් අපටත් ආරක්ෂාව සලසා දෙමින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියල දෙවියන්ටත් පින් අනුමෝදන් කළයුතුව තිබෙනවා. ඒ වගේම අපගේ මිය පරලොව ගිය ඤාතීන් ඇතුළු අවීචියේ පටන් අකනිටා දක්වා යම්කිසි සත්ත්ව කොට්ඨාශයන් මෙබඳු මේ ධම්දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වන්ට බලාපොරොත්තුවෙනවා නම් මේ පින් අනුමෝදන් වීමෙන් දුඛ තත්ත්වවලින් අත්මිදි සුඛි තත්ත්වවලට පත්වී කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබාගෙන, භාවනාදි සියලු කුසල් ධර්ම සම්පූර්ණ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවක් කරන්ට ඕන. ඒ විදියට හිතාගෙන මේ අවස්ථාවේ මේ ගාථා කියල පින් දෙන්න.